Pages

Friday, August 8, 2014

ශ්‍රේෂ්ඨ රණවිරු ජෙනරාල් කොබ්බෑකඩුව

ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ රණවිරුවා වූ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගෙන අද 8 වැනි දිනට වසර 22 ක්‌ ගත වේ.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1940 ජූලි මස 27 වැනි දින උපත ලද අතර මාපියන් වූයේ ලොකු බණ්‌ඩාර කොබ්බෑකඩුව මහතා සහ අයෝනා රත්වත්තේ කොබ්බෑකඩුව කුමාරිහාමි යන දෙදෙනාය. මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීය මට්‌ටම සඳහා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් විය.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස 1960 මැයි මස 29 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට ඇතුළත් විය. බ්‍රිතාන්‍යයේ සෑන්ඩ් හර්ස්‌ යුද අභ්‍යාස ආයතනයේ පුහුණුවට එරට බොවයින්ටංගි රාජකීය සන්නද්ධ රථ සේනාංක විදුහලේ පුහුණුව, කම්බර්ලිහි යුද හමුදා කාර්ය මණ්‌ඩල අභ්‍යාස විද්‍යාලයෙහි සහ රෝයල් කොලේඡ් හි ඩිපෙන්ඩන්ට්‌ ආයතනයේ පුහුණුවද ලැබූ කොබ්බෑකඩුව මහතා හමුදාවේ සිටි අති දක්‍ෂ නිලධාරින්ගෙන් කෙනෙකි. ශ්‍රී ලංකා වැවිලි සංස්‌ථාවේ සභාපති ධුරය දැරූ කෙනෙත් රත්වත්තේ මහතා සහ මර්ල් රත්වත්තේ මැතිනියගේ කනිටු දියණිය වූ ලලි රත්වත්තේ මෙනවිය සමඟ 1970 දෙසැම්බර් මස 03 වැනි දින විවාහ වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා රොෂානි, සාතිල්කා යන දියණියන් දෙදෙනාගේ සහ දිල්හාන් පුතුගේ ආදරණීය පියාණන්ය. මේ රටේ සිටි කීර්තිමත් දේශපාලනඥයකු වූ හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා මෙම රණවිරුවාගේ මහප්පාය.

යුද ශිල්පය ගැන අතිවිශිෂ්ට දක්‍ෂතාවක්‌ දැක්‌වූ මෙම අසහාය යුද වීරයා ක්‍රියාන්විත සේවයේදී රට හා ජාතිය වෙනුවෙන් ඉටු කරන ලද ධෛර්ය සම්පන්න අගනා සේවය වෙනුවෙන් වීර පදක්‌කම් රාශියක්‌ දිනාගෙන තිබිණි. 1983 පසු ලංකාවේ ත්‍රස්‌තවාදී අරගලය උත්සන්න වී ක්‍රමයෙන් එය කුරිරු යුද්ධයක්‌ බවට පත්වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ත්‍රස්‌තවාදය පරාජය කොට රාජ්‍ය අණසක පිහිටුවීමේ විශාල වගකීම උතුරු ආඥපති වශයෙන් ඔහුට භාර විය. එහිදී ඔහු සියලුම හමුදා සේනාංක මෙහෙයවීමෙන් උතුරේ දැවැන්ත සංග්‍රාමයක්‌ දියත් කරන ලදී. ඔහු විසින් නායකත්වය දෙන ලද ඓතිහාසික "වඩමරච්චි සටන" අතරමග නතර නොකළානම් එදා ඊළාම් යුද්ධය අවසන් වීමට හොඳටම ඉඩකඩ තිබිණි. නමුත් ජාතියේ අවාසනාවට එය සිදු නොවීය. ඉන් කොබ්බෑකඩුව රණවිරුවා යම් සිත්තැවුලකට පත්වුවත් රටේ ඒකීයභාවය උදෙසා ඔහු විසින් "බලවේගය" අලිමංකඩ බේරා ගැනීමේ සටන ආදිය ක්‍රියාත්මක කරන ලදී.

ඩෙන්සිල් ලක්‍ෂ්මන් කොබ්බෑකඩුව නම් ශ්‍රේෂ්ඨ රණවිරුවා 1992 අගෝස්‌තු මස 08 වැනි දින අරාලි තුඩුවේදී සිදු වූ අනපේක්‍ෂිත බෝම්බ පිපිරීමකින් ජීවිතයෙන් සමුගන්නා ලදී.

යුද්ධය කෙළවර කළත් ඒ සඳහා දේශපාලන විසඳුමක්‌ ලබාදිය යුතුය යන තිර අධිෂ්ඨානයක්‌ කොබ්බෑකඩුව මහතා සතුව පැවතුණි. ඒ නිසා කොබ්බෑකඩුව නාමය එදාට වඩා අද ශ්‍රී ලාංකීය ජනතාවගේ මුවඟ රැව්දෙන නාමයක්‌ බවට පත් වී ඇත. ශ්‍රී ලංකා ධරනීතලයේ මෙතෙක්‌ පහළ වූ ශ්‍රේෂ්ඨතම රණවිරුවා වශයෙන් ඉතිහාසයට නම එක්‌කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

එම්. ඒ. කමල් චන්ද්‍ර, විශ්‍රාමික සැරයන්,
http://www.divaina.com/2014/08/08/feature01.html

Pic Source

සබැඳි ලිපි -
[
අදවැනි දිනක දැයෙන් සමුගත් අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුවhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_4299.html
]

0 comments: