Pages

Wednesday, July 3, 2013

ඉඩම් පොලිස්‌ බලතල උතුරට දෙන්නේ නෑ. රජයේ තීරණය බැසිල් ඉන්දියාවට දැනුම් දෙයි.

13 වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස්‌ බලතල ලබා නොදෙන අතර අනිකුත් බලතල උතුරු පළාත් සභාවට ලබාදෙන බව ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය බලධාරීන්ට දැනුම් දීමට යයි.

රජයේ මේ ස්‌ථාවරය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් හෙට (4 දා) නවදිල්ලියේදී ඉන්දීය බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවේදී සඳහන් කරනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්දින්, විදේශ ලේකම් රංජිත් මතායි සහ ජාතික ආරක්‍ෂක උපදේශක ශිවෂංකර් මෙනන් සමඟ සාකච්ඡා පවත්වන බව එම ආරංචි මාර්ග හෙළි කළේය.

ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදුනහොත් උතුරේ හමුදා කඳවුරු පවත්වාගෙන යැම සහ මහ ඇමැතිට අවශ්‍ය පරිදි පොලිසිය මෙහෙයවීමට ඉඩ ලැබෙන බව රාජපක්‍ෂ මහතා සියලු ඉන්දීය බලධාරීන්ට පහදා දීමට ද නියමිත බව එම ආරංචි මාර්ග හෙළි කළේය.

13 සංශෝධනයට අදාළ ඉඩම් හා පොලිස්‌ බලතල දිය යුතු යෑයි පවසන්නේ ඇමැතිවරුන් 13 දෙනකු පමණක්‌ යෑයි ද හෙළි වී ඇත.

නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා ද 13 වැනි සංශෝධනයට එරරෙහි වී තිබේ.

මේ අතර ජුලි 7 දා ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් මෙරටට පැමිණෙන අතර හෙතෙම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/03/news03.html

0 comments: