Pages

Saturday, February 8, 2014

නැගෙනහිර සිහල බොදු උරුමය සේදීයයිද? දේශපාලකයන් සහ රජ්‍ය නිලධාරීන් හවුලේ මහා ඉඩම් කොල්ලයක...

නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි පොතුවිල් සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස තුළ මෙම මහා පරිමාණ ඉඩම් මංකොල්ලය සිදුවී තිබේ.

රජය සතු ඉඩම් අක්‌කර (5000) පන්දාහකට වැඩි ප්‍රමාණයක්‌ සඳහා හොර ඉඩම් බලපත්‍ර 2000 කට වැඩි ප්‍රමාණයක්‌ ලබාදී මෙම ඉඩම් මංකොල්ලය සිදුකර ඇත. මෙම ඉඩම් කොල්ලයට Rජු ලෙසම ගොදුරු වී තිබෙන්නේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි තිරාන්කොමාරි වෙගාමන් සහ දාරම්පලෙයි ප්‍රදේශ තුළ පිහිටි රජය සතු ඉඩම්ය.

ගුරුවරුන්ටත් අකුරු වරදින වෙලාවල් අනන්තවත් තිබේ. හොරුන්ටත් ඒ වගේමය. හොරුන්ගෙත් හොරු කම්බා හොරෙක්‌ වෙන මේ ප්‍රාදේශීය ලේකම්වරයාටත් වැඩ වැරදී තිබේ. ඒ සඳහා දිය හැකි හොඳම නිදසුන වයස අවුරුදු 12 ක්‌ වන ළමයකුටත් ඉඩම් බලපත්‍රයක්‌ නිකුත් කර තිබීමයි.

ඒ වගේම මෙම හොර ඉඩම් බලපත්‍ර 2000 කට අධික ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිකුත් කර තිබෙන්නේ ව්‍යාජ අංකවලට අනුවයි. එපමණක්‌ නොවේ ලංකාවේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ තුළ පිහිටි රජය සතු ඉඩමක්‌ නිත්‍යානුකූල ලෙස බෙදාදීමේදී හෝ බදු දීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ නිර්දේශය අවශ්‍ය වේ.

නමුත් පොතුවිල් සහ ලාහුගල ප්‍රදේශ තුළ සිදුවී ඇති ඉඩම් කොල්ලය තවදුරටත් විමර්ශනය කිරීමේදී හොරට නිකුත් කර ඇති ඉඩම් බලපත්‍ර අතර ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියා අත්සන් කළ ඉඩම් බලපත්‍ර ද හමුවී තිබේ. මේ අනුව මෙම ඉඩම් කොල්ලය තනි පුද්ගලයකු විසින් සිදු කළ හොරකමක්‌ නොව පුද්ගලයන් තුන් හතර දෙනකු එක්‌ව ඉතා සූක්‍ෂම ලෙස හා සංවිධානාත්මකව සිදු කළ දූෂිත ඉඩම් මංකොල්ලයක්‌ බව ඉතා පැහැදිලි වේ.

ප්‍රාදේශීය ලේකම්වරයකුට බලය තිබෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් තමන්ව පත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ නිල රාජකාරි ඉටුකිරීමට පමණි. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ සඳහාම රජය විසින් ප්‍රාදේශීය ලේකම්වරු පත්කර තිබේ. එනිසා අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැසීමට තවත් කෙනකුට අවශ්‍යතාවයක්‌ නැත. නමුත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු දූෂිත නිලධාරියා තමන් සතු බලය අයුතු ලෙස යොදාගෙන ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉඩම් සඳහා ද හොර බලපත්‍ර සකස්‌ කොට ඉඩම් ලබාදී ඇත.

නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්‌ත්‍රික්‌කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 17 ක්‌ පිහිටා තිබේ. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4415 ක්‌ වේ. මේ අනුව පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 265 ක්‌ වන අතර ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 815 ක්‌ වේ. ඒ අනුව අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 17 අතුරින් විශාලත්වයෙන් පළමු තැන ලාහුගලටත්, විශාලත්වයෙන් හයවැනි තැන පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි වේ.

රජය විසින් ඉඩම් සංවර්ධන ආඥ පනත යටතේ ජනතාවට ලබාදෙන නිත්‍යානුකූල ඉඩම් බලපත්‍රවල කොන්දේසි දාහතක්‌ ඇතුළත් වේ. එහි පළමු කොන්දේසිය වන්නේ යම් කොන්දේසියක්‌ කඩ කරනු ලැබීමේ හේතුවෙන් මේ අවසර පත්‍රය අවලංගු කරනු ලැබුව හොත් මිස එය ඉහත සඳහන් ආඥ පනතේ විධි විධාන යටතේ ප්‍රදාන පත්‍රයක්‌ නිකුත් කරන තෙක්‌ වලංගු බවයි.

පොතුවිල් හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නීති විරෝධී ලෙස හොරට මුද්‍රණය කර ජනතාවට ලබාදී ඇති ඉඩම් බලපත්‍රයේ ද රජය විසින් නිකුත් කරන නිත්‍යානුකූල බලපත්‍රයේ ඇති කොන්දේසි 17 එයාකාරයෙන්ම පැහැදිලිව සටහන් කර තිබේ. ඒ වගේම මෙම බලපත්‍ර සියල්ල ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කර ඇති බවද පැහැදිලිව සටහන් කර ඇත.

මේ නිසා හොර බලපත්‍රය කුමක්‌ ද නිත්‍යානුකූල බලපත්‍රය කුමක්‌ ද යන්න පිළිබඳව බලපත්‍ර පිළිබඳව විශේෂඥ දැනුම ඇති නිලධාරියකුට හැර සාමාන්‍ය පුද්ගලයකුට හඳුනාගැනීම දුෂ්කර වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ තුළ පිහිටි රජය සතු ඉඩමක්‌ ඉඩම් නොමැති ජනතාව අතර බෙදා දෙන්නේ නම් පළමුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පදිංචි ඉඩම් නොමැති ජනතාවගෙන් දැන්වීම් ප්‍රසිද්ධ කොට අයෑදුම්පත් කැඳවිය යුතු වේ. ඉන් පසු ඉඩම් කච්ෙච්රියක්‌ පවත්වා ඉඩම් ඉල්ලා අයෑදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන්ගේ අයෑදුම්පත් එකින් එක පරීක්‍ෂා කර ඉඩම් බෙදා දීමට සුදුසු පුද්ගලයන් තෝරාගත යුතු වේ. ඉඩම් බෙදා දීම සිදු කළ යුත්තේ ඉන් පසුවයි. ආසනේ මන්ත්‍රීවරයාගේ නැත්නම් ඇමැතිවරයාගේ ලයිස්‌තුවට ඉඩම් ලබා නොදිය යුතු වේ. ඉඩමක්‌ හැම විටම ලබාදිය යුත්තේ ඉඩමක්‌ නැති පවුලකට පමණි.

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඇතිවූ සුනාමි ව්‍යසනයට ගොදුරු වී පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය සම්පූර්ණයෙන්ම විනාශ විය.

මෙය අම්පාර දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි රජයට අයත් ඉඩම් සම්පතට කෙල හලමින් සිටි ජාතිවාදී දේශපාලනඥයන්ට සහ හොර සක්‌විතිලාට වෙස්‌වලාගෙන පැමිණ ආශිර්වාදයක්‌ විය.

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් හොර බලපත්‍ර සකස්‌ කොට ජනතාවට බෙදා දී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක්‌ පිහිටා තිබෙන්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ රක්‍ෂිත ඉඩම් තුළයි.

මෙම ඉඩම් තමන්ට ලබාදුන්නේ රජය විසින් නිසා බලපත්‍රවල සඳහන් සියලුම ඉඩම් තමන්ට අයිති යෑයි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන් සඳහන් කරයි. එපමණක්‌ නොවේ මෙම ඉඩම් තුළ තමන් පදිංචිව සිටි බවත් තමන් විසින් ඒවා වගා කර ඇති බවත් ඔවුන් සඳහන් කරයි. නමුත් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම ඉඩම් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බවයි.

නමුත් නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන ප්‍රබල මුස්‌ලිම් දේශපාලන පක්‍ෂයක්‌ සහ ජනතාවගේ ඡන්ද හිඟමනේ යන අවස්‌ථාවාදී දේශපාලනඥයන් ඉඩම් මංකොල්ලය ඡන්ද ගුණ්‌ඩුවක්‌ කරගෙන බලපත්‍ර නිකුත් කර ඇති සියලුම ඉඩම් ජනතාවට ලබාදිය යුතු බවත් කිසිසේත්ම එම ඉඩම් නැවත රජයට පවරා නොගත යුතු බවත් රජයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටී.

2014 අයවැය යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති වාද විවාදවලදී ද නැගෙනහිර පළාතේ දේශපාලනඥයන් කීපදෙනකුම පොතුවිල් සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස තුළ සිදුවී ඇති ඉඩම් මංකොල්ලය පිළිබඳව සත්‍ය තත්ත්වය හෙළිනොකර වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉඩම් නැවත ජනතාවට ලබාදිය යුතු බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 80% ක්‌ රජය සතු ඉඩම් වන අතර 20% ක්‌ පුද්ගලික ඉඩම් වේ. මෙම 80% ක ඉඩම් ප්‍රමාණය පාලනය කිරීමේ වගකීම පැවරී තිබුණේ 1931 වර්ෂයේදී පිහිටුවනු ලැබූ ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුවටයි.

පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට පෙර ඉඩම් කොමසාරිස්‌වරයා විසින් රජයේ ඉඩම් පාලනය කරනු ලැබුවේ තම දෙපාර්තමේන්තුවේම කාර්ය මණ්‌ඩලයක සහය ඇතිවයි. මේ සඳහා රට පුරා පිහිටි දිසාපති කාර්යාල 25 ක ඉඩම් අංශයක්‌ වෙනම පිහිටුවා තිබුණි. ඉඩම් කොමසාරිස්‌ හා දිසාපතිගේ අධීක්‍ෂණය යටතේ දිස්‌ත්‍රික්‌ ඉඩම් නිලධාරීන්, සහකාර ඉඩම් කොමසාරිස්‌වරුන් අදාළ දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් රාජකාරි වන ඉඩම් කච්ෙච්රි පැවැත්වීම බලපත්‍ර නිකුත් කිරීම, පසු උරුමය නම් කිරීම දීමනා පත්‍ර පිළියෙල කිරීම, බදු අය කිරීම ඇතුළු සියලුම කටයුතු සිදු කරන ලදී.

ඔවුන්ගේ සහයට ජනපද නිලධාරීන්, ඉඩම් කට්‌ටි පරිපාලකවරුන් ද ඊට පහළින් ඉඩම් කට්‌ටි ඔවර්සියර්වරුන් ද සේවයෙහි යෙදී සිටියේය.

නමුත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයත් සමග පළාත් සභා පිහිටුවීමත් 1992 දී පවත්වන ලද අංක 58 දරන බලතල පැවරීමේ පනත යටතේ දිසාපතිවරුන් වෙත පැවරී තිබූ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමත් සමග මේ රටේ ඉඩම් පරිපාලනය අවුල් ජාලයක්‌ බවට පත් විය.

මේ සඳහා Rජු ලෙසම හේතුවී තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් රාජකාරිවලට පමණක්‌ සීමා වූ පුද්ගලයකු නොවීම සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විශාල පිරිසකට ඉඩම් විෂය පිළිබඳව නිවැරැදි දැකීමක්‌ නොතිබීමයි. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විශාල පිරිසක්‌ දේශපාලන ඉත්තන් බවට පත්ව තිබීමත් මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වීමට Rජු ලෙසම හේතු වී තිබේ.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/02/09/politics08.html

Pic1 Source
Pic2 Source

1 comments:

Anonymous said...

mema edam mankollaya pilibandawa meeta wasara3 pera sitama ma visin rajaye bala dharenta ha janaddhipatitumata danwowa enamuth e pilibandhawa kisidhu piyawarak gatthe natha. emenma pottuvil maha wanaya madin kanchikudiyaru maha wanaya dakwa edam allagena atha e sandhaha uddaya athi kalaye ltte sanvidhanayadha sahayogaya dakwanaladdhe ounage awi ha ahara drawya wanayata mounage upakarayenma genwagatha haki bawini.