Pages

Tuesday, June 4, 2013

ටී.එන්.ඒ. සංවිධානය මුස්ලිම් ජනතාවගේ කිරිපල්ල අතගාන්නට සැරසෙනවා - ජනිපෙ

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් මුස්ලිම් ජනතාව ටී.එන්.ඒ සංවිධානයේ අතකොළුවක් බවට පත්කරමින් සිටින්නේ යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් මහ ලේක්ම් වරයා වෙත ලිපියක් කරමින් මේ බව කියා සිටී. ලිපියේ මෙසේද දැක්වේ.

පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබුණෙ ටී. එන්. ඒ. සංවිධානය යුද්ධය පැවති සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග එකඟතාවයෙන් හා අවබා්ධයෙන් කටයුතු කළ බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ බවත්ය. එසේම උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයාගේ ඉඩම් හමුදාව මගින් අහිමි කරමින් යන බවද ඔහු සඳහන් කර තිබුණි. මෙය ඉතා බරපතළ ප‍්‍රකාශයකි. ටී. එන්. ඒ. සංවිධානය ඔවුන් කොටි සංවිධානය සමග එකගතාවයෙන් හා අවබෝධයෙන් කටයුතු කළ බවට පිළිගැනීමම ඉතා බරපතළ තත්ත්වයකි.

මේ ප‍්‍රකාශයෙන් තහවුරුවනුයේ විසිදහසකට ආසන්න මුස්ලිම් ජනතාවක් උතුරෙන් පළවා හරිමින් ඒ  පළාතේ මුස්ලිම් වර්ග සංහාරය සිදුකළේ ටී. එන්. ඒ. සංවිධානයේ එකඟතාව හා අවබෝධය මත වන බව නොවේද?

කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේදී මුස්ලිම් බැතිමතුන් 127 දෙනකු අමුඅමුවේ මරා දැමුවේ කොටි සංවිධානයේ හා ටී.එන්.ඒ. සංවිධානයේ එකඟතාව හා අවබෝධය මත වන බව නොවේද?

උතුරු නැගෙනහිර දෙපළාත තුළ මුස්ලිම් ජනතාවගේ ඉඩම් හා කුඹුරු අක්කර දහස් ගණනක් කොල්ලකා, ඒ ඉඩම් මහවිරු පවුල් අතර බෙදාදීම කොටි සංවිධානය විසින් සිදුකළේ ටී. එන්. ඒ.  සංවිධානයේ එකඟතාව හා අවබෝධය මත වන බව නොවේද?

අතදරුවන්ගේ කට අතින් තදකර වසාගෙන වනාන්තරවල රැය පහන් කරමින්, සංහාරයෙන් මියගිය දරුවන් හා මව්පියවරුන් ආගමික වතාවත් පවා නොමැතිව වනයේම මිහිදන් කරමින් දිවිගෙවන තත්ත්වයට මුස්ලිම් ජනයා පත්කළ, එරුණු කිරිපොද බොන්නට සිටි දරුවා උදුරාගෙන කඩුවෙන් දෙපළු කළ, බිහිකරන්නට සිටි දරුවාද සමගම මවුවරුන් පෙති ගසා මරා දැමූ එරාවුර් පන්නයේ ජන සංහාරයන් කොටි සංවිධානය විසින් සිදු කරන ලද්දේ ටී. එන්. ඒ. සංවිධානයේ එකඟතාව හා අවබෝධය මත වන බව නොවේද?

එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ටී. එන්. ඒ. සංවිධානය මුස්ලිම් ජනතාවගේ කිරිපල්ල අතගාන්නට සැරසෙනුයේ ඉහත කී සියලූ අපරාධ අමතක කර වුවද උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාවට ඒ සංහාරයන් අමතක නැති බව ඔබ විසින් සිහියේ තබාගතයුතු බව මගේ අදහසයි. ඔබතුමන්ගේ ද ඔබ පක්‍ෂයේ නායක රාවුෆ් හකීම් ඇමතිතුමන්ගේ ද ප‍්‍රකාශයන් පසුගිය දිනවල මාධ්‍ය මගින් පළවූ විට පොදුවේ මුස්ලිම් ජනයාට ඇතිවූ හැඟීම නම් කොටි සංවිධානය විසින් සිදුකළ එකී නොකී සංහාරයන් මුස්ලිම් ජනයාට හොඳින් මතක තිබුණ ද මුස්ලිම් කොංග‍්‍රසයට හා එහි නායක කාරකාදින්ට ඒවා අමතකව ගොස් ඇති බවයි. එසේ නැතහොත් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට අනුව  ඕනෑකමින් අමතක කර ඇති බවයි.

උතුරින් හා නැගෙනහිරින් මුස්ලිම් ජනයා එළවාදමා වර්ග සංහාරය කර ශුද්ධ වූ දෙමළ නිජභූමියක් ඇති කරන්නට කොටි සංවිධානයත් ඔවුන් හා ඒකාබද්ධව එකඟතාව හා අවබෝධය මත ටී. එන්. ඒ. සංවිධානයත් කටයුතු කළ සමයේ ඒ ජනතාව ආරක්‍ෂා කර ගන්නටත් රැකබලාගන්නටත් ඇතිකළ හමුදා කඳවුරු පිළිබඳව මුස්ලිම් කොංග‍්‍රසය නගන අඳෝනාව තේරුම් ගත හැක්කක් නොවේ. එක්කෝ මුස්ලිම් කොංග‍්‍රසය හා එහි නායක කාරකාදීන් ටී. එන්. ඒ. සංවිධානයට බියවී හා යටත් වී ටී. එන්. ඒ. පදයට නටන තත්ත්වයට පත්ව ඇතිවා විය යුතුය. නැතහොත් එදා කොටි සංවිධානය හා ටී. එන්. ඒ. සංවිධානය එකගතාවයෙන් සිදු කරන ලද මුස්ලිම් සංහාරය සම්බන්ධයෙන් කිසිදු වේදනාවක් හෝ සංවේදීභාවයක් නැතුවා විය යුතුය.

හේතුව කුමක් වුවත් මේ තීරණාත්මක මෙහොතේදී තම සැබෑ භූමිකාව පොදු මුස්ලිම් ජනයා හමුවේ ප‍්‍රකාශයට පත් කරන්නැයි මුස්ලිම් භක්තිකයකු වශයෙනුත් මහජන නියෝජිතයෙකු වශයෙනුත් ඔබෙන් ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. එසේ නොමැතිව සියලූ මුස්ලිම් ජනයා රවටමින් අත්‍යවශ්‍ය අවස්ථාවේදී කොටි හිතවාදී ටී. එන්. ඒ. සංවිධානයේ අවශ්‍යතාවයන් උදෙසා ඒ මුස්ලිම් ජනතාව පාවාදෙන ස්ථාවරයේ දිගින් දිගටම කටයුතු කළහොත් ඔබද මාද අදහන දෙවියන් වහන්සේගේ උදහසට ඔබ ඇතුළු නායක කාරකාදීන් ලක්වනු ඇති බව පමණක් සඳහන් කරනු කැමැත්තෙමි.

June 4, 2013 at 4:54 pm | lanka C news

0 comments: