Pages

Tuesday, June 4, 2013

පිරිවෙන්වලට රජයෙන් ලැබෙන මුල්‍ය ආධාර ප්‍රමාණවත් නැහැ - අස්‌ගිරි මහනාහිමියෝ

විහාරාධිපතින් වහන්සේලාගේ මනාපය අනුව පිරිවෙන් ආරම්භ කිරීම සුදුසු නැහැ. පරිසරය, ඉඩකඩ, ගුරු මණ්‌ඩලය, ගමනාගමන පහසුකම් ගැන විශේෂ සැලකිල්ලක්‌ දක්‌වා පිරිවෙන් ආරම්භ නොකළහොත් පිරිවෙන් අතරමග නැවතී අසාර්ථක වනු ඇතැයි අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත හිමියෝ අස්‌ගිරි මහා පිරිවෙනෙහි දී ප්‍රකාශ කළහ.

අධ්‍යාපන සේවා අමාත්‍යාංශය මගින් මධ්‍යම පළාතේ පිරිවෙන් 105 ක පැවිදි ශිෂ්‍යයන්හට චීවර ද ගිහි ශිෂ්‍යයන්හට නිළඇඳුම්ද අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වෙනත් උපකරණද බෙදාදීමේ උත්සව අවස්‌ථාවේ මුලසුන දරමින් අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

පිරිවෙන් සඳහා රජයෙන් ලැබෙන මූල්‍ය ආධාර ප්‍රමාණවත් නොවන බැවින් පිරිවෙන් පවත්වාගෙන යාම දුෂ්කර කාර්යක්‌ වී තිබේ යෑයිද අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහිදී තවදුරටත් අදහස්‌ දක්‌වමින් අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහානායක ස්‌වාමීන්වහන්සේ මෙසේද පැවැසූහ.

ලංකාවේ පිරිවෙන් 739 ක්‌ පමණ තිබෙනවා. මධ්‍යම පළාතේ පිරිවෙන් 105 ක්‌ පමණ තිබෙනවා. ගිහි පැවිදි ශිෂ්‍යයන් දහස්‌ ගණනක්‌ එම පිරිවෙන්වල ඉගෙන ගන්නවා. විශාල සේවයක්‌ එමගින් සිදුවෙනවා. නමුත් එම පිරිවෙන් සංඛ්‍යාවෙන් කීපයක්‌ පමණයි සාර්ථකව පවත්වාගෙන යන්නේ. පන්සල්වල පවත්වාගෙන යන බොහෝමයක්‌ පිරිවෙන්වල අඩුපාඩු තිබෙනවා.

ඉඩකඩ, අවශ්‍ය ගොඩනැගිලි මෙන්ම සුදුසු පරිසරය යන අවශ්‍යතා නොමැතිව පවත්වාගෙන යන පිරිවෙන් සාර්ථක නැහැ. පිරිවෙන් සඳහා ශාන්ත පරිසරයක්‌ අවශ්‍යයි. ගමනාගමන පහසුකම් හා වෙනත් අවශ්‍යතා තිබේ නම් පමණයි පිරිවෙනක්‌ සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවන්නේ දක්‍ෂ ගුරුමණ්‌ඩලයක්‌ අවශ්‍යයිs. ගුරු මණ්‌ඩලයට පහසුකම් තිබිය යුතුයි. ගුරු මණ්‌ඩලයට මෙන්ම ශිෂ්‍යයන්ට විවේකය ගත කිරීමේ පහසුකම් තිබිය යුතුයි. මෙම අවශ්‍යතා නොමැතිව නායක හාමුදුරුවන්ගේ ඕනෑකම අනුව ආරම්භ කරන පිරිවෙන් සාර්ථක වන්නේ නැහැ. ආරම්භ කර ටික කලකදී වසා දමන්නට සිදුවන්නෙ පහසුකම් තිබෙන වෙනත් පිරිවෙන්වලට සිසුන් යන නිසයි.

මහනුවර සහ මාතලේ දිස්‌ත්‍රික්‌කවල ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යන පිරිවෙන්a තිබෙනවා.

එසේම පිරිවෙන් සඳහා රජයෙන් ලැබෙන ආධාර ද ප්‍රමාණවත් නැහැ. පිරිවෙන් සඳහා වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දුෂ්කරතා මධ්‍යයේ පිරිවෙන් පවත්වාගෙන යාමට සිදුවී තිබෙනවා.

ඒ කෙසේ වුවත් අධ්‍යාපන සේවා අමාතාංශය මගින් මෙවන් ආධාරයක්‌ පිරිවෙන් ශිෂ්‍යයන්ට ලබාදීමට ගත් පියවර අගය කළ යුතුය. එසේම මෙවන් ආධාර රජය ලබා දෙන්නේ ජනතාවගෙන් ලැබෙන ආධාරයක්‌ ලෙස බව පිරිවෙන්වල ඉගෙන ගන්නා ගිහි පැවිදි ශිෂ්‍යයන් අවබෝධ කරගැනීම වැදගත්. එම ආධාර ලබාගනිමින් අධ්‍යාපනය සාර්ථක කර රට, දැයට සහ සසුනට සේවයක්‌ කළ යුතුයි. එම යුතුකම ඉටු නොකළහොත් පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍යයන් ජනතාවට ණය කාරයන් වෙනවා.

අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා අදහස්‌ දක්‌වමින් රජයේ අනුග්‍රහය නොමැතිව පිරිවෙන් පවත්වාගෙන යාම දුෂ්කර කාර්යයක්‌ වූවත් පවතින නීති රීති යටතේ ඇතැම් පිරිවෙන්වලට රාජ්‍ය අනුග්‍රහය දීමට නොහැකි තත්ත්වයක්‌ පවතින බව කීවේය.

එහෙත් එම බාධක ඉවත් කිරීම සඳහා නව නීති රීති ඇති කර පිරිවෙන්වලට ආධාර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා උපදෙස්‌ දී තිබේ යෑයිsද ඇමැති දුමින්ද දිසානායක මහතා කීවේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති දුමින්ද දිසානායක මහතා මෙසේද කීවේය. අතීතයේ සිටම පිරිවෙන් අධ්‍යාපනයට අපේ රටේ ප්‍රධාන තැනක්‌ ලබා දී තිබුණා. පිරිවෙන් අධ්‍යාපනය දැනුම පමණක්‌ නොව මනුෂ්‍යත්වයක්‌ ලබා දුන්නා. පිරිවෙන ජාතියේ ශක්‌තිය බවට පත්වී තිබුණා.

පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පණ්‌ඩිත තෙරිපැහැ සෝමානන්ද නාහිමිපාණෝද මධ්‍යම පළාත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍ය බුලත්ගම උපනන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ද අදහස්‌ දැක්‌වූහ. 

මහනුවර අස්‌ගිරිය මහ පරිවෙණාධිපති අස්‌ගිරි පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය නාරම්පනාවේ ආනන්ද ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/06/04/news24.html

0 comments: