Pages

Friday, August 15, 2014

ආර්ථික ප්‍රගතියේ ගමන් මග අද කෙබඳු ද?

සමාජ සංවර්ධන කාර්යය දිනෙන් දිනම ආරෝහණ ගමන් මඟකට අවතීර්ණ කිරීම පාලක ක්‍රියාකාරී පද්ධතියේ ස්‌වරූපයයි. ජනතාවට සහන සැලැසීම එහි මුඛ්‍ය අභිප්‍රේතාර්ථයයි. එක අංශයක්‌ නොව හැම අංශයකින්ම ප්‍රභවයක්‌ ඇතිවිය යුතුය. මෙය කෙටි කාලීන වූවක්‌ නොවේ. දිගු කාලීන වූවක්‌ විය යුතුය.

දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් ආර්ථික රටාව අංශ දෙකකට වර්ග කැරේ. මෙතැනදී වඩාත් වැදගත් වන්නේ දිගු කාලීන ආර්ථික රටාවයි. පාලන තන්ත්‍රය ගමන් කරන විලාශය අනුව ජනතාවගේ අපේක්‍ෂා බිඳ වැටී ඇති බව පෙනේ.

'මහින්ද චින්තන' සම්බන්ධයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ගත්හ. පෙර නොවූ විරූ තත්ත්වයක්‌ 'මහින්ද චින්තන' මගින් ඉටුවේය යන අපේක්‍ෂාව රැඳී තිබුණි.

පෙරාතුව ඇතිවුණු ආර්ථික ක්‍රමවේද මැනවින් අධ්‍යයනය කොට ඒවායේ පවත්නා අඩුලුහුඬුකම්, ඌනතා අකාමකා ජනතාවට සෙත සලසන ආර්ථික පද්ධතියක්‌ සැකැසේය යන අරමුණ ජනතාව කෙරෙහි තිබුණි. 'මහින්ද චින්තනයට' වසර 9 ක්‌ තරම් දිගු කාලයක්‌ ගත වී ඇත. මෙය අද මිථ්‍යාවක්‌ (myths) මායාවක්‌ (fantasy) බවට පත්වී ඇත.

දෛනික ජීවිතයේදී ජනතාව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යැමක්‌ සිදුවෙයි. මේ මිල මට්‌ටම පහත හෙළන්නට, ඒවාට ක්‍රමවේද සකසන්නට අවශ්‍යතාවක්‌ නැති බවයි, හැඟී යන්නේ. යම් යම් දැවල නිෂ්පාදනයක්‌ ඇති වී තිබේද? නිපැයුම වර්ධනය නම් ආහාර ද්‍රව්‍යවල මිල පහත මට්‌ටමක පැවතිය යුතුය.

රටක ආර්ථික පද්ධතිය වර්ධනය කරා ගමන් කරන්නේ උගතුන්ගේ විඥානය හේතු කොට ගෙනය. අපට පෙනෙන අන්දමට උගතුන්ගෙන් පාලන පක්‍ෂය උපරිම ඵල ප්‍රයෝජන ගන්නා බවක්‌ නොපෙනේ. උගතුන් කොන් වී හිස්‌ මිනිසුන් පාලන තන්ත්‍රය වටා ඒකරාශී වී ඇත. යම් යම් ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කොට ඇත්තේ ඒ විෂය පිළිබඳ අවබෝධයක්‌ ඇති අය නොවේ. පාලකයන් බොරුවට වර්ණනා කොට ඒ ඒ තැන්වලට යොමු වී ඇත. මෙතැනදී අපේක්‍ෂා කරන්නේ රැවටීමද, ප්‍රතිලාභ ලැබීමද යන කරුණු කාරණායි. රැවටීමෙන් සිදුවන්නේ ආර්ථික පද්ධතිය බරපතළ ලෙස බිඳවැටීමකි. අගාධයකට යැමකි.

විෂය ඥානයක්‌ ඇති රටට ඵලදායී අයුරින් වැඩක්‌ කරන්නට ආශාවෙන් සිටින අය අපි දැක ඇත්තෙමු. එහෙත් ඒ අයට අද තැනක්‌ නැත. ඒ අයගෙන් වැඩක්‌ ගන්නට පාලකයන්ට කිසිදු උවමනාවක්‌ ද නැත. විෂය ඥානයක්‌ ඇති, රටට ආදරය කරන පිරිසට අවශ්‍ය වන්නේ ප්‍රතිලාභ ගැනීම නොව, අවංකවම රටට වැඩක්‌ කරන්නටය. ඒ අය තෝරා බේරා ගෙන කටයුතු කරන බවක්‌ද නොපෙනේ. මහින්ද චින්තන අවරට ගොස්‌ ඇත්තේ මේ හේතුව නිසාය.

අදක්‍ෂයන් තමන් රැකෙන්නට ප්‍රතිලාභ කරා හඹා යැමේ ස්‌වරූපයක්‌ දක්‌නට ලැබේ. ආයතන සංවර්ධනය කෙසේ වෙතත් අදක්‍ෂයන් සංවර්ධනය වීමේ රටාවකි, අපට රටේ දක්‌නට ලැබෙන්නේ. පාලකයන්ගේ විඥානය පෘථුල තලයකට පත් විය යුතුය. දක්‍ෂයා කවරෙක්‌ද? විෂය ඥානයෙන් උපයුක්‌ත විද්වතා කවරෙක්‌ද යන්න පිළිබඳව හඳුනා ගැනීමේ ශක්‌තියක්‌ පාලකයන්ට තිබිය යුතුය.

අසහනය සමාජයේ ප්‍රබල තලයකට පත්ව ඇත. සහනය යටපත් වී අසහනය මතු වී ඇත්තේ කාගේ වරදින්ද? මෙයට වගකිවයුත්තේ පාලකයන්ය.

අද්‍යතන ආර්ථික ක්‍ෂේත්‍රයේ රුපියලේ අගය ඉතාම පහළ මට්‌ටමකට වැටී ඇත. මෙයට හොඳම නිදසුන තමයි. රු. 1000 ක්‌ වෙළෙඳ සලකට රැගෙන ගියොත් මල්ලක්‌ පිරෙන්න බරට බරේ බඩු මල්ලක්‌ ගේන්න පුළුවන්ද? අවසානයේ වෙළෙඳසලට ණය වී සැහැල්ලුවෙන් එන්නට අද සිදුවී ඇත.

අපට පෙනෙන අන්දමට හැකි අය හොඳ තරවෙන අතර නැති අය තව තවත් ප්‍රපාතයට ඇදවැටීමයි. සංවර්ධනය වදනට පමණක්‌ සීමා නොවිය යුතුය. එම සංවර්ධනය ප්‍රායෝගික විය යුතුය. අද අපට දක්‌නට ලැබෙන්නේ ප්‍රායෝගික තත්ත්වය වෙනුවට න්‍යායයි. මෙය තවදුරටත් පවත්වාගෙන යන්නට අවකාශ සලසනවාද?

අත්තනෝමතික ක්‍රියා හේතු කොටගෙන පාසල් මට්‌ටමේ සිට විශ්වවිද්‍යාල පද්ධතිය දක්‌වාත් අර්බුද රැසකි. සරසවිවල උද්ඝෝෂණ, පෙළපාලි, උපවාස පෙර නොවූ විරූ තරමට උත්සන්න වී ඇත. රටේ ආර්ථික ප්‍රගමනයට දායක කර ගන්නා සරසවිවල අධ්‍යයන කරන අය සටන් පාඨවලට, උද්ඝෝෂණවලට, පෙළපාලිවලට, උපවාසවලට යොමුවන්නේ කාගේ වරදින්ද? වරද කොතැනද? අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවත්නා දුර්වලකම් නිසා නොවේද?

විවිධ ප්‍රශ්න හේතු කොට ගෙන ආර්ථික සංස්‌ථාවල ද අර්බුද රැසකි. පාලකයා ඉහළට යන සමාජ රටාවක ජනතාව හෙවත් පාලිතයන් තැලෙන්නට පටන්ගෙන ඇත. පාලකයන් හැදෙන සමාජයක ජනතාව හැම පැත්තෙන්ම තැලෙන්නට පටන් අරගෙන ඇත.

දිනෙන් දින ජනතාව ප්‍රපාතයට යොමුවනවා විනා ඉහළ තලයකට ඇදගෙන යැමක්‌ දක්‌නට නොලැබේ. ආර්ථික විධිවේද ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. එහෙත් අද සිදු වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය දෘෂ්ටියක පාලකයන් නොමැති කමයි. අද සිදුවී ඇත්තේ හිතූ හිතූ ආකාරයට පාලකයන් වෙනුවට නුසුදුස්‌සන් ආදේශ කිරීමය.

ආර්ථික සම්බාධක නියත වශයෙන්ම සිදුවෙයි. එය ඕනෑම රටක ආර්ථික ක්‍ෂේත්‍රයේ සිදුවන්නකි. එම සම්බාධක මැඬගෙන යැමත්, ඒවාට පිළියම් යෙදීමත් පාලක පක්‍ෂයේ වගකීමයි.

ඡන්ද සමයකදී විවිධ මවාපෑම් සිදුකිරීම නිරන්තරයෙන් ම සිදුවන්නකි. ජයග්‍රහණය උදෙසා මවාපෑම් රාශියක්‌ සිදුවෙයි. විවිධ තෑගි බෝග ලබාදීම පාලන තන්ත්‍රයේ ඒකාකාරී ස්‌වරූපයයි. මෙය එක්‌ අතකින් මුළාවකි. රැවටීමකි. මේවාට ජනතාව රැවටෙන්නේ ද? රැවටෙන අයත් සිටිති. නොරැවටෙන අයගේ ප්‍රමාණයට වඩා රැවටෙන අයගේ ප්‍රමාණය අධිකය. ඒ හේතුව නිසාම පාලකයන්ට වාසිදායකය. මේ තත්ත්වයෙන් බැටකන්නේ කවුරුන්ද? ජනතාව නොවේද? අද සිදුවිය යුත්තේ ආර්ථිකය පහළ මට්‌ටමක තිබීම මත පාලකයන්ට දැනවීමක්‌ කිරීමය. එම දැනවීම නොකළොත් තවදුරටත් අමාරුවේ වැටෙන්නේ ජනතාවය. එබැවින් පාලකයන්ට දැනවීමට, පාඩමක්‌ උගන්වන්නට මෙය කදිම අවස්‌ථාවකි. කඩඉමකි. සන්ධිස්‌ථානයකි.

චින්තනය පොතට සීමා වී ඇති සමාජයක එම චින්තනය ලත්තැනම ලොප් වී ඇත. දේශපාලන හා ආර්ථික වශයෙන් අත්දැකීම් රාශියක්‌ ඇති පාලකයාට රට ඉදිරියට ගෙන යැමේ ඉලක්‌කයක්‌, විඥානයත් අනවරතයෙන්ම තිබිය යුතුය. බලය නැති වූ විට කියාපාන හෙළිකරන විධිවේද. ක්‍රමවේද බලය ලත් විට එම විධිවේද, ක්‍රමවේද, ක්‍රියාත්මක කරන බවක්‌ නොපෙනේ. මේ පටු ආකල්පවලට පිළිතුරු දිය යුත්තේ ජනතාව හෙවත් පාලිතයන් හැර වෙන කවරෙක්‌ද?

ගම් මට්‌ටමින් ආර්ථීකය ප්‍රබල ලෙස පසුබෑමකට ගොදුරු වී ඇත. එදිනෙදා දිවිපෙවෙත ගැටගසා ගන්නා අයට දැඩි පීඩනයක්‌ ඇති වී ඇත. ගැමි සමාජ ක්‍ෂේත්‍රයේ දක්‌නට ලැබෙන කෘෂි ක්‍ෂේත්‍රය ද අද කෙමෙන් දියාරු වන බවක්‌ පෙනේ. බීජ හා පොහොර නොලැබීම එක්‌ හේතුවකි. මේවාට වගකිවයුත්තේ පාලකයන් විනා වෙන කවරෙක්‌ද?

ආර්ථික ව්‍යහයේ පවත්නා ගැටලු - ප්‍රශ්න - අර්බුදවලට විසඳුම් නොපමාව ලබා ගත යුතුය. මේ විසඳුම් සෙවිය යුත්තේ ඒ ඒ අංශභාර විශේෂඥයන් ය. විෂයයේ සුනිපුණ විද්වතුන්ගේ අදහස්‌ ලබාගත යුතුය. ඔවුන් ලත් අත්දැකීම් හා විෂය විඥානය හේතු කොටගෙන සාර්ථක ක්‍රමවේද ඒ අයගෙන් ලබා ගත හැකිය. එහෙත් අද සිදුනොවන්නේත් මෙයමය. පාලකයන්ට ඒ අයගෙන් උපදෙස්‌ ගන්නට ඕනෑකමක්‌ නැත.

මෙතනදී වර්ග කිරීමකින් තොරව උපදෙස්‌ ලබා ගත යුතුය. රටේ ආර්ථික ප්‍රගතියට මෙසේ වර්ග කිරීම උචිත නොවේ. රට පොදු වූවකි. කාටත් අයිති රට කාගෙනුත් උපදෙස්‌ ලබා ගත යුතුය. එබඳු තත්ත්වයක්‌ අද සිදු නොවේ. රට කෙමෙන් අවරට යන්නේත් ඒ හේතුව නිසා ය.

මහින්ද චින්තනයට අනුව සිදුවිය යුත්තේ රට පෙරට යැමය. තිබුණාටත් වඩා රට සංවර්ධනාත්මක තලයකට ඇදගෙන යා යුතුය. පාලකයන්ගේ වගකීම ද එයයි. අද්‍යතන ආර්ථික ක්‍ෂේත්‍රයේ සිදුවිය යුත්තේත් එයමය.

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම
http://www.divaina.com/2014/08/15/feature01.html

Pic Source

0 comments: