Pages

Monday, July 8, 2013

පිච්චමල් පූජාවෙන් ජයශ්‍රී මහා බෝධිය අබියස සුවඳවත් වෙයි

රටටත්, ජනතාවටත් ආශිර්වාද පතා ශාන්ති පදනමේ මෙහෙයවීමෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පෙරේදා (6 දා) සවස 24 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික පිච්චමල් පූජා පිංකමට මහ වැසි නොතකා දිවයිනේ නන්දෙසින් ලක්‍ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක්‌ සහභාගි වූහ.

කොළඹ, බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනමේ නිර්මාතෘ හා අනුශාසක, සේරුවිල බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙන්, අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස හා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත මෙම අසිරිමත් පිංකම සංවිධානය කොට තිබිණි.

සෑම වසරකම පාහේ පිච්චමල් රැගත් පෙරහැර ආරම්භ වීමට ආසන්න වෙත්ම සහ පෙරහැර පැවැත්වෙන අතරතුර හාස්‌මකට මෙන් වැසි පතිත වීම සුලභ දර්ශනයක්‌ වූ අතර පෙරේදා එම පෙරහැර ආරම්භ කිරීමට සූදානම් වෙත්ම එතෙක්‌ පැවැති දැඩි හිරු රශ්මිය අකා මකා දමමින් මහා වර්ෂාවක්‌ ඇද හැළෙමින් එම අසිරිමත් පිංකමේ ආශ්චර්යමත් බව යළිත් විදහා දක්‌වන්නට විය.

මහ වැසි නොතකා පුරා පැය ගණනක්‌ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය අවට මග දෙපස සුදුවතින් සැරසී රැස්‌ව සිටි සැදැහැවතුන්ගේ සාදු හඬ මධ්‍යයේ පිච්චමල් පූජා පෙරහැර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නන්දන මාවතේදී සවස 3.00 ට පමණ ආරම්භ කෙරිණි.

අනතුරුව පිච්චමල් රැගත් පෙරහැර සවස 5.15 පමණ වන විට ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසට ළඟා වීමෙන් පසු බෝ සමිඳුන් වැඩවසන උඩමළුවේ අටමස්‌ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හා ශාන්ති පදනමේ නිර්මාතෘ හා අනුශාසක කොටපොල අමරකිත්ති යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය පිච්චමල් අතුරා පූජා කළහ.

අනතුරුව ජයශ්‍රී මහා බෝමළුවේදී විශේෂ පූජාවක්‌ පවත්වා රටටත් ජනතාවටත් ආශීර්වාද පැවැත්වූහ.

මෙයට සමගාමීව රුවන්වැලි මහා සෑය අභියසදී පෙරේදා රාත්‍රි පිංකම් පැවැති අතර ඊයේ එහිදී මරණයට කැපවූ ගවයින් නිදහස්‌ කිරීමේ පිංකමකින් පිච්ච මල් පූජා පිංකම නිමාවට පත්විය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

0 comments: