Pages

Wednesday, August 13, 2014

හෝප් තියාගන්න බැරි කෝප් වාර්තාව

තවත් කෝප් වාර්තාවක්‌ ගෙවී ගිය සතියේ එළියට ආවේ රාජ්‍ය ආයතන කිහිපයක ඇඟ කිළිපොලා යන ගනුදෙනු සහ අලාභයන් හෙළිදරව් කරමිනි.

මෙය කෝප් අතුරු වාර්තාවකි. වසරාවසාන වාර්තාවට පෙරාතුව ඉදිරිපත් කරන පළමු අතුරු වාර්තාවය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නැති නම් The committee on public Enterprises යන දීර්ඝ නාමයෙන් හැඳින්වෙන මෙම කමිටුවට කෝප් (Cope) යන කෙටි යෙදුම යෙදේ.

ආරම්භයේදී කෝප් වාර්තාව පිළිබඳ රටේ ජනතාව අතර එතරම් උනන්දුවක්‌ අවබෝධයක්‌ නොතිබුණ ද දැන් දැන් දැඩි අවධානයක්‌ ඒ කෙරෙහි ජනතාව තුළ ඇත. රාජ්‍ය ආයතනවල හොරකම්, දූෂණ, වංචා මෙන්ම අකාර්යක්‌ෂමතාවන්ද කෝප් වාර්තාව මගින් හෙළිකරන බව ජනතාවගේ විශ්වාසයයි.

කෝප් වාර්තාව පිළිබඳ පළමුව වැඩිදුර අවධානයට යොමුවූයේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිනිය යටතේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව කළ කාලයේය. එවක කෝප් සභාපතිවරයා වූයේ විජයදාස රාජපක්‍ෂ මහතාය. ඔහු සිය වාර්තාවෙන් එජාප ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක රුපියල් කෝටි දහස්‌ ගණනක වංචා දූෂණ හෙළි කළේය.

ඒ ආණ්‌ඩුව පෙරළුනේය. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවක්‌ ආයේය. විජයදාස රාජපක්‍ෂගේ කෝප් වාර්තාවෙන් චෝදනා ලත් මැතිවරු රැසක්‌ කරු ජයසූරියගේ අතේ එල්ලී ආණ්‌ඩුවට එක්‌වුයේ මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්‌තිමත් කරන බව පවසමිනි. විජයදාසගේ කෝප් වාර්තාවේ චෝදනා කුණු බක්‌කියට ගියේය. විජයදාස ආණ්‌ඩුවෙන් ඉවත්ව එජාපයට ආවේය.

ඉන්පසු කෝප් සභාපතිවරයා වන්නේ ඩිව් ගුණසේකර ඇමැතිවරයාය. පක්‍ෂ, විපක්‍ෂ මන්ත්‍රීවරු තිස්‌ එක්‌ දෙනෙක්‌ ඔහුද සමගින් කෝප් කමිටුවේ කටයුතු කරති.

ඩිව් ගුණසේකර මහතා මේ වනවිට කෝප් වාර්තා තුනක්‌ නිකුත් කර ඇත. අප මේ සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ පසුගියදා නිකුත් කළ සිව්වැනි වාර්තාව පිළිබඳවය.

රටක, රාජ්‍යයක මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරන්නේ ව්‍යවස්‌ථාදායකය. නැතහොත් පාර්ලිමේන්තුවය. රජයේ සියලු වියදම් කළ යුත්තේ පාර්ලිමේන්තුව දැනුවත්වය.

රජය යටතේ ලාභ ලබන ආයතන මෙන්ම ලාභ නොලබන හුදෙක්‌ මහජන සේවය පිණිස ස්‌ථාපිත කර ඇති ආයතනද තිබේ. මෙවර කෝප් වාර්තාව ආයතන හතළිස්‌ හතක්‌ පිළිබඳ හෙළිදරව් කිරීම සිදුකර තිබේ. ඒ අතර වාණිජ... එනම් ලාභ ලබන ආයතන දහ අටකි. ලාභ නොලබන ආයතන විසි නමයකි.

මේ ආයතනවල විශේෂයෙන් රජයේ වාණිජ ආයතනවල පසුගිය වසරේ මූල්‍ය තත්ත්වය සලකා බැලීම වටී.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් කෝටි 635 ක අලාභයක්‌ එම වසරේදී වාර්තා කර ඇත. සීමාසහිත මිහින් ලංකා පුද්ගලික සමාගම රුපියල් කෝටි 328 ක අලාභයක්‌ එම වසරේ වාර්තා කර ඇත. මිහින් ලංකා ඊට පෙර වසරේ දී අලාභය රුපියල් කෝටි 196 කි. ඒ අනුව පෙර වසරට වඩා සමාලෝචන වසරේදී මිහින් ලංකා පාඩුව ඉතා විශාල ප්‍රමාණයකින් (රුපියල් කෝටි 132 කින් පමණ) ඉහළ ගොස්‌ ඇති බව පෙනේ.

මිහින් ලංකා දිගින් දිගටම පාඩු වන්නේ ඇයි.? මිහින් ලංකා වැනි විශාල ආයතන සඳහා ප්‍රාග්ධනය සැපයිය යුත්තේ ආණ්‌ඩුවය. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ බැංකු ණය මගින් ප්‍රාග්ධනය සපයා ගැනීමය. බැංකු ණය සඳහා පොලී ගෙවීමට සිදුවීම නිසා ගුවන් සමාගමට ප්‍රශ්න මතුවිය. ආණ්‌ඩුවෙන් සමාගමට ප්‍රාග්ධනය ලබාදී නැත. ඒ කෝප් සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා දක්‌වන අදහස්‌ය.

ලංකා ධීවර සංස්‌ථාව ද වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන්නකි. එහෙත් එයද දිගින් දිගටම අලාභ වාර්තා කර ඇත. මෙවර එහි අලාභය රුපියල් කෝටි හතහමාරකට වැඩිය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව පසුගිය වසරේ ලද අලාභය අපි ඉහතින් සඳහන් කළෙමු. අලාභය පමණක්‌ නොව සංස්‌ථාව ප්‍රමාණවත් විනිවිදභාවයකින් යුක්‌තව ගනුදෙනු සිදු නොකිරීම නිසා ඇතිවූ නාස්‌තිය හා රජයට වූ පාඩුවද කෝප් වාර්තාවේ දක්‌වා ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011.06.11 සිට 2012.06.30 දක්‌වා කාලය තුළ ප්‍රමිතියෙන් තොර ඛනිජ තෙල් නිෂ්පාදන මිලට ගෙන ඇත. එහි අලාභය රුපියල් කෝටි 830 ක්‌ බව සඳහන් කරන කෝප් වාර්තාව විද්‍යාගාර පරීක්‍ෂණ පමාවීම, සන්නිවේදන දුර්වලතා, නිතර වෙනස්‌වන වෙළෙඳපොළ අභියෝග සඳහා ප්‍රමාණවත් ලෙස සූදානමක්‌ නොතිබීම, අතිරික්‌ත ගෙවීම්, ප්‍රසම්පාදන කටයුතුවල ප්‍රමාදයන් මෙන්ම ඉහළ සහ පහළ ඔක්‌ටේන් අගයන් ඇති පෙට්‍රල් මිශ්‍රවීම නිසා වූ නාස්‌තිය පෙරකී අලාභයට හේතුවී ඇතැයිද කෝප් කමිටුව පෙන්වා දේ.

එපමණක්‌ද.... නැත. ඉන්ධන මිලදී ගැනීමට ඹAE නමැති විදේශ සමාගම සමඟ එළැඹි ගිවිසුමේ වාරිකය දෙවරක්‌ ඇතුළත්ව තිබීම නිසා එම සමාගමට ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව රුපියල් කෝටි විසිහතකට ආසන්න අතිරික්‌ත ගෙවීමක්‌ද සිදුකර ඇත. කෝප් කමිටුව මෙම විමර්ශනය කළ දිනය වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව විසින් "හෙජිං" ගනුදෙනුව සඳහා දරා තිබෙන සම්පූර්ණ අලාභයද රුපියල් කෝටි දහසකට ආසන්න බව කෝප් වාර්තාව පෙන්නුම් කරයි.

රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් ඉඩමක්‌ (කොළඹ ග්‍රෙගරි පාරේ) එක්‌තරා රාජ්‍ය බැංකුවකට රුපියල් කෝටි 5 ක මුදලකට උකස්‌කර ඇත. පසුව වැවිලි සංස්‌ථාව අදාළ උකස පියවා ගැනීම සඳහා පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 24.3 ක මුදලකට එම ඉඩම අලෙවිකර තිබේ. එහෙත් මෙම ගනුදෙනුවේදී රාජ්‍ය වැවිලි සංස්‌ථාවට ලැබී ඇත්තේ රුපියල් කෝටි 1.19 ක මුදලක්‌ පමණක්‌ බව ද කෝප් කමිටුව හෙළිදරව් කර ඇත.

මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ටෙන්ඩරය සඳහා අඩු මිල ටෙන්ඩරය නොසලකා හැර හයවැනි ඉහළම ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරිය විසින් රුපියල් එක්‌කෝටි අනුහතර ලක්‍ෂ අසුතුන්දහසක මුදලක්‌ කොන්ත්‍රාත්කරුට වැඩිපුර ගෙවා ඇත. පස්‌ ඝන මීටර් 88648 ක්‌ ඉවත්කර ගැනීම සඳහා කොන්ත්‍රාත්කරුට ඝන මීටරයකට රු. 45 බැගින් ගෙවිය යුතු වුවත් මධ්‍යම පරිසර අධිකාරිය ඝන මීටරයකට රුපියල් 295 බැගින් ගෙවා ඇත. ඉන් අධිකාරියට රුපියල් තුන් කෝටියකට අධික අලාභයක්‌ සිදුව ඇතැයි ද කෝප් වාර්තාව සඳහන් කර ඇත.

රතුපස්‌වල අත්වැසුම් කර්මාන්ත ශලාවට පාරිසරික සහතිකය නිකුත් කිරීම සඳහාද මධ්‍යම පරිසර අධිකාරිය නිසි විමර්ශනයක්‌ සිදුකර නැතැයි කෝප් කමිටුව හමුවේ හෙළිවී ඇත. අධිකාරිය එම සහතිකය නිකුත්කර තිබෙන්නේ කම්හලේ අයිතිකරු විසින් සැපයූ ජල සාම්පල පමණක්‌ පරීක්‍ෂා කිරීමෙන් බව ද කෝප් වාර්තාව පෙන්වා දේ.

සමාජ ආරක්‌ෂණ මණ්‌ඩලය මූලස්‌ථානය ලෙස භාවිතා කළ ස්‌ථානයෙන් නියමිත කාලයට පෙර ඉවත්ව ඇත. එනිසා ඉදිරියට ඉතිරිව තිබූ මාස හතක කාලයක්‌ සඳහාද රුපියල් පනස්‌ ලක්‍ෂ අනූදහසක මුදලක්‌ ගෙවීමට මණ්‌ඩලය කටයුතු කර තිබේ. පසුව එම මණ්‌ඩලය රාජගිරියේ ගොඩනැඟිල්ලක්‌ රුපියල් කෝටි දහනමයමාරකට මිලට ගෙන ඇත. එහෙත් එම ගොඩනැඟිල්ල රජයේ තක්‌සේරුකරු විසින් තක්‌සේරු කර ඇත්තේ රුපියල් කෝටි දහසය හමාරකටය. මේ නිසා තක්‌සේරු මුදලට වඩා රුපියල් කෝටි තුනක මුදලක්‌ වැඩියෙන් ගෙවා තිබේ.

සාක්‌ ක්‍රීඩා උළෙල 2005 වසරේදී පැවැත්විණි. ඊට භාවිතා කිරීම සඳහා රුපියල් කෝටි 4.4 ක මුදලකට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින් විද්යුත් කාලගණක යන්ත්‍රයක්‌ මිලට ගෙන ඇත. එම යන්ත්‍රය 2010 වසරේ සිට අක්‍රීයව තිබූ බව පවසන කෝප් කමිටුව එය අලුත්වැඩියා කිරීමෙන් පසුව පවා භාවිතා කළ හැක්‌කේ අවුරුදු දෙකක්‌ පමණක්‌ බව ද කියා සිටී.

ලංකා විදුලිබල මණ්‌ඩලය සතු රුපියල් කෝටි 45 ක මුදලක්‌ සියයට 18 ක සාමාන්‍ය පොලී අනුපාතය යටතේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්‌ථා බැංකුවේ තැන්පත් කර ඇත. එම තැන්පතුව තවදුරටත් බැංකුව සතුව පවත්වාගෙන යැම සඳහා සාමාන්‍ය පොලී අනුපාතයෙන් බැහැරට සියයට 22.5 ක පොලී අනුපාතයක්‌ ගෙවීම නිසා බැංකුවට රුපියල් කෝටි හතරකට ආසන්න අලාභයක්‌ සිදුව ඇත.

ඇතැම් ආයතන සේවකයන් සමඟ ගැටුම් ඇතිවී වළක්‌වා ගැනීම සඳහා හිතාමතා නීති සහ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයිද කෝප් කමිටුව නිරීක්‍ෂණය කර ඇත.

ඒ අනුව ඇතැම් ආයතන සේවකයන් වෙනුවෙන් අවිධිමත් දීමනා, ණය සහ දිරි දීමනා, ඉන්ධන දීමනා, උපයන විට බදු ගෙවීම් නීතිරීති උල්ලංඝනය කරමින් ගෙවා ඇතැයිද කෝප් කමිටුව සඳහන් කර සිටී.

සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්‌ඩලය ද භාණ්‌ඩාගාර චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සේවකයන් වෙනුවෙන් රුපියල් හත්කෝටි හතළිස්‌ අට ලක්‍ෂයක්‌ දිරිදීමනා ලෙසද, රුපියල් හාර කෝටි හතළිස්‌ පන් ලක්‍ෂයක්‌ ප්‍රසාද දීමනා ලෙසද, ගෙවා ඇත. ඊට අමතරව සියයට 4.2 ක පොලී අනුපාතයක්‌ යටතේ රුපියල් තිස්‌තුන් කෝටි අසූ නව ලක්‍ෂයක මුදලක්‌ සේවකයන්ට ණය වශයෙන් ගෙවා ඇතැයි කෝප් වාර්තාව පෙන්වා දේ. ආයතනයේ සේවකයන් මෙම වරප්‍රසාද දිගු කලක සිට භුක්‌ති විඳින නිසා මෙම තත්ත්වය නිවැරැදි කිරීම අපහසු බව පෙන්වා නියුක්‌තින්ගේ භාරකාර අරමුදල් මණ්‌ඩල කළමනාකාරිත්වය කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත. මණ්‌ඩලයේ සේවකයන් නීතිරීති උල්ලංඝනය කරමින් මෙවැනි විශාල වරප්‍රසාද භුක්‌ති විඳින්නේ සාමාජිකයන් වෙනුවෙන් බැර කරන සාමාජික මුදලින් බවට සැකයක්‌ නැත. 

ගොවි විශ්‍රාම වැටුප හා සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ වැනි යෝජනා ක්‍රමවල ගැටලු ඇතිවීම නිසා විවිධ විශ්‍රාම වැටුප් හා රක්‍ෂණ යෝජනා පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය විශාල ලෙස පිරිහී ගොස්‌ ඇතැයි ද කෝප් කමිටුව පෙන්වා දේ. සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය යටතේ ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා සාමාජිකයන් හාර ලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ සිටිය ද ඉන් සියයට හැත්තෑ පහක්‌ අක්‍රීය සාමාජිකයන් බවද කෝප් කමිටුව නිරීක්‍ෂණය කර ඇත.

සමහර රාජ්‍ය ආයතනවලට බාහිර පාර්ශ්වයන්ගෙන් අය විය යුතු ණය ශේෂයන් ප්‍රමාණය විශාල බවද කෝප් කමිටුවට පෙනී ගොස්‌ ඇත. ඇතැම් ශේෂයන් බොහෝ කලක සිට හිඟව ඇතැයිද සඳහන් කර ඇත. ඒ අතරින් රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්‌ථාවට රුපියල් කෝaටි තිස්‌ පහකට ආසන්න මුදලක්‌, නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් කෝටි විසි දෙකක්‌, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට රුපියල් කෝටි හතළිස්‌ හතරක්‌ මෙසේ බාහිර පාර්ශ්වයන්ගෙන් අයවිය යුතුව ඇතැයිද කෝප් වාර්තාවේ දැක්‌වේ.

මෙය ඇතැම් ආයතනවල ඵලදායිතාවයට සහ කාර්ය සාධනයට තදින් බලපාන බවද කමිටුව පෙන්වා දේ.

යම් ආයතන ප්‍රධානීන් එකී ආයතනවල මූල්‍ය වංචාවන්ට සෘජුවම වගකිව යුතු අවස්‌ථා ඇතැයි කෝප් වාර්තාවේ දැක්‌ වේ. ඒ නිසා මෙවන් වරදකට වරක්‌ හසු වූQ පුද්ගලයන් යළි පත් කිරීමට අනුමැතිය නොදෙන ලෙස උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවට කෝප් කමිටුව විසින්a නිර්දේශ ඉදිරිපත් කර ඇත. 

ලාබ ලබන වාණිජ ආයතන දහඅටට අමතරව ලාභ නොලබන ආයතන 29 ක්‌ ද මෙවර කෝප් කමිටුව විසින් විමර්ශනයට ලක්‌ කළ බව සඳහන් කළෙමු. ඒ අතුරින් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය රුපියල් ලක්‍ෂ අනූ අටක ද ජාතික තරුණ සේවා සභාව රුපියල් කෝටි විසි පහක ද, මධ්‍යම පරිසර අධිකාරිය රුපියල් දෙකෝටි අසූ හය ලක්‍ෂයක්‌ ද, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ රුපියල් එක්‌කෝටි අසූ එක්‌ ලක්‍ෂයක ද ඌනතාවයක්‌ පෙන්නුම් කරයි. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව රුපියල් කෝටි දහනවයක්‌, වෘත්තීය පුහුණු අධිකාරිය රුපියල් හාර කෝටි අනූ දෙලක්‍ෂයක්‌, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්‌ඩලය රුපියල් අට කෝටි හතළිස්‌ නවලක්‍ෂයක්‌ බදුවලට පෙර ඌනතාවයක්‌ පෙන්නුම් කර ඇත.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්‌ථාව, සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය කෝප් කමිටුව වෙත මූල්‍ය ප්‍රකාශන ලබාදී නැතැයි ද කෝප් වාර්තාවේ සඳහන් කර ඇත. මේ අතුරින් නාගරික සංවර්ධන අධිකාරිය, සමුපකාර තොග වෙළඳ සංස්‌ථාව සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව පෙර වසරේද (2012) මූල්‍ය ප්‍රකාශන කෝප් කමිටුව වෙත ලබාදී නැත.

මේ අතර පෙර වසරේදී රුපියල් කෝටි 5456 ක අලාභයක්‌ වාර්තා කළ ලංකා විදුලිබල මණ්‌ඩලය මෙවර රුපියල් කෝටි 2139 ක ලාභයක්‌ වාර්තා කිරීම කැපී පෙනෙන ලක්‍ෂණයකි. මෙම ලාභය ඉපැවූයේ කෙසේද යන්න කෝප් කමිටුව විමර්ෂණයට ලක්‌ කළා දැයි නොදනිමු.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දිගින් දිගට ඉහළ යද්දී විදුලි පාරිභෝගිකයාගෙන් ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්‌ සෑම මසකම විදුලි බිලට එක්‌ කිරීමට විදුලි බල මණ්‌ඩලය පියවර ගත්තේය.

එහෙත් පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවූ නමුත් ඉන්ධන ගැලපුම් ගාස්‌තුව විදුලි බිලෙන් ඉවත් කිරීමට මණ්‌ඩලය කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. මේ ඉන්ධන ගැලපුම් ගාස්‌තුව මණ්‌ඩලයට ශුද්ධ ආදායමකි.

විදුලිබල මණ්‌ඩලය මෙසේ ලාභය ලෙස පෙන්නුම් කරන්නේ මාසික විදුලිබල මගින් පාරිභෝගිකයාගෙන් කොල්ල කාගන්නා ඉන්ධන ගැලපුම් ගාස්‌තුව විය හැකි යෑයි යමෙකු ප්‍රකාශ කරන්නට පිළිවන. 

සෑම රාජ්‍ය ආයතනයක්‌ම සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ නීතිගත කළ යුතුය. එහෙත් කෝප් වාර්තාව සඳහන් කරන පරිදි ලංකා ධීවර වරාය නීතිගත සංස්‌ථාව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව, රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්‌ථාව සහ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය, 2011 වසර සිට අදාළ වාර්ෂික වාර්තා සභාගත කර නැත.

මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලිබල මණ්‌ඩලය, ලංකා ධීවර සංස්‌ථාව, සේවා නියුක්‌තිSන්ගේ භාර අරමුදල, ජාතික අධ්‍යාපන ආයතනය, පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතු=ළු ආයතන 34 ක්‌ 2012 වසරේÊසිට වාර්ෂික වාර්තා සභාගත කර නැත.

කෝප් කමිටුව මෙම විමර්ශන කටයුතු සිදු කිරීමේදී විගණාකාධිපතිවරයා ඊට දක්‌වන සහාය ඉතා වැදගත් බව කෝප් සභාපති ඩියු ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටී.

රජයේ ආයතන විසින් මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඒවායේ ගැටලු ඇති බව විගණකාධිපතිවරයා විසින් සඳහන් කරයි. එය තත්ත්වය ගණනය කළ විගණන මතය ලෙස හඳුන්වයි. සේවා නියුක්‌තිකයන්ගේ බාර අරමුදල, කාර්මික තාක්‍ෂණික ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්‌ථාව, පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, ජාතික තරුණ සේවා සභාව, ප්‍රමිති ආයතනය, එක්‌සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ විශ්වවිද්‍යාලය, භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය, උකස්‌ හා ආයෝජන බැංකුව, ජාතික අධ්‍යාපන ආයතනය, රජරට විශ්වවිද්‍යාලය, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් වගා කිරීමේ මණ්‌ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරිය, රක්‍ෂණ සංස්‌ථාව, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය, රබර් පර්යේෂණ ආයතනය, ලංකා විදුලිබල මණ්‌ඩලය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය අදාළ රාජ්‍ය ව්‍යවසායන් රැසක මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේදී ගැටලු දක්‌නට ඇති බවට විගණකාධිපතිවරයා තත්ත්ව ගණනය කළ විගණන මතයක්‌ ඉදිරිපත්කර තිබේ. 

ලංකා ධීවර සංස්‌ථාව සහ ධීවර වරාය නීතිගත සංස්‌ථාව යන ආයතන දෙක විසින් ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශනවලින් විගණකාධිපතිවරයාට සිය විගණන මතය සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි ලැබී නැතැයි සඳහන් කර ඇත. එම නිසා සොයා නොගත් සාවද්‍ය ප්‍රකාශ තිබේ, නම් ඒවායේ බලපෑම මූල්‍ය ප්‍රකාශනවල ව්‍යාප්ත වී තිබෙන බවට අවසන් නිගමනයට එළැඹීමට විගණකාධිපතිවරයා සිය මතය ව්‍යාචනය කර ඇත. 

මෙවර කෝප් වාර්තාවට විගණකාධිපතිවරයාගේ මතයද සවිස්‌තරාත්මකව ඉදිරිපත් කර තිබේ. ඊට හේතුවක්‌ ඇතැයි කෝප් අතුරු වාර්තාව පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී එහි සභාපති ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. විගණකාධිපතිවරයාගේ මතය පිළිගන්න එපා" යෑයි සඳහන් නිර්නාමික චක්‍රලේඛයන් පසුගිය කාලයේ රාජ්‍ය ආයතනවලට බෙදා හැර තිබුණා. අප එය රහස්‌ පොලිසිය වෙත භාර දුන්නා. පරීක්‍ෂණයක්‌ සඳහා. ඒ චක්‍රලේඛය රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් ආ එකක්‌ද කියා දන්නේ නෑ. එය නිර්නාමිකයි. ඒ නිසා මේ චක්‍රලේඛය පිළිගන්න එපා කියා අපි ඒ ආයතනවලට දැනුම් දුන්නා. මෙවර කෝප් වාර්තාවට අපි විගණකාධිපතිවරයාගේ මතය ඇතුළත් කළේ ඒ නිසයි. ඩිව් ගුණසේකර මහතා පැවසුයේ එසේය.

කෙසේ වෙතත් මෙවර කෝප් වාර්තාවෙන් ද රාජ්‍ය ආයතන රැසක අක්‍රමිකතා, අකාර්යක්‍ෂමතා හෙළිදරව් කර ඇත. ඒ පිළිබඳ කෝප් කමිටුව සිය නිර්දේශය ද ඉදිරිපත් කර තිබේ.

මින් මතුවට මේ සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්‌ද?... වසර අවසාන කෝප් වාර්තාවට පෙර සැප්තැම්බර්Êමාසයේදී තවත් රාජ්‍ය ආයතන රැසක විමර්ශනයන් පිළිබඳ කෝප් අතුරු වාර්තාවක්‌ එළිදක්‌වන බව එහි සභාපති ඩිව් ගුණසේකර මහතා අවධාරණය කර සිටී. එසේ නම් අප අද මේ කතා කරන කෝප් වාර්තාවේ සඳහන් ආයතනවල දූෂණයන්ට, වංචාවන්ට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව සැප්තැම්බර් මාසයට පෙර පියවරක්‌ ගත යුතුයි. එය එසේ වේද. නැතිනම් මෙම කෝප් වාර්තාවත්a ඉදිරි දිනක පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් විවාද කිරීමෙන් අනතුරුව තවත් එක්‌ වාර්තාවක්‌ පමණක්‌ බවට පත්වේවිද? කෝප් කමිටුවට කළ හැක්‌කේ විමර්ශනය කර හෙළිදරව් කිරීම හා නිර්දේශයන් ඉදිරිපත් කිරීම පමණි. ඉන් ඔබ්බට ඒ පිළිබඳ පියවර ගැනීමේ බලය ඇත්තේ විධායකයට බවද සඳහන් කළ යුතුය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/08/10/politics05.html

0 comments: