Pages

Monday, July 8, 2013

බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය සාමය අගයන සමස්‌ත ලෝකයට සහ මනුෂ්‍ය වර්ගයාට සිදුකළ බලවත් නිගාවක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආගමික සිද්ධස්‌ථාන සහ අහිංසක බැතිමතුන් ඉලක්‌ක කර ගනිමින් මෙවන් ප්‍රචණ්‌ඩකාරී ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ජනාධිපතිතුමා පැවසීය.

ලොවපුරා බෞද්ධාගමිකයන්ගේ පූජනීයම ස්‌ථානය වන ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ඊයේ (07) අළුයම සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිය බලවත් කනගාටුව පළකරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

බෞද්ධාගමික සිද්ධස්‌ථානයක පමණක්‌ නොව ඕනෑම ආගමික සිද්ධස්‌ථානයක මෙන්ම ලොව කුමන ස්‌ථානයක වුවද මෙවන් හිංසාකාරී ක්‍රියාවන් සිදු නොවිය යුතු බවද අවධාරණය කළේය.

මෙම සිදුවීම සැළවීමෙන් තමා දැඩි කනස්‌සල්ලට පත් වූ බවත් ඉන් පීඩාවට පත්වූ බැතිමතුන්ට තම බලවත් කනගාටුව පළකරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිටිෂ් කුමාර් මහතා වෙත දුරකථනයෙන් කතා කළ ජනාධිපතිතුමා බැතිමතුන්ගේ පහසුකම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීය.

ඉන්දීය ජනපති සහ අගමැති 
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ලවූ ප්‍රහාරය ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි මහතා මෙන්ම ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ද තරයේ හෙළා දැක ඇත.

ආගමික ස්‌ථානයකට එල්ල වන ප්‍රහාරයකට කිසිම ලෙසකින් සමාව දිය නොහැකි බව ඉන්දියානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. 

අගමැතිවරයා මේ ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති අතර ඉන්දීය ජනපතිවරයා පවසා ඇත්තේ මෙය නින්දනීය ප්‍රහාරයක්‌ බවය.

මේ අතර බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිකිෂ් කුමාර් මහතා බුද්ධගයා විහාරයට ගොස්‌ මේ ප්‍රහාරයෙන් සිදුවූ හානිය ගැන පරීක්‍ෂා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

http://www.divaina.com/2013/07/08/news02.html

බුද්ධගයා ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා - අගමැති දි. මු. ජයරත්න
ඉන්දියාවේ බුද්ධගයා බෞද්ධ සිද්ධස්‌ථානයට එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ඊයේ (7 දා) පෙරවරුවේ මහනුවරදී පැවසීය.

දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට පැමිණ සිටි අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අතිපූජ්‍ය ස්‌ථානයක්‌ ලෙස බෞද්ධයන් සලකන පූජනීය ස්‌ථානයකට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වගකිවයුතු කණ්‌ඩායම්වලට එරෙහිව ඉන්දීය රජය නීතිමය පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද කීවේය.

අතිපූජනීය මහනුවර ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාරයක්‌ මගින් සිදුකළ හානිය සහ එම කටුක අත්දැකීම ශ්‍රී ලංකාවාසීන් වූ අපට අමතක කළ නොහැකි බවද අගමැතිවරයා පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/07/08/news18.html

සබැඳි ලිපි
[

ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
]

0 comments: