Pages

Tuesday, August 5, 2014

ලොව සියලු රටවල් කොටින්ට එරෙහි සටනේ අපිට පිටු පෑ කළ අපේ පිහිටට ආ යුදෙව් දේශය - ඊශ්‍රායලය

හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන යකාගේ ආච්චි යයි හැඳින්වූයේ ඊශ්‍රායලයයි.

කොටි සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ගුවන් හමුදාවේ ඇමරිකානු නිෂ්පාදිත බෙල් හෙලිකොප්ටර් යානාවලට අවශ්‍ය අමතර කොටස්‌ සපයන ලෙස ඡේ. ආර්. එදා ඇමරිකානු රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

මේ නිසා කෝපයට පත් ඡේ. ආර්. පැවසුවේ යකා දෙන්නේ නැත්නම් යකාගේ ආච්චිගෙන් හෝ අමතර කොටස්‌ ලබාගන්නා බවයි. ඒ අනුව යකාගේ ආච්චි හෙවත් ඊශ්‍රායලය බෙල් හෙලිකොප්ටර්වලට අවශ්‍ය අමතර කොටස්‌ ලබාදුන්නේය.

මේ යටතේ ඊශ්‍රායල් අයිතිවාසිකම් කාර්යාලයක්‌ද කොළඹ ස්‌ථාපිත වූ අතර එකී කාර්යාලයේ කටයුතු කොළඹ ඔබරෝයි හෝටලයේ නවවැනි මාලයේ ක්‍රියාත්මක විය. මේ සමයේ ඊශ්‍රායල් නියෝජිත මටානි ඔබරෝයි හෝටලයේ කාමරයකට එන බවට කොටි බුද්ධි සේවාවට වාර්තාවීම නිසා හෝටල් සේවකයකු මෙන්ම කොටි චරපුරුෂයෙකුවූ ඔබරෝයි තේවන් ලවා බෝම්බයක්‌ අටවනු ලැබීය. එහෙත් එකී කොටි බෝම්බයට ගොදුරුවූයේ මටානි නොව හෝටල් සේවිකාවකි. 1984 ජනවාරි 21 දා ඔබරෝයි හෝටලයේ බෝම්බ පිපිරීම සිදුවිය. පසුව ආර් ප්‍රේමදාස ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු වික්‌ටර් ඔස්‌ට්‍රොව්ස්‌කි නැමැති හිටපු මොසාඩ් චරපුරුචයකු බයි ද වේ ඔප් ඩිසෙප්ෂන් නැමැති ග්‍රන්ථයෙන් ඊශ්‍රායල් බලධාරීන් කොටින්ට හා ශ්‍රී ලංකා හමුදා භටයන්ටද යුද පුහුණුව දුන් බව ප්‍රකාශ කර තිබිණි.

මේ නිසා හිටපු ජනාධිපති ප්‍රේමදාස මොසාඩ් කොමිසමක්‌ පිහිටුවනු ලැබීය. මේ කොමිසම හමුවේ මෙරට බුද්ධිසේවා ප්‍රධානියා ලෙස ක්‍රියාකල සර්නි විඡේසූරිය ඇතුළු හමුදා ප්‍රධානීන් සාක්‍ෂි දෙමින් පැවසුවේ ඊශ්‍රායලය කොටි ත්‍රස්‌තයන් පුහුණුකළ බවට කිසිදු සාක්‌කියක්‌ නැති බවත් එකී මොසාඩ් චරපුරුෂයාගේ ප්‍රකාශය සාවද්‍ය බවයි. මේ පසුබිම මැද පසුගිය සතියේ යකාගේ ආච්චී හෙවත් ඊශ්‍රායලය සමඟ සබඳතා පැවැත්වීම ගැන යළිත් ප්‍රශ්නයක්‌ මතුවිය. එය එල්ලවූයේ වත්මන් රජය යටතේ ස්‌විට්‌සර්ලන්තයේ සේවය කළ හිටපු තානාපතිවරයකු හා තානාපතිනියකගෙනි. කොළඹ පැවැති පලස්‌තීන සහයෝගිතා කමිටු රැස්‌වීමකදී ඊශ්‍රායලය සමඟ සියළු සබඳතා නතර කරන ලෙස ඉල්ලීමක්‌ද ඉදිරිපත් විය. මෙම රැස්‌වීම අමතමින් හිටපු තානාපතිවරයකු බරපතල ප්‍රකාශයක්‌ කරනු ලැබීය. 2008 සහ 2009 අතර සමයේ හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඊශ්‍රායලයට ගොස්‌ එරට ස්‌වදේශ ආරක්‍ෂක බලකායේ පිරිස්‌ හමුවුණා. එකී බලකායේ උපදෙස්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම පිළිගත්තා. යුද්ධයෙන් පසු ක්‍රියාත්මකවූයේ එකී ඊශ්‍රායල් ක්‍රමවේදයයි. මේ නිසා තමිල් නාඩුවේ සහ ඩයස්‌පෝරා කණ්‌ඩායමේ නැගී සිටීමට එකි ක්‍රියාදාමය ඉවහල්වී ඇති බව හිටපු තානාපතිවරයා කියා සිටියේය. එහෙත් ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා නතර කරන ලෙස කල ඉල්ලීමට රජය ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

එසේම වසර ගණනකට පසු හිටපු ඊශ්‍රායල් චරපුරුෂ වික්‌ටර් ඔස්‌ට්‍රොව්ස්‌කිගේ ග්‍රන්ථයේ සඳහන් කරනු යළි මතුකරමින් හිටපු තානාපතිවරයා ඊශ්‍රායලය කොටින්ටද පුහුණුවීම් දුන් බවට එය සනාථවන බව පලකළේය. එසේ වූවත් වසර ගණනකට පෙර පලස්‌තීන නායක යසර් අරපන් මෙරටට සම්ප්‍රාප්තවී කොළඹ ටාඡ් හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. පලස්‌තීන ජාතිකයන් කොටින් පුහුණු කළ බවට වාර්තා වී තිබෙනවා. එය ඇත්තක්‌දැයි අපි අරපත්ගෙන් විමසුවෙමු. එම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වූ යසර අරපත් එය ඇත්තක්‌ අපේ අය තමයි කොටින්ව පුහුණු කළේ. එහෙත් එය කලේ ජෝර්ඡ් හාබාෂ් පලස්‌තීන කණ්‌ඩායමක්‌ යෑයි කීවේය. යසර් අරපත් කල මෙම ප්‍රකාශය එදා අපි දිවයින මුල් පිටුවෙන් හෙලි කළෙමු. මේ අතීතය වසන් කළ හැකිද? එහෙත් හිටපු තානාපතිවරයා ශ්‍රී ලංකාව අද ඊශ්‍රායලය අනුගමනය කිරීමට ක්‍රියාකරන බව කියා සිටී. එහෙත් කොටින්ට එරෙහිව යුදවැදීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හෝ මැද පෙරදිග රටවලින් අවි සැපයුයේ නැත. ඊශ්‍රායලය ඩොව්රා ප්‍රහාරක යාත්‍රාද සර්වර් වර්ගයේ නියමුවන් රහිත නිරීක්‍ෂක යානාද කපීර් ප්‍රහාරක යානාද සාර් වර්ගයේ යුද නැවක්‌ද ගබ්රියෙල් මිසයිලද මෙරටට අලෙවි කළේය. එසේම කොටි ආයුධ නැව් විනාශ කලේ ඊශ්‍රායලය සැපයූ නන්දිමිත්‍ර හා සුරනිමල යුද නැව් වලිනි.

ඊශ්‍රායල් නිෂ්පාදිත කපීර් ප්‍රහාරක යානා ශ්‍රී ලංකාවට අලෙවි කිරීම පවා තහනම්කරමින් ඇමරිකාව විසින් ඊශ්‍රායල් බලධාරීන්ට පැවසුවේ කපීර්වල ඇත්තේ ඇමැරිකාවේ ජෙනරල් ඉලෙක්‌ටි්‍රක්‌ සමාගම නිපදවූ එන්ජින් බවයි. එහෙත් ඇමරිකානු විරෝධය නොතකමින් ඊශ්‍රායලය මෙරටට කපීර් යානා සපයනු ලැබීය. ඊශ්‍රායලය සහ රුසියාව හැර ලොව කිසිම රටක්‌ මෙරටට ප්‍රහාරක යානා අලෙවි කළේ නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා අත්හැරිය යුතු බවට ඉල්ලීම ඉදිරිපත්විය. එහෙත් මුස්‌ලිම්වරුන් ලක්‍ෂ ගණනක්‌ සිටින ඉන්දීය රජය ඊශ්‍රායල් සබඳතා නතර කළ යුතු බවට ඉල්ලීමක්‌ යොමු කර නැත.

මෙයට වසර ගණනකට පෙර ඒ.සී.එස්‌. හමිඩ් විදේශ කටයුතු ඇමැතිලෙස ක්‍රියා කරද්දී ඊශ්‍රායල් කමාන්ඩෝ භටයන් උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපලට ගොස්‌ ප්‍රංශ ගුවන් යානාවේ මගීන්ව බේරාගැනීම දන්වන ද රේඩ් ඔප් එන්ටබේ චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කිරීම පවා තහනම් විය. ඊශ්‍රායලය සහ හමාස්‌ ත්‍රස්‌ත සංවිධානය අතර ඇතිවී තිබෙන අර්බුදය එම දෙපාර්ශවයේම අභ්‍යන්තර ප්‍රශ්නයකි. එහෙත් මේ ප්‍රශ්නයට ශ්‍රී ලංකාවද මැදිහත් කිරීමේ මෙහෙයුමක්‌ දියත්වී ඇති බව පලස්‌තීන සහයෝගිතා කමිටු රැස්‌වීමෙන් සනාථ විය. හිටපු ඇමැතිවරයකුවූ ගාමිණි දිසානායක ඝාතනය සම්බන්ධව විදේශ මාධ්‍ය කොටි නායක ප්‍රභාකරන්ගෙන් විමසූවිට ඔහු පැවසුවේ ඒ ගැන හමාස්‌ සංවිධානයෙන් විමසන ලෙසයි. හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සමයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයක්‌ ශ්‍රී ලංකාවේ විවෘත කිරීම ගැන ඉන්දීය බලධාරීන්ගේ විරෝධය එල්ල විය. එහෙත් වසර ගණනකට පසු ඉන්දීය රජය ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා ඇතිකර ගනිමින් මුම්බායිහි කොන්සල් කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමටද ක්‍රියාකළේය. මේ වාතාවරණය මැද හිටපු ශ්‍රී ලාංකික තානාපතිවරයකු මෙරට විදේශ පිලිවෙත වෙනස්‌ කිරීම සඳහා නගන හඬට සවන් දිය යුතුද?

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙයට කලකට පෙර ඊශ්‍රායලයේ සංචාරයකද නිරතවී එරට රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීම ගැන අන්තවාදී පාර්ශවල විරෝධතා මතුවිය. පලස්‌තීන සහයෝගිතාවයේ ප්‍රධානියකුවූ ජනාධිපතිවරයා ඊශ්‍රායල් සබඳතා අත්හැරීමට ක්‍රියා නොකිරීමද එම පාර්ශවලට බරපතල ප්‍රශ්නයක්‌ වී ඇත. මෙයට පෙර ඊශ්‍රායලයට සහය දක්‌වන බවට එරට සිටි ශ්‍රී ලංකා තානාපති ඩොනල්ඩ් පෙරේරා කළ ප්‍රකාශයක්‌ නිසා ඔහු තානාපතිධුරයෙන් ඉවත් කළ යුතු බවටද යෝජනාවක්‌ යොමුවිය.

එසේම ජිනීවා නිත්‍ය නියෝජිත තමාරාකුමානායගම්ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය වාහාම කොළඹ ඊශ්‍රායල් තානාපති කාර්යාලය අහෝසි කළ යුතු යෑයි කියා සිටියාය. තමාරා කුමානායගම් කාගේ හඬ දැයි ආරක්‍ෂක බලධාරීහු දනී. එහෙත් ශ්‍රී ලංකාවේ බහුතරය ඊශ්‍රායල් තානාපති කාර්යාලය මෙරටින් පන්නාදැමිය යුතු යෑයි ඉල්ලා නැත. මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සර්බියාව දෙකඩ කර කොසවෝ ප්‍රාන්තය වෙනම රටක්‌ කළ හිටපු පින්ලන්ත ජනාධිපති මරාටි අහිට්‌සාර් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ උපදේශකයකු ලෙස පත්කරද්දී බලසම්පන්න යුගෝස්‌ලාවියානු රාජ්‍යය කැබලි බවට පත්කිරීමට ක්‍රියාකල විදේශිකයන් තිදෙනකු අතුරුදන් වූවන් ගැන සෙවීමේ කොමිසමට පත්කිරීම සඳහා රජයට උපදෙස්‌ දුන්නේ කවුරුන්ද යන්න දැන් අනාවරණය වී ඇත.

රාජ්‍ය නායකයන් හා හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කළ මෙකී විදේශිකයන් තිදෙනා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට ප්‍රකාශ කළහොත් ඇතිවන තත්ත්වය කුමක්‌ද? ඔවුන්ගෙන් එක්‌ අයෙකුවූ ජෙප්රි නයිස්‌ ඉරාක හිටපු ජනාධිපති සදාම් හුසේන්ට එරෙහිව මණ්‌ඩලයක ප්‍රධානියා විය.

නවි පිල්ලේගේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීම සඳහා වන්නි මෙහෙයුම සියෑසින් නුදුටු සිව්දෙනකුද දැනටමත් ඉදිරිපත් වී ඇත. ඒ කොටින්ගේ අතිජාත මිත්‍ර එරික්‌ සෝල්හයිම්, චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ, හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්‍රැන්සිස්‌ හැරිසන් හා උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් එකී සිව්දෙනායි. එසේම කොටින්ගේ යුද අපරාධ ගැන සාක්‌කි දීම සඳහා හිටපු පොලිස්‌ නිලධාරියකු ඇතුළු දෙදෙනකු ඉදිරිපත්වී තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස මැදිහත්වී ඇත. මේ සතියේදී යාපනයේ ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායමක්‌ කොළඹට ගෙන්වා ඔවුන්ට ඩිජිටල් ආරක්‍ෂාව නමින් පුහුණුවක්‌දීම සඳහා අරමුදල් සැපයුවේ ඇමරිකානු තානාපති කාර්යාලයයි. මේ ක්‍රියාදාමය ටියුනිසියාව, ඊජිප්තුව සහ ලිබියාවේ මාධ්‍ය පාර්ශව වෙතද දියත්කර එකී රටවල් අරාජික තත්ත්වයට පත්කලේ ඇමරිකානු තානාපති කාර්යාල යයි අනාවරණය විය.

මේ අබිරහස්‌ වැඩපිළිවෙලේ මුල් පියවර සමාජ වෙඩ් අඩවි සඳහා පුහුණුවක්‌ දීමයි. ඇමරිකානු තානාපති මිචෙලි සිසන් එකී වැඩපිළිවෙල මුලින්ම දියත් කළාය. ඇය දැන් අරඹා ඇත්තේ එහි දෙවැනි පියවරයි. උතුරේ සිට කොළඹට පැමිණි ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායමක වාහනය පරීක්‍ෂා කිරීමේ සිද්ධියෙන් පසු නෝර්වේ අරමුදල් ලබන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ සේවය කරන්නෙක්‌ මෙන්න මට මරණීය තර්ජන එල්ල කරනවා යෑයි හඬනැගීය. ජනාධිපතිවරණයෙන් පසු මේ අන්දමටම ව්‍යාජ මරණ තර්ජන ගැන හඬනැගූ මොහු ඇමරිකාවට ගොස්‌ සති කීපයකට පසු යලි මෙරටට පැමිණියේය. එසේම උතුරේ මාධ්‍ය පාර්ශව නීතියට උඩින් සිටින්නේ යෑයි සිතන්නේද? මෙයට සමගාමීව ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ සබඳකම් පවත්වන එන්.ජී.ඕ. නවයක්‌ ගැනද හෙලිවී ඇත. මේ අතර රුපියල් බිලියන 1.7 ක්‌ වැය කරමින් දියතලාවේ හමුදා ඇකඩමියට ශ්‍රවණාගාර සංකීර්ණයක්‌ ඉදිකරදීමට චීන රජය එකඟවී ඇත. එසේම චීන සහයෝගිතාවයෙන් චීන වරාය ප්‍රදේශයේ ගුවන් යානා නඩත්තු මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කිරීම ගුවන් හමුදාව ඉදිරිපත් කළ යෝජනාව ඉන්දීය බලධාරීන්ටද අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට යුද ටැංකි හා වෙනත් යුධ වාහනද ප්‍රහාරක යානා සහ ත්‍රිමාණ රේඩාර් පද්ධතියක්‌ පවා සැපයුවේ චීනයයි. එහෙත් රටේ රාජ්‍ය රහස්‌ එකිනෙක හෙලිදරව් කිරීමට ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ දැඩි සබඳකම් පවත්වන මාධ්‍ය පාර්ශව ක්‍රියාකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/08/03/defence.html

සබැඳි ලිපි -
[
යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායලය ගැන ඔබ නොදත් විස්මිත තොරතුරු!
http://denethharinna.blogspot.com/2014/07/blog-post_19.html
]

1 comments:

Anonymous said...

Tnx editor.මම ලියන්නේ ඉශ්‍රායෙල් දේශයේ සිටයි.ඉතාමත්
වටිනා හරබර සත්‍යයෙන් පිරුණාවු වටිනා ලිපියක්.නැවත ස්තුතියි.
මෙම දේශයේ බහුතරය යුදෙව්වන් වුවද ඒහා සමානව බෝහෝ
විදේශිකයන් මේ දේශයේ සේවයේ යේදී සීටිති.ඒසෑම කෙනෙකුගේම
ආරක්ෂාව සැපයීමට මෙම රජය හා යුදවිරුවන් ගන්නා අපරිමත උත්සහාය කැපවීම ඉතා අගය කොට සැලකීම අප කාගෙත් යුතුකමවේ.(තවද නුඹට ආශිර්වාද කරන්නට මම ආශිර්වාදකරන්නෙමි.නුඹට ශාප
කරන්නට මම ශාප කරන්නෙමි.පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක.(උප්පත්ති 12:3)ශූද්ධ බයිබලයේ එසේ සදහන් කරයි.එබැවින් මේ දේශයයට විරුද්ධව ද්වේෂ සහගත ලෙස කථා කීරීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලමි.මන්ද ඔබේ නොදන්නා කමින් ඔබ මේ දේශයට විරුද්ධව කථා කීරීමෙන් ශාප ලද්දෙක් නොවන පිණිසය.