Pages

Saturday, August 16, 2014

තිස්‌වසරක ඇවෑමෙන් ස්‌වේච්ඡා බලසේනාවේ විද්වත් ඇරඹුම

තිස්‌වසරක්‌ පුරා පැතිර ගිය යුද්ධයේ කුරිරු බව අද අත්විඳින්නට නැත. ඒ දවස අහිමිව ගිය බොහෝ දේ පරයමින් වඩා හොඳ දේ රටේ ජනතාවට ලැබෙන්නේය. කුරිරු යුද්ධය නිමාකරනු පිණිස අති මහත් කැපවීමක්‌ කළ රණවිරුවෝ අද දවසේද ඒ බොහෝ දේ රටේ ජනතාවට ලබා දෙනු පිණිස ඇප කැපව සිටින්නාහුය. වත්මනෙහි රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ පවා වැඩි දායකත්වයක්‌ දක්‌වන්නේද රණවිරුවන්ය.

යුද්ධය පැවැති එදවස මෙන්ම අද දවසද ඒ රණවිරුවන් වෙනුවෙන් ප්‍රණාමය පුද කරන්නෝ එමටය. එහෙත් "මිලිටේරිකරණය" ලෙස හඳුන්වමින් එය හෙළා දකින පිරිසක්‌ද සිටින බව අමතක කළ යුතු නොවේ. ඒ දවස රට වටා රන්වැටක්‌ව අපට රැකවරණ සැපයූ එමෙන්ම නිරන්තරයෙන්ම මග තොටෙහි ගැවසීගත් රණවිරුවන් හා එකී සමයේ වටපිටාව ගැන උදම් අනමින් කතා කළ අය පවා වත්මන වන විට මිලිටේරිකරණය යන්න ආයුධයක්‌ කරගනිමින් රණවිරුවන්ට අවලාද නගන්නාහුය.

එහෙත් මේ සියල්ල අතරවාරයේ රටේ පිළිගත් වෘත්තිකයන් රැසක්‌ රණවිරුවන්ගේ සද්කාර්යයට දායක වන්නේ කෙසේද යන්න ගැන නිරන්තර අවධානයෙන් පසුවූයේ මෙවැනි අවලාදයන්ට උත්තර දෙන්නට මඟක්‌ සොයමිනි.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව "අපි ආමි" වැඩසටහන ආරම්භ වන්නේ ඊට මාර්ගයක්‌ විවර කරමිනි. වර්තමානය "අපි ආමි" යනුවෙන් හැඳින්වුවද මේ සංකල්පයේ යටගියාව වසර තිහකටත් වඩා පැරණිය. එවකට එනම් වසර තිහකට පෙරාතුව ද ශ්‍රී ලංකා යුද හමුදාවේ හා රණවිරුවන්ගේ විනය, අභිමානය කැපවීම මෙරට ජනතාවට අමුතු දෙයක්‌ නොවිණි. එය එසේ සමාජගත වන අතරවාරයේම රට පිළිගත් වෘත්තිකයන්ගෙන්, විද්වතුන්ගෙන්ද යුද හමුදාව පොහොසත්ව තිබිණි. එකල කිසිවෙක්‌ ඊට මිලිටේරිකරණය යන කුහක නමක්‌ යෙදුවේ නැත.

මේ වෘත්තිකයන්ගේ සහ විද්වතුන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගත්තේ යුද හමුදා ස්‌වේච්ඡා බලසේනාවයි. එවක ස්‌වේච්ඡා බලසේනාවේ නම රැන්දූ විද්වත් වෘත්තිකයන් අතර අගමැති ඩී. එස්‌. සේනානායක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජෙනරාල් රංජන් විඡේරත්න, ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ, කර්නල් සී. ඒ. ධර්මපාල, මේජර් ඊ. ඒ. නුගවෙල, මේජර් මොන්ටේගු ජයවික්‍රම, කපිතාන් සී. පී. ඡේ. සෙනෙවිරත්න ආදීහු වූහ.

එහෙත් යුද්ධය ආරම්භවීමත් සමඟම මේ ක්‍රියාවලිය නතරවිණි. ස්‌වේච්ඡා බලසේනාවද සක්‍රීය යුද සේනාවක්‌ බවට පත්වූයේ ජාතික අවශ්‍යතාව පෙරමුණ ගත් බැවිනි. කෙසේ හෝ කුරිරු යුද්ධය නිමවීමත් සමඟම අප පෙරකී ලෙස වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, වතුපාලක, රේගු නිලධාරීන්, කළමනාකරණ අධ්‍යක්‍ෂවරුන්, මිනින්දොරු, ප්‍රවාහන ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස්‌ විවිධ රාජ්‍ය ආයතන වල නිලධාරීන්, මාධ්‍යවේදීන් ලෙස ස්‌වේච්ඡා බළ සේනාවට විද්වත් වෘත්තිකයන් ලෙස එක්‌වීම ආරම්භ කරන්නේය.

වත්මනෙහි මේ උදාර සංකල්පයේ පෙර ගමන්කරුවා, එසේත් නැත්නම් නියමුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වේච්ඡා බළ සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලුගල මහතාය.

"ඇත්තටම මේ වැඩසටහනේ නිර්මාතෘවරයා වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨභය රාජපක්‍ෂ මහතායි. එතුමාගේ සංකල්පයක්‌ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. වසර තිහකට පසුවයි. මේ ආකාරයට විද්වතුන් හා වෘත්තිකයන් ස්‌වේච්ඡා බලසේනාවට එක්‌කර ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වන්නේ.

සරලවම පැහැදිලි කළොත් "අපි ආමි" කියන සංකල්පයේ හා ඒ තේමාවේ කිසිදු ජාති, ආගම්, කුල බේදයක්‌ නෑ.

මේ වනවිට පුහුණුව ලබන මේ වෘත්තිකයන් අතර සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී වශයෙන් මෙරට විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන බොහෝ පිරිසක්‌ සිටින බව කිව යුතුයි.

අපි ඒ අයට මාසයක පුහුණු කාලයක්‌ ලබාදෙනවා. එහිදී සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව යම් දළ අදහසක්‌ ලබාදීමයි. ඊට පසුව ඔවුන්ගේ සේවා පළපුරුද්ද, දැනුම ආදිය නිර්ණායකයන් හැටියට යොදාගනිමින් කර්නල්, ලුතිනන් කර්නල්, මේජර්, කපිතාන්, ලුතිනන් ආදී නිලතලවල අධිකාරියට පත් කිරීම සිදුකරනවා".

සිය උදාර මෙහෙයුමේ ඉදිරි ක්‍රියාවලිය පිළිබඳව මේජර් ජනරාල් ලලිත් දවුලුගල මහතා කරුණු දැක්‌වූයේ එලෙසිනි.

මේ මොහොත වනවිට එසේ බඳවාගන්නා ලද විද්වත් වෘත්තිකයන් දියතලාව ස්‌වේච්ඡා බලසේනා පුහුණු කඳවුරේ සිය පුහුණු කාලය අවසන් දින කිහිපය ගෙවමින් සිටී. එළැඹෙන 22 වැනිදා ඔවුන්ගේ විසිර යැමේ උත්සවය පැවැත්වීමට නියමිතය.

"අපි විශ්වාස කරන්නේ මේක අභිමානවත් මොහොතක්‌. ජාතිය සතුටු විය යුතු මොහොතක්‌. අප මේ විද්වත් වෘත්තිකයන් අවශ්‍ය විටෙක එනම් රටේ මතුවන හදිසි තත්ත්වයක්‌, ආපදා අවස්‌ථාවක්‌, ආදී අවස්‌ථාවන්වල සේවයට කැඳවනවා. 22 වැනිදා විසිර යන්නේ පළමුවැනි කණ්‌ඩායමයි. දෙවැනි කණ්‌ඩායමේ පුහුණුවීම් ඉක්‌මනින්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා". මේජර් ජෙනරාල් ලලිත් දවුලුගල මහතා කියන්නේය. මහනුවර ශාන්ත සිල්වෙස්‌තර විදුහලේ සහ කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන මේජර් ජෙනරාල් ලලිත් දවුලුගල මහතා කියන්නේද සිය සේවා දිවියේ යුදමය අවස්‌ථාවන් හිදී විඳි කටුක හා බිහිසුණු අවස්‌ථා මෙන්ම සතුට අත්විඳි අවස්‌ථාවන් අතර, "අපි ආමි" සංකල්පයේ නියමුවකු වීමට ලද අවස්‌ථාව අපමණ වූ සතුටට කරුණක්‌ බවය.

ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනා විධායක ලෝරන්ස්‌ වික්‍රමසිංහ මහතාද මේ සද්කාර්යයෙහි මහඟු මෙහෙවරක යෙදී සිටින බව කිව යුතුය. අභිමානවත් යුද හමුදාව සමඟ එක්‌ව ජාතියට සේවය කිරීමට "අපි ආමි" සමඟ බොහෝ විද්වත් වෘත්තිකයන් එක්‌වනු ඇති බව ඔවුනගේ අදහසයි.

උදේශ සංජිව ගමගේ
http://www.divaina.com/2014/08/17/feature23.html

0 comments: