Pages

Tuesday, August 12, 2014

'අයං වස්‌සාන කාලෝ' - මේ වස්‌සාන කාලයයි

වර්ෂයේ පුර පසළොස්‌වක්‌ පෝය අතර නිකිණි පෝයට හිමි වන්නේ විශේෂ තැනකි. ඊට හේතුව ශාසනික වශයෙන් භික්‍ෂුන් වහන්සේලා විනය කර්ම කරන වස්‌ සමාදන්වන කාල වකවානුව වීමයි. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය වඩාත් තහවුරු වන ගුණ ධර්ම වර්ධනයට ඉවහල් වන යුතුකම් එකිනෙක පාර්ශ්ව අතර සිදුවන ශාසනික සම්ප්‍රදායයන් ආරක්‍ෂාවට හා වර්ධනයට මහෝපකාරී වන උදාර කාල වකවානුවකි. භික්‍ෂුන් වහන්සේලාට වස්‌ විසීම ඇරඹිය හැකි දින දෙකක්‌ දේශනා කර ඇත. එය පෙර වස්‌ විසීම හා පසු වස්‌ විසීම යනුයි. ඇසළ පුණු පොහෝ දිනයේ සීමාමාලකයේ දී කරනු ලබන විනය කර්ම වලින් අනතුරුව ඇසළ අවපෑලටියෙන් පෙර වස්‌ සමාදන් විය යුතුය. එසේම නිකිණි පුර පෝදා විනය කර්ම කර නිකිණි අවපෑළවියෙන් පසු වස්‌ සමාදන් විය යුතුය. උපසපන් භික්‍ෂුවක්‌ නම් මේ දෙදිනෙන් එක්‌ දිනකදී වස්‌ එළඹිය යුතුය. යම් ලෙසකින් එසේ වස්‌ නොඑළඹෙන්නේ නම් එම භික්‍ෂුව දුකුළා ඇමැතට හසුවෙන බව මහා වග්ගපාලියේ වස්‌සුපනායිකක්‌බන්ධකයෙහි සඳහන් වේ. වස්‌ වසන භික්‍ෂුව පසු වස්‌ වැසිය යුත්තේ යම් කරදරයක්‌, බරපතළ ගැටලුවක්‌, වුවහොත් පමණි. එසේම කඨින චීවරයට හිමිකම් කියන්නේ ද පෙරවස්‌ විසූ භික්‍ෂුව පමණි. පසු වස්‌ වැස කඨින චීවරය භාරගත නොහැකි බව අවධාරණය කිරීමෙන් මෙහි ඇති බරපතළ උදාර වටිනාකම් පෙන්නුම් කරයි. වස්‌ විසීමේදී නිශ්චිත ස්‌ථානයක්‌ නැතිනම් සෙනසුනක්‌ අත්‍යවශ්‍යය. එසේ නොමැතිව වස්‌ විසීම දුකුළා ඇවතට හසු වන බව බුද්ධ දේශනාවයි. මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන්නේ වහලක්‌, දොරක්‌ නොමැති ස්‌ථානයක්‌ තෝරා නොගත යුතු බවයි. වස්‌ විසීමට එවන් තැනක්‌ දායකයා ලවා සකස්‌ කර ගත යුතුය. එසේ කරගත නොහැකි නම් තමා විසින්ම එවන් තැනක්‌ තනාගෙන හෝ වස්‌ එළඹිය යුතු බව සඳහන් ශාසනික ප්‍රතිපත්ති රැකීමේදී කෙතරම් සැලකිල්ලක්‌ දක්‌වා ඇද්දැයි මෙයින් පැහැදිලි වේ.

ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්‌වග තවුසන් සමඟ ඉසිපතනෙ මිගදායේ පළමු වස්‌ එළඹීම සිදු කළේ අධික වැසි කාලය එළැඹි නිසාවෙනි. එය ඒ වන විට ශාසනික සම්ප්‍රදායක්‌ නොවූ අතර ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත ආ සිරිතක්‌ අනුගමනය කිරීමකි. එහෙත් පසුකාලීනව භික්‍ෂු සමාජයේ ව්‍යාප්තියත් සමඟම බොහෝ භික්‍ෂුන් වර්ෂා කාලයේ පවා චාරිකාවේ යෙදුණ අතර මෙය පෞරාණික ධර්මයන් කඩ කිරීමක්‌ ලෙස හඳුන්වන්නට විය. මේ වන විට බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටියහ. චාරිත්‍ර වාරිත්‍ර උල්ලංඝනය කරමින් භික්‍ෂුන්ගේ මෙම චාරිකාවට එරෙහිව මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර තීර්ථකයන් පවා වස්‌කාලයේ එක තැනක සිටීමත් ඔවුන්ගේ දැඩි දොෂ දර්ශන ද ඉතා තියුණු විය. මේ සියල්ලටම පිළිතුරක්‌ ලෙස වස්‌ එළඹීම කළ යුතු බව බුදුරජාණන් වහන්සේ නීති පැනවූහ. "අනුජානාමි භික්‌ඛවේ වස්‌සානෙ වස්‌සසං උපගත්තුං" යනුවෙනි. වස්‌ එළඹීම මහජන මතයට කන්දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ද හැඳින්විය හැකිය, රජතුමාට එකඟව පවතින්නට අනුදැන වදාළ අතර බුදුරදුන් පැනවූ බොහෝ ප්‍රඥප්ති රටවල දේශගුණයට කාලගුණයට හා පරිසරයට අදාළ වීමද දක්‌නට පුළුවන.

වස්‌ සමයට අමතරව ශාසනික වශයෙන් නිකිණි පෝය විශේෂ වැදගත්කමක්‌ උසුලන්නේ පළමු ධර්ම සංගායනාව ඇරඹෙන්නේ නිකිණි පෝදා වීමයි. ඇසළ පෝදා විනය කර්ම කොට වස්‌ වැස පළමු මාසය පුරා විහාරාරාම පිළිසකර කරවා මූලික අවශ්‍යතා නිමකර සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස නිකිණි පොහෝ දින රජගහ නුවර වේහාර පර්වත සප්ත පර්ණි ගුහාද්වාරයේදී පළමු ධර්ම සංගායනාව ඇරඹීම සිදුවන්නේ මෙම පොහෝ දිනකය.

පළමු ධර්ම සංගායනාවට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහත් තෙරුන් 499 නමක්‌ තෝරාගෙන සංගායනාවට සූදානම් වීමත් හිස්‌ එක්‌ අසුනක්‌ පමණක්‌ වෙන්කර තිබීමත් සංගීතියට පළමු දින රාත්‍රි විදර්ශනා වඩා රහත් ඵලයට පත් ආනන්ද මහ රහතන් වහන්සේ සංගීතියට වැඩම කරවීමත් යන ඓතිහාසික සිදුවීම නිකිණි පුර පසලොස්‌වක්‌ පෝදා සිදුවිය.

පළමු ධර්ම සංගායනාව ඓතිහාසික වශයෙන් ශාසනික මහා කටයුත්තකි. සුභද්‍ර වැනි ශාසන විරෝධී ශ්‍රමණයන්ගෙන් විනාශ වීමට ගිය සසුන බේරා ගැනීමට මුල් වූයේ ධර්මසංගීතිය ඇරඹීමයි. යම් ලෙසකින් එසේ නොවේ නම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක්‌ ගතවූ කල්හි එවැනි ශාසනවිරෝධී භික්‍ෂු පරපුරක්‌ බිහිවූවාය. පසුකාලය වන විට ඇතිවන බියකරු තත්ත්වය සිතා ගැනීමටත් නොහැකිය. එබැවින් සුභද්‍ර වැනි සිය ගණනක්‌ ශාසන විරෝධීන් හිස එසවීමට ඉඩ නොතැබූ ඓතිහාසික අවස්‌ථාව උදා වූ දිනය නිකිණි පෝදා වීම අතිශයින්ම වැදගත්ය.

ලංකාව පුරා පැතිර ඇති සෑම විහාරස්‌ථානයකම උපසපන් භික්‍ෂුන් මේ වස්‌ කාලය තුළ වස්‌ එළඹීමටත් ශාසනික ප්‍රතිපදාවල නිරන්තරව යෙදී සිටීමටත් එදා මෙන්ම අදත් දැකිය හැකි ඉතා මැනවින් ගෞරවයෙන් සිදුවන්නකි. විශේෂයෙන්ම මෙරට බෞද්ධ ජනතාව කිසිදු විහාරස්‌ථානයක්‌ වස්‌සාවාසික භික්‍ෂුන්ගෙන් තොර නොකිරීම විශාල ගෞරවයකි. විශේෂ කටයුත්තකි. ප්‍රත්‍ය පහසුකම් සලසමින් කුඩා ආවාසය තුළ ද භික්‍ෂුවක්‌ වස්‌ වසවාගෙන මේ වස්‌ තුන් මාසයක්‌ චීවර මාසයක්‌ පිංකම් කිරීම සුලභ ලක්‍ෂණයකි. ධර්ම දේශනා බෝධි පූජා, පිරිත් සඡ්Cධායනා හා දානමානාදී විවිධ පිංකම් පවත්වති. පැරැන්නෝ දිනපතාම මල් පහන් පූජාව ධර්ම දේශනා හා කවි බණ, නාට්‍යානුසාර ධර්ම දේශනා සල්පිල් ආදී විවිධ පිංකම් යොදා ගන්නේ වස්‌ කාලයේය. සමහර විහාරස්‌ථානවල වස්‌ හාර මාසයම අඛණ්‌ඩව පිංකම් පැවැත්වෙයි. වෙනදාට වඩා කුසල් රැස්‌වෙන පිංකම් ලෙස සලකති. විහාරාංග ඉදිකිරීම ද කඨින චීවර පූජාවට අමතර සිදු කෙරේ. වස්‌සමය බෞද්ධ ජනතාවගේ විශේෂ ආගමික උත්සව සමයක්‌ ලෙස සැලකේ. වෙහෙර විහාරස්‌ථානවල පවත්වන පෙරහැර මේ සමය තුළ ඉතා අධිකය. වෙනදා පැවැති කඨින පෙරහැර අලි ඇතුන් සහිතව විසිතුරු විවිධ නැටුම් කණ්‌ඩායම් සමඟ පැවැත්වීමට වසරින් වසර නවීකරණය වෙමින් සිදුවන බව පෙනේ. මූලික ශාසනික කර්තව්‍යක්‌ වන වස්‌ එළඹීම කිසිදු නවීකරණයක්‌ නොවී සිදුවීම ද අගය කළ යුතුය. එසේම පවත්වාගෙන යැමට ක්‍රියා කිරීමට අත්‍යවශ්‍යය. නිකිණි පුර පසළොස්‌වක්‌ පෝය ශාසනික සම්ප්‍රදායයේ සුවිශේෂි කාලවකවානුවක උදාර පොහොය දිනයක්‌ බවත් විශේෂයෙන් සැදැහැති උවැසි උවැසියන්ට මෙලොව පරලොව උභයාර්ත සංසිද්ධිය උදාකර ගැනීමට මහඟු වටිනා කාලවකවානුවක උදාර දිනයක්‌ බවත් සඳහන් කළ යුතුය.

ශාස්‌ත්‍රපති වතුරුවිල හේමාලෝක නා හිමි
http://www.divaina.com/2014/08/09/feature01.html

Pic Source

0 comments: