Pages

Saturday, June 8, 2013

බුදු රජුන්ගේ උත්තරීතර මානුෂිකත්වය

වෙනත් බොහෝ ආගමික ශාස්‌තෘවරුන් පවසන්නේ ලෝකය හා පුද්ගලයා තමාගේ නිර්මාණයක්‌ වන බවයි. එහෙත් බුදු පියාණන් වහන්සේ කිසි විටකත් මැවුම් කාරයකු ලෙස පෙනී නොසිටියහ. උන්වහන්සේ උපන්නේ ලෝකයක්‌ මවාගෙන නොව මැවී ඇති ලෝකයකය. නොකළ හැකි, නොපිළිගත හැකි වැඩ උන්වහන්සේ කිසිවිටකත් බාර නොගත්හ. තමන් පිට පටවා නොගත්හ. බුදු පියාණන් වහන්සේ ගැන හරි හැටියට නොදත් අය උන්වහන්සේ දේවත්වයෙහිලා සලකති. අනවශ්‍ය පුද සැලකිලි කීර්ති ප්‍රශංසා ගෞරවාදර උන්වහන්සේ කිසි විටෙකත් අගය නොකළහ. බලාපොරොත්තු ද නොවූහ. දිනක්‌ බුදු පියාණන් වහන්සේ "උක්‌කට්‌ඨා හා සේතවිHd" යන නගර දෙක අතර පාගමනින් වඩිද්දී එම මගෙහිම ගමන් ගත් "ෙද්‍රdaණ" නම් බමුණෙක්‌ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පා සටහන් දැක ඒකාන්තයෙන්ම මේ පා සටහන් මනුෂ්‍යයෙකුගේ නම් නොවේ යෑයි සිතා ඉතා ඕනෑකමින් බලා සිටියේය. බුදු පියාණන් වහන්සේ මාර්ගයෙන් පැත්තකට වැඩම කොට ගසක්‌ මුල වැඩ හුන්සේක. බමුණා අතිශය ශාන්ත ඉරියව්වෙන් හෙබි බුදු පියාණන් වහන්සේ ළඟට ගොස්‌ පහත සඳහන් කරුණු විමසීය.

"ඔබ දෙවි කෙනෙක්‌ද?" "බමුණ" මම දෙවියෙක්‌ නොවෙමි".

"ඔබ ගාන්ධර්වයෙක්‌ද?" "බමුණ මම ගාන්ධර්වයෙක්‌ නොවෙමි".

"ඔබ යක්‍ෂයෙක්‌ද?" "බමුණ මම යක්‍ෂයෙක්‌ද නොවෙමි.

"ඔබ මනුෂ්‍යයෙක්‌ද? "බමුණ මම මනුෂ්‍යයෙක්‌ද නොවෙමි".

"බමුණ" මම දෙවියෙක්‌, ගාන්ධර්වයෙක්‌, යක්‍ෂයෙක්‌ හෝ මනුෂ්‍යයෙක්‌ වේ නම් ඒ අය තුළ ඇති කාමාදී ආශාවන් මා තුළත් තිබිය යුතුය. එහෙත් මා ඒ සියල්ල ප්‍රහීන කළෙමි. එනිසා මම අනෙක්‌ මිනිසුන් වැනි මිනිසෙක්‌ද නොවෙමි. නෙළුම් මලක්‌ දියෙහි ඉපිදී දියෙහිම වැසි දියෙන් ඉස්‌මතු වී දියෙහි නොගෑවී තිබෙන්නාසේය. මමත් ලෝකයෙහි මිනිසුන් අතර ඉපද ලෝකයේ මිනිසුන් අතර වැඩී, ලෝකයෙහි මිනිසුන්ගෙන් ඉස්‌මතු වී, ලෝකයා සමඟ නොගැටී නොබැඳී සිටිමී. එනිසා බමුණ මම මිනිස්‌ දුර්වලකම් සියල්ලම නැති කළ උත්තරීතර මනුෂ්‍යයෙක්‌මි. මම බුදුවරයෙක්‌ මි. මා හැඳින්විය යුතු හොඳම නම "බුද්ධ" යන්නයි. (අ.නි. දොaණ සූත්‍රය)

බුදු පියාණන් වහන්සේ දෙවියෙක්‌ බ්‍රාහ්මණයෙක්‌, මැවුම් කරුවෙක්‌, ගැලවුම්කරුවෙක්‌ නොව උත්තරීතර මනුෂ්‍යයෙකු බව අංගුත්තර නිකායේ දොaණ සූත්‍රයෙන්ම මේ බව ප්‍රකට වේ.

සිදුහත් කුමාරයා මිනිස්‌ මවුපියනට දාව, මිනිස්‌ සිරුරක්‌ ඇතිව ඉපද, බුදුවරයෙකු මෙන් ජීවත්ව සිටී. මිනිස්‌ ආයුෂ වළඳා උත්තරීතර මනුෂ්‍යයකු වශයෙන් පිරිනිවන් පෑවේය. සියලු මිනිසුන් තුළ දක්‌නට ඇති රාග, ද්වේශ, මෝහ, මද මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ක්‌ලේෂ ධර්මයෝ උන්වහන්සේ තුළ අවිද්‍යමාන වූහ. මිනිසුන්හට අයත් මිනිසුන් තුළම දක්‌නට ලැබෙන මෛත්‍රි, කරුණා, මුදිතා, උපේක්‍ෂා, සීල, සමාධි ආදී මිනිස්‌ ගති උන්වහන්සේ තුළ විද්‍යමාන විය. බුදු පියාණන් වහන්සේ කතා කළේ එකල ව්‍යවහාරයෙහි ඇති කාටත් තේරෙන මිනිසුන් කතා කරන භාෂාවෙනි. උන් වහන්සේ වැළඳුවේ මිනිසුන් කන බොන ආහාර පාන වර්ගයි. උන්වහන්සේගේ කතාවෙහි මිනිස්‌ ලක්‍ෂණ හොඳින් දිස්‌වෙන තැන් බොහෝය.

"ආනන්දය මම දැන් ජරාවට, වැඩි වයසට මහලු බවට, වයස්‌ගත බවට පත්වීමි". "මගේ වයස අසූවකි. මම දැන් මහල්ලෙක්‌මි. මට ජීවත්වීමට ඇත්තේ තව ස්‌වල්ප වේලාවකි. මම නුඹලා අතහැර දමා යන්නෙමි. මා විසින් නුඹලාට කළ යුතු උපකාරය පිහිට කරන ලද්දේය". දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ (පිටු 110-306) දැක්‌වෙන ප්‍රකාශනයන් මහලු පියෙකු තම මරණ මංචකය වටා රැස්‌ව සිටින දූ දරුවන් අමතා කියන අන්තිම වචනයේ ස්‌වරූපය මෙහි දක්‌නට ඇත. බුදු පියාණන් වහන්සේ මිනිසෙකු වශයෙන් මිනිසුන් සමඟ කතා කරනු මෙහි ඉතා හොඳින් දැක්‌වෙයි.

චුන්ද කර්මකාර පුත්‍රයාගේ ආහාර වැළඳීමෙන් පසු බුදුරදුන්ට දරුණු රෝගයක්‌ වැළඳුණේය. එවිට බුදු පියාණන් වහන්සේ "ආනන්දය හොඳටම වතුර පිපාසයි". ඉක්‌මනට වතුර ටිකක්‌ ගෙනත් දෙන්න යෑයි තෙවරක්‌ම ආනන්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී උන්වහන්සේ භාවිත කළ වචන තුළින් වතුර පිපාසයෙන් පෙළෙන රෝගියෙකු තුළ පවතින ස්‌වභාවය දිස්‌වේ. බුදු වදනෙහි ඇත්තේ සාමාන්‍ය මිනිස්‌ ස්‌වරූපයයි. බුදු පියාණන් වහන්සේගේ අනූපම රූ සපුවෙන් වශී වී ඒ දෙසම බලා සිටීම සඳහා මහණ වී සිටි "වක්‌කලී" තෙරුන් අමතා "වක්‌කලිය මේ කුණු සිරුරෙන් ඔබට ඇති ඵලය කුමක්‌දැයි" ඇසීම තුළින් උන් වහන්සේගේ සිරුර දෙතිස්‌ කුණපයෙන් යුත් මිනිස්‌ සිරුරක්‌ බව පැහැදිලි වේ.

මෙබඳු දහසක්‌ කරුණුවලින් බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා බව ඔප්පු වේ. උන්වහන්සේට දේවත්වයක්‌ ආරෝපණය කොට ඇත්තේ අසීමිත බලයක්‌ උන්වහන්සේ වෙත පටවා ඇත්තේ උන්වහන්සේ විසින් නොව බැතිමතුන් විසින් මිනිසාට වඩා දෙවියන් ලොකු කොට සලකන්නන් විසිනි. බුදු පියාණන් වහන්සේ දුකින් මිදීමේ විමුක්‌තියේ මාර්ගය පෙන්වා දුන් උත්තරීතර මනුෂ්‍ය උත්තමයාය. තමන් හට පිහිට තමන්මය. අනෙකක්‌ පිහිට වෙත්දැයි උන්වහන්සේ ප්‍රශ්න කළ සේක. "අත්තාහි අත්තනො නාථෝ කොහිනාථො පරොසියා" යනුවෙන් අනුන්ගෙන් පිහිට පතනවුන්ගෙන් එක එල්ලෙහිම ඇසූහ. ආත්ම ගෞරවයක්‌ නැති උනුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වන ස්‌වකීය මිනිස්‌ බුද්ධියෙහි හා ශ්‍රමයෙහි වටිනාකම නොදත් අභ්‍යන්තරික ගුණධර්ම බලයක්‌ නැති නොපෙනෙන බලවේග වලට වැඳ වැටෙන යාඥ කරන හීන දීන හැඟීම් ඇති අයට මේ බුද්ධ වචනය හොඳ පාඩමකි. උන් වහන්සේ කිසිම කෙනෙකු ගැලවූයේ නැත. එහෙත් සසර දුකින් මිදීමේ මාර්ගය ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්හ. එබැවින් උන්වහන්සේ ගැලවුම් කාරයෙක්‌ද නොවෙති.

තමන්හට අවේණික නිදහස්‌ දර්ශන වාදයක්‌ ඉදිරිපත් කරමින් ශිෂ්‍යයන් අනුගාමිකයන් තමා වටා රැස්‌කර ගැනීමට උත්සාහ දැරූ ආගමික ශාස්‌තෘවරු කොතෙක්‌ ක්‍රි. පූ. හයවන සියවස වන විට භාරතයේ පහළ විය. ආවේනික, සවේණික, පරිබ්‍රාජක, ජටිල, තාපස, ආදී ආගමික සංවිධාන බිහිවිය. මෙබඳු ශාස්‌තෘවරුන් කවරේදැයි විමසා බලන කල්හි දිනක්‌ අජාසත්ත මහරජතුමාට බුදු පියාණන් වහන්සේ කෙබඳු ශාස්‌තෘවරයෙක්‌ දැයි බුද්ධ කාලයේ ප්‍රකට වෛද්‍යවරයෙක්‌ වූ "ජීවක" තුමන් විසින් හඳුන්වාදීමේදී. "සත්තං දේව මනුස්‌සානං බුද්ධෝ භගවා" යනුවෙන් දක්‌වයි. අනෙක්‌ ශාස්‌තෘවරු මෙන් නොව උන්වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේම ශාස්‌තෘවරයා ගුරුවරයා වන බව පැවසූහ. ඒ බව "දීඝ නිකායේ සමාඤ්ඤඵල සූත්‍රයෙ" ප්‍රත්‍යක්‍ෂ වේ. උන්වහන්සේගේ චරිතය තුළින් මූර්තිමත් වන ලක්‍ෂණ රැසකි.

01. ආදර්ශවත් චරිතයකින් යුක්‌තවීම.

02. තම ශ්‍රාවක පිරිසට පියෙකු සේ කටයුතු කිරීම.

03. අසන ඕනෑම ප්‍රශ්නයකට පූර්ව සූදානමක්‌ නැතිව පිළිතුරු දීමේ හැකියාව.

04. චින්තනයට විමංසනයට ඉඩ ලබාදීම.

05. ගුරු මුෂ්ටි තබා නොගැනීම.

බුදු රජාණන්වහන්සේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයෙක්‌ වශයෙන් අගය කළ හැක්‌කේ ආදර්ශවත් චරිතයකින් යුක්‌තවීම නිසාය.

ඉහත සඳහන් කරුණු වලින් බුදු පියාණන් වහන්සේ දෙවියකු හෝ මැවුම්කාරයකු හෝ ගැලවුම්කාරයකු නොව මානව සංහතියේ මෙතෙක්‌ උපන් උත්තරීතර මනුෂ්‍යා බව ඔප්පු වෙයි. උන්වහන්සේ මිනිසෙකු වූ නිසාම බුදුවරයෙක්‌ වූහ. බුදුවීම මිනිසෙකුට මිස වෙන දෙවියෙකුටවත් කළ හැක්‌කක්‌ නොවෙයි.

බුද්ධත්වයට පත්වීමෙන් උන්වහන්සේ මිනිස්‌ බුද්ධියට මිනිස්‌ කමට මිනිසෙකු විසින් ලබාදිය හැකි උසස්‌ම තැන. උසස්‌ම ගෞරවය ලබාදුන් බුද්ධිමත්, ගුණවත් මිනිසා දෙවියන්ට වඩා උතුම් බව. බලවත් බව ශ්‍රේෂ්ඨ බව පෙන්වූ එකම මනුෂ්‍යයා එකම ශාස්‌තෘවරයා බදු පියාණන් වහන්සේය.

"අඤ්ඤරතා දේවතා භගවන්තං

අභිවාදෙත්වා එකමන්තං අට්‌ඨාසී"

දෙවියෝ බුදු පියාණන් වහන්සේට වැඳ එකත් පසක හුන්හ.

මහබඹුට, දෙවිවරුනට, මැවුම්කරුවන්ට වැඳුම් පිදුම් කළ රටක එබඳු යුගයක මිනිසෙකු වූ බුදු පියාණන් වහන්සේ අනෙක්‌ මිනිසුන් බලා සිටියදී දෙවියන්ගෙන් බමුණන්ගෙන් වැඳුම් පිදුම් ලැබූහ. ගරු බුහුමන් ලැබූහ. ඇප උපස්‌ථාන ලැබූහ. මීට වඩා ආශ්චර්යක්‌ ඒ යුගයේදී ලෝකයේ කවර නම් මනුෂ්‍යයෙකුගෙන් සිදුවී තිබේද සිල්වත් ගුණවත් මිනිසාට දෙවියන් පවා ගරු බුහුමන් කරන බව බුදු පියාණන්වහන්සේ දේශනා කළ සේක. ආත්ම ශක්‌තිය, ආත්ම විශ්වාසය, ආත්ම ගෞරවය, ආත්මාභිමානය ඇතිව මිනිස්‌ බුද්ධියෙන්. මිනිස්‌ ශ්‍රමයෙන්, මිනිස්‌ බලයෙන් කළ නොහැකි දෙයක්‌ නැති බවත් ඒවා අනුන් පිට පැවරූ මිනිසුන් ස්‌වකීය බුද්ධිය හා ශ්‍රමය ක්‍රියාවේ නොයොදා ඇත්තේ උන්වහන්සේ විසින් නොව බැතිමතුන් විසිනි. මිනිසාට වඩා දෙවියන් ලොකු නොකට සලකන්නන් විසිනි. බුදු පියාණන් වහන්සේ ඉතිහාසයක්‌ නැති දෙවියෙකු නොව සැබෑ මානව ඉතිහාසයක්‌ ඇති උත්තරීතර මනුෂ්‍යයකු බව පෙන්වා දිය හැකිය.

පූජ්‍ය කරඳන සමිත හිමි - ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය
http://www.divaina.com/images/bud24may/bud13.html

0 comments: