Pages

Wednesday, August 13, 2014

දරුවන් ගොදුරු කර ගන්නා ළමා අපචාරකයන් හඳුනාගන්න

ශ්‍රී ලංකාවේ ඉතා ශීඝ්‍රව ඉහළ යන අපරාධ රැල්ලෙහි පළමු තැන ළමා අපචාරවලට හිමිව ඇත. කුඩා අවධියේදී ලිංගිකව, මානසිකව, ශාරීරිකව හෝ සමාජයීය වශයෙන් අපචාරවලට ලක්‌වීම් දෙස විමසා බැලීමේදී වර්තමාන වැඩිහිටි පරම්පරාවෙන් සෑම පුද්ගලයන් දෙදෙනකුගෙන් එක්‌ අයෙකු දැන හෝ නොදැන මෙම කුමන හෝ ආකාරයක අපචාරයකට ලක්‌ව ඇති බව අනාවරණය වී තිබේ. එසේම කුඩා දරුවන් කුමන හෝ ආකාරයෙන් අපචාරවලට ලක්‌කරන මානසික රෝගීන් ලක්‍ෂ 3 ත් 4 ත් අතර පිරිසක්‌ අප සමාජයේ ජීවත් වෙති. දරුවන්ට ඉතා කෲර ලෙස පහර දෙමින්, අපහාස කරමින් දරුවන්ගේ නිදහස අහිමි කරමින් ආහාර පාන ආදිය නොදී පීඩාවට පත් කරමින් සහ දරුවන්ගේ මුහුණ අත පය සහ ඔවුනගේ ලිංගික අවයව ස්‌පර්ශ කරමින් විකෘති ලෙසින් තම ආශාවන් සතපවා ගැනීම මොවුන් සිදුකරයි. එනිසා ළමා අපචාර යනු ලිංගිකව දරුවකු පීඩාවට පත්කිරීම පමණක්‌ නොවන බව වටහාගත යුතුය.

නමුත් වර්තමානයේ ඉතා බරපතලම ගැටලුව බවට පත්ව ඇත්තේ දරුවන් ලිංගික අපචාරවලට ලක්‌ කිරීමය. ලිංගික අපචාර සිදුකරන පුද්ගලයන්ගේ අරමුණ තමා තුළ ඇති විකෘති කාමාශාවන් සතපවා ගැනීමය. එය දරුවකු සිප ගනිමින්, අත් පා ස්‌පර්ශ කරමින්, ලිංගික අවයව ස්‌පර්ශ කරමින් ආදී විවිධ අයුරින් සිදු කරයි.

ළමා අපචාරකරුවන් හඳුනා ගැනීම

සීයලා, මාමලා, බාප්පලා, ඇතුලු වැඩිහිටියන් කුඩා දරුවන් සිප වැළඳ ගන්නේ දරු සෙනෙහස නිසාය. නමුත් එම සිප වැළඳ ගැනීම අසාමාන්‍ය අයුරින් සිදුකරයි නම් දරුවන්ගේ ලිංගික අවයව අනවශ්‍ය ලෙස ස්‌පර්ශ කරයි නම් ඒ ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. එය ආදරයෙන් ඔබ්බට ගිය කාමාශාවක්‌ විය හැකිය.

ළමා අපචාර සිදුකරන බොහෝ දෙනා ඊට පෙළඹෙන්නේ හොර රහසේය. ඒ සඳහා ඔවුහු නිතරම දරුවන් තනිකර ගැනීමට උත්සාහ කරති. දරුවා අන් අය අතරින් හුදකලා කර ගැනීම සඳහා ඔවුහු දරුවා ප්‍රිය කරන ආහාර පාන, සෙල්ලම් බඩු ලබාදෙති. "ඔයා මේක කාටවත් කියන්න එපා" යෑයි පවසමින් දරුවාට රහස්‌ රැකීමට හුරු කරති. කුඩා දරුවන් ද රහස්‌ රැකීමට ඉතා ප්‍රිය කරති. "අම්මටවත් තාත්තටවත් කියන්න එපා කිව්වා" ලෙස පැවසූ විට එය දරුවන්ට ඇති වන්නේ තමාට රහස්‌ රැකීමට හැකියාවක්‌ ඇතැයි කියාය. එසේම එම රහස රැකගත්තේ නැත්නම් තමාට ලැබෙන තෑගි බෝග අහිමිවේයෑයි කියා දරුවෝ සිතති. එනිසා ඔවුනට තම සීයාගෙන්, මාමාගෙන් වුව අනවශ්‍ය ලෙස තෑගි බෝග ලැබෙන විට දෙමාපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. තෑගි බෝග දී ඔවුන් කීවේ මොනවා දැයි කියා දරුවාගෙන් විමසීමට දෙමාපියන් වගබලා ගත යුතුය. ඔයාට තවම රහස්‌ රකින්න බැහැ. අම්මා තාත්තාට නොකියන රහසක්‌ ඔයාලා ළඟ නැහැ ලෙසින් පවසා දෙමාපියන් තම දරුවාගෙන් රහසක්‌ ඇතොත් දැනගත යුතුය. ඒ සඳහා දෙමාපියන් දරුවන්ට සමීප විය යුතුය. ආදරය සෙනෙහස දක්‌වමින් එම රහස්‌ හෙළිකරගත යුතුය.

ළමා අපචාරවලට යොමුවන බොහෝ දෙනා ජීවිතයේ හුදකලා දිවියක්‌ ගත කරන හෝ ලිංගික ආශාවන් සතපවා ගැනීම කෙරෙහි වැඩි නැඹුරුවක්‌ දක්‌වන අය වෙති. මෙවැනි පුද්ගලයන් රැකියාව ලෙස තෝරාගනු ලබන්නේ පාසල් වෑන් රථ පැදවීම, ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම, උද්‍යාන පිරිසිදු කරන්නන් ලෙස සේවය කිරීම, උපකාරක පංති පවත්වන්නන් ලෙස කටයුතු කිරීම, දිවා සුරැකුම් මධ්‍යස්‌ථානවල සේවය කිරීම, උපස්‌ථායකයන් ලෙස කටයුතු කිරීම ආදියයි. එවැනි රැකියා තුළින් ඉතා පහසුවෙන් ඔවුනට දරුවන් හා සමීප විය හැකිය.

දැන් ඔබ මෙවැනි වෘත්තීන්හි යෙදෙන සියලු දෙනා කෙරෙහි සැකයෙන් හෝ බියෙන් පසුවිය යුතු නැත. මේ බව සිතේ තබාගෙන තම දරුවා සමඟ ගැවසෙන මෙවැනි වෘත්තීන් හි නිරතවන අය ගැන වැඩි අවධානයක්‌ යොමුකළ යුතුය. එවැනි අයකු අනවශ්‍ය ලෙස දරුවාට ඇඟෑළුම් පායිනම් දරුවා කෙරෙහි අවධානය යොමුකරයි නම් ඔවුන් ගැන සැලකිලිමත් විය යුතුය. එවැනි අය දරුවාට කරනු ලබන යෝජනා සහ දරුවා අනවශ්‍ය ලෙස සිප වැළඳගෙන ස්‌පර්ශ කර ඇත්නම් එය දරුවාගෙන් විමසිය යුතුය.

මනෝ වෛද්‍ය සමීක්‍ෂණවලට අනුව සෑම වැඩිහිටියන් සියදෙනකුගෙන් සිව්දෙනකු දරුවන් කෙරෙහි සෙනෙහසට ආදරයට වඩා ඔබ්බට ගිය ආශාවන් උත්තේජනයන් විකෘති කාමාශාවන් සහිත අය බව හඳුනාගෙන ඇත. මෙවැනි පුද්ගලයන් තම දරුවන් පවා අපචාරවලට ලක්‌ කිරීමට පෙළඹේ.

ළමා අපචාරවලින් දරුවන් බේරාගැනීම

ළමා අපචාරවලට ලක්‌ වූ දරුවන් දෙස විමසා බැලීමේ දී ඒ සෑම දරුවකුගේම දෙමාපියන් තම දරුවාට නිසිලෙස ආදරය සෙනෙහස දක්‌වා නැ. දෙමාපියන් දරුවාට වඩා මූලිකත්වය ලබාදී ඇත්තේ රැකියාවට හෝ තමාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙනි. එනම් හිත මිතුරන් සමඟ මත්පැන් සාද පැවැත්වීම, ගමන් බිමන් යැම, විවිධ ආගමික ඇදහිලි සඳහා වැඩි කාලයක්‌ ගත කිරීම, මව්වරුන් තම මිතුරියන් සමඟ දවසින් වැඩි කාලයක්‌ අල්ලාප සල්ලාපයේ යෙදීමට යොමුවීම, දරුවන්ට සැර පරුෂවීම, දරුවන් දෙමාපියන් සමඟ ඇති සමීප බව දුරස්‌ කර ගැනීම සහ දෙමාපියන් අනියම් ඇසුරුවල යෙදීම ආදියයි. මෙවැනි අවස්‌ථාවලදී දරුවාට දෙමාපියන්ගෙන් නිසි ලෙස සෙනෙහස නොලැබෙන විට ඔවුහු නිරායාසයෙන් වෙනත් සෙනෙහසක්‌ සොයා යති. එහිදී ආච්චි, සීයා, මාමා, බාප්පා, පාසල් වෑන්රථයේ රියෑදුරු, අසල්වාසී වැඩිහිටියන් ඇතුළු ඕනෑම අයෙකුගෙන් සෙනෙහස, ආදරය බලාපොරොත්තුවෙති. මෙවැනි අවස්‌ථාවලදී දරුවන් ඉතා පහසුවෙන් ළමා අපචාරවලට යොමු වූ අයට ගොදුරු විය හැකිය. එනිසා දරුවන් ඇති සෑම මවක්‌ම, පියෙක්‌ම තම දරුවා සමඟ එක්‌ව සිටීමට අඩුම තරමින් දවසකට පැය භාගයක්‌වත් වෙන්කළ යුතුය. එසේ වෙන්කරන කාලය දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නොව දරුවා සමඟ ආදරයෙන් කතා බහ කිරීමට, දරුවාගේ අවශ්‍යතා හඳුනාගැනීමට සහ දරුවා දවස ගත කළ හැටි විමසීමට වෙන් කළ යුතුය. එසේ කිරීමෙන් දරුවා තුළ රහස්‌ පවතින්නේ නැත. දරුවාගේ ඕනෑ එපා කම් හඳුනාගත හැකියි.

දරුවා පොත පතේ වැඩ කටයුතුවලට පමණක්‌ නොව ක්‍රීඩා කටයුතුවලට ද අනිවාර්යයෙන් යොමු කිරීමෙන් අපචාරවලට ගොදුරුවීමෙන් වළක්‌වාගත හැකිය. ක්‍රීඩා කටයුතුවල යෙදීම නිසා දරුවා තුළ යම් මානසික පීඩාවක්‌ ඇත්නම් එය නැතිකරගත හැකිය.

දරුවාට තම ලිංගික අවයවවල ක්‍රියාකාරීත්වය ගැන සහ ඒවායේ වර්ධනය ගැන යම් අවබෝධයක්‌ ලබාදිය යුතුය.

වර්තමානයේ තොරතුරු සංනිවේදනය දරුවන් අතර ජනප්‍රිය වී ඇති නිසා ඔවුන් ඉන් ඈත් කිරීම වෙනුවට එම සංනිවේදන නිවැරදි ලෙස භාවිත කරන අයුරු වටහාදිය යුතුය. බොහෝ දෙමාපියෝ තම දරුවන් අන්තර්ජාලයේ සැරිසරනවාට විරුද්ධ වෙති. ඉන් සිදුවන්නේ දරුවා තුළ ඒ ගැන කුතුහලයක්‌ ඇතිවීමය. පරිගණකය අද සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව ඇත. එය පරිහරණය කිරීමට නොලැබෙන විට දරුවෝ එය කෙසේ හෝ පරිහරණය කිරීමට උත්සාහ කරති. එනිසා අන්තර්ජාල දැනුම ලබාදීමට පරිගණක භාවිතයට යොමු කිරීමට බියවිය යුතු නැත. බියවිය යුත්තේ දරුවන් තුළ මෙම දැනුම නොමැති විටදීය.

බොහෝ දෙමාපියෝ තමාට ජය ගැනීමට නොහැකිවූ විභාග තම දරුවන් ජය ගත යුතුයෑයි බලපෑම් කරති. දරුවාගේ හැකියාව මත මිස බලපෑම් මත විභාග ජය ලබාගත නොහැකිය. දරුවන්ට අනවශ්‍ය පීඩන ඇතිකරන විට ඔවුහු ඉන් මිදීමට නොයෙකුත් විසඳුම් සොයති. එසේ සොයන විසඳුම ළමා අපචාරකරුවකුට ගොදුරුවීමේ අවස්‌ථාව උදාවීම නම් එය බරපතළ ගැටලුවකි. එනිසා නිතරම දරුවාගේ හැකියාව හඳුනාගෙන එය වැඩිදියුණු කර ගැනීමට උපකාර කළ යුතුය. එවිට දරුවා සතුටින් තම හැකියාවන් ඔප් නංවා ගැනීමට යොමු වේ. ඉන් දෙමාපියන් දූ දරුවන් අතර ඇති බැඳීමද ශක්‌තිමත් වේ.

දරුවන්ගේ අඟපසඟ අනවශ්‍ය ලෙස නිරාවරණය වන අයුරින් ඇඳුම් පැළඳුම් ඇන්දවීම නොකළ යුතුය. ඇතැම් දෙමාපියන් විලාසිතා යෑයි පවසමින් තම දරුවනට අඳින්න පළඳින්න දෙන ඇඳුම් පැළඳුම් නිසා සිදුවන්නේ දරුවා අන් අයගේ හැඟීම් මතුකරන්නන් බවට පත්වීමය. ඉන් සිදුවන්නේ දරුවා ලිංගික ගොදුරක්‌ බවට පත්වීමේ අවදානමට ළංවීමය.

ළමා අපචාරවලින් දරුවන් මුදා ගැනීමේදී දරුවා තුළ නැහැ.... බැහැ යන සිතුවිල්ල ඇති නොකළ යුතුය. දරුවාට නිතරම 'එපා' යෑයි පවසමින් විරෝධය පෑම හොඳ නැත. දරුවාට 'එපා' යන විධානය සිදුකර තමාට අවනත කර ගැනීමට යැමෙන් සිදුවන්නේ දරුවා දෙමාපියනට කීකරු දරුවෙක්‌ බවට පත්වීම නොව විධානයකට බිය වූ දරුවෙක්‌ බවට පත්වීමය. එපා යෑයි විධානය කළ යුත්තේ දරුවාට කිසිසේත්ම කළ නොහැකි කටයුතුවලදී පමණි. එහිදී ද ඒ බව වටහාදී එපා යෑයි විධානය කළ යුතුය. එසේ නොමැතිව දෙමාපියන්ගේ පහසුවට දරුවන්ට යමක්‌ කිරීමට එපායෑයි කියා සිරකර තබා ගැනීම හොඳ නැත. 'එපා' යෑයි විධානයට බියවූ බොහෝ දරුවන් ඉතා පහසුවෙන් ළමා අපචාරකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ඉඩකඩ වැඩිය. ඔයා මේ ගැන අම්මාට, තාත්තාට කියන්න එපා යෑයි ළමා අපචාරකරුවන් පැවසූවිට එපා විධානයට බිය වූ දරුවෝ ඊට අවනත වෙති. එපා කියන්නට හේතුව හඳුනාගත් දරුවා වරදට පොළඹවාගත නොහැකිය.

දරුවා ඊට හේතුව විමසන නිසා ලිංගික අපචාර කරුවනට දරුවා තම අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අපහසු වේ.

දරුවන්ගේ ගැටලු සහ ඔවුන්ගේ ඕනෑ එපාකම් පවසනවිට දෙමාපියන් ඊට හොඳින් ඇහුම්කන් දිය යුතුය. මට දැන් බැහැ. පස්‌සෙ එන්න... මම වැඩක්‌... ඕක අම්මත් එක්‌ක කතා කරන්න... තාත්තාට කියන්න යෑයි පවසමින් දරුවාට ඇහුම්කන් දීම මග හැරීම නොකළ යුතුය. ඇතැම්විට දරුවා තමාගේ ගැටලු පවසන්නේ එය තමාට සුදුසු යෑයි සිතෙන වේලාවේදීය. එසේත් නැතිනම් එය දරුවාට මතක්‌ වූ වේලාවේදීය. එනිසා දරුවන් යමක්‌ පවසන්නට උත්සාහ කරන විට ඒ සඳහා ඉඩදිය යුතුය. ඊට ඇහුම්කන් දිය යුතුය. එවිට දරුවා සෑම දෙයක්‌ම දෙමාපියන්ට පැවැසීමට හුරු වේ.

දරුවන්ට කන්න බොන්න දීම, ඇඳුම් පැළඳුම් ලබාදීම, ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම, ඔවුන් ඉල්ලන දේ ලබාදීම පමණක්‌ නොව ඔවුන්ගේ හඬට කන්දීම, ඔවුන් කරන කියන දේ ගැන සොයා බැලීමටද දවසේ කාලය වෙන් කළ යුතුය. එසේ වෙන්කළ නොහැකි නම් තම දරුවන්ගේ අනාගතය ද අවදානම් බව දෙමාපියන් වටහාගත යුතුය.

ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන සහ එක්‌සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහත්වරු විසින් පවත්වනු ලැබූ 'ළමා ලෝකය' අධ්‍යාපනික වැඩසටහන ඇසුරිණි.

උපාලි ද සේරම්
http://www.divaina.com/2014/08/10/feature20.html

Pic Source

0 comments: