Pages

Monday, August 25, 2014

අවුරුදු තුනක පුංචි නංගිට කැව්වේ, නෑව්වේ, රෙදි සේදුවේ එයා.. නංගීට අම්මා වූ අක්කා, නංගීගේ මාරයාද වූවාය!

අම්මා රට ගියා...
ලොකු දුව ගෙදර අම්මා වුණා..
ලොකු දුව කිව්වාට ඒ හැටි ලොකු දුවෙක් නෙවෙයි..
අවුරුදු දහයයි වයස.. ඇත්තටම පුංචි දුවෙක්..
අම්මා ගිය දා ඉදන් තාත්තටයි නංගිටයි බත් ඉව්වේ මේ පුංචි දුව..
අවුරුදු තුනක පුංචිම නංගිට කැව්වේ එයා... නංගිව නෑව්වේ, රෙදි සේදුවේ එයා..
ගෙදර වැඩපොල සේරම දුවගේ පිට.. තනියම වැඩ කරන්න වුණා..
නංගි පුංචි වැඩියි.. උදව් කරන්න බෑ.. තාත්තා ගෙදර නෑ..
ඉතින් දුව තනියම වැඩ..
උදේ නැගිටපු වෙලේ ඉදන්... රෑ නින්දට යනකල්..
උයනවා, රෙදි සෝදනවා, අස්පස් කරනවා, නංගිව බලාගන්නවා.. කවනවා , පොවනවා, නාවනවා..
කෙල්ලට හරි මහන්සියි..
ඒත් “මහන්සිද“ කියලා අහන්න කවුරුවත් නෑ..
මේ වැඩත් සේරම කරගෙන ඉස්කෝලෙ යන්නෙ කොහොමද..?
ගෙදර වැඩ නවත්තලා ඉස්කෝලෙ යන්න කියලා කවුරුවත් කිව්වේ නෑ..
ඒ නිසා ඉස්කෝලෙ නවත්තලා ගෙදර වැඩ කරන්න දුවට සිද්ධ වුණා..
නංගිව තනියම ගෙදර දාලා ඉස්කෝලෙ යන්නෙ කොහොමද..?
ඒත් දූගෙ වයසේ දූගෙ පන්තියෙ යාලුවෝ ඉස්කෝලෙ යනවා... ඉගෙන ගන්නවා.. සෙල්ලම් කරනවා..
ඒවා දකිනකොට දුවට දුකයි..
ඒත් කවුද අහන්නේ “දුවේ උඹට දුකද“ කියලා..
එහෙම අහන්න කවුරුවත් හිටියේ නෑ..
දූට පාලුයි..
හවසට තාත්තා ගෙදර ආවම නංගිව නම් හුරතල් කරනවා.. නංගි පුංචියිනේ...
දුවට ඉරිසියයි..
අම්මත් නෑ.. තාත්තා වැඩට යනවා.. නංගිත් පුංචියිනේ..
ඉස්කෝලෙ යන්නෙ නැති නිසා දූට පාලුයි.. දුව ටවුමෙ කඩ වලින් දෙමළ චිත්‍රපටි සී ඩී අරන් බලන්න පුරුදු වුණා.. ආදර ජවනිකා, සටන්, මිනීමැරුම්, ප්‍රචණ්ඩත්වය පිරිච්ච ඒ චිත්‍රපටි වල පාට පාට ලෝකෙ දුවගෙ පාලුව ටිකකට නැති කළා..
ඒත් වැඩ කරලා දැනෙන වෙහෙස මහන්සිය, තනිකම, දුක, නංගිත් එක්ක දැනෙන ඉරිසියාව හැම දේම දවසින් දවස දුවගෙ හිතේ ඉතිරි වුණා...
අවුරුදු තුනක් තිස්සේ ඒ ඉතිරි වෙච්ච තරහ දුක පාලුව ලොකු පීඩනයක් වුණා දූට...
අම්මා රට හිටියා අවුරුදු තුනක්..
දැන් දුවට දහතුනයි..
අම්මා ආපහු ආවා..
දුව හිතුවා දැන් ඉතින් මගේ දුක් ඉවරයි කියලා...
නෑ... අම්මා ඇවිත් තියෙන්නේ ආපහු යන්න බලාගෙන...
ඒක දැනගත්තාම දුවට තරහයි... ඒ තරහත් එකතු වුණේ අවුරුදු තුනක් තිස්සේ එකතු වුණ තරහ ගොඩටමයි.. තරහ ගොඩ තව ටිකක් වැඩි වුණා..
අම්මා ආවට පස්සෙ අම්මටත් "පුංචි එකා“ වුනේ නංගි..
නංගි අතින් එදා මල් පෝච්චියක් බිදුනා.. තාත්තා ඒකට කෑ ගැහුවෙ ලොකු දුවට.. “ඇයි නංගිව බලාගත්තෙ නැත්තෙ..? එයා පුංචියිනෙ..“
දූට තව ටිකක් දුකයි තරහයි.. අර තරහ ගොඩ තවත් ටිකක් උස ගියා..
එදාම හවස තාත්තා ගෙනාවා බූන්දි පාර්සලයක්.. නංගිට ටිකක් වැඩියෙන්.. එයා පුංචි එකීනෙ..
ලොකු දූට තරහයි..
හැම දේම නංගිට.. නංගිට.. නංගිට..
දූ කල්පනා කළා.. නංගි නැත්තම් සේරම හරිනෙ.. මේ කරදරයක් නෑනෙ.. මට ඉස්කෝලෙ යන්නත් තිබුණා..
දූට හිතුණා..
ඉතින්.. දූ කල්පනා කළා.. දූට මතක් වුණා බලපු දෙමළ චිත්‍රපටි..
ඒවගෙ තිබුණනෙ තරහකාරයින්ට කරන්න ඕන දේ..
දූ නංගිව එක්කගෙන ගියා ගේ පිටිපස්සෙ ලදු කැලෑවට..
අවුරුදු හයක පුංචි නංගිට පිහියෙන් ඇන්නා......

.....................................................................................

හැම දරුවෙක්ම ආදරේ බලාපොරොත්තු වෙනවා.. අම්මගෙ තාත්තගෙ ආදරේ බලාපොරොත්තු වෙනවා..
හැම දරුවෙක්ම නිදහසට ආසයි, සෙල්ලම් කරන්න ආසයි..
පවුලේ වැඩිමල් දරුවාට වෙනම හැගීමකුයි බාල දරුවාට තවත් හැගීමකුයි දැනෙන්නේ නෑ.. ඒ හැමෝම දරුවෝ..

ඒ නිසා දරුවන්ට ආදරේ, අවධානය, නිදහස දෙන්න...
ඒක එයාලාගේ අයිතිවාසිකමක්..

Nimmi Muditha Herath - FB

0 comments: