Pages

Saturday, August 16, 2014

යාල-කුමන වන සතුන් රැකගන්න දිය බිඳක්‌ දන්දෙන්න

සමස්‌ත වැව් බැඳි රටම නියඟයේ ශාපයට ගොදුරුව පවතී. පසුගිය මහ කන්නයේ සිටම වයඹට, උතුරු මැදට, මධ්‍යමට, දිගාමඩුල්ලට, ඌවට, වන්නියට, යාපා පටුනට හරිහමන් වැස්‌සක්‌ ලැබී නැත. මෙවන් නියඟයක්‌ බලපැවැත්වුණේ වසර දහයකින් පසුව යෑයි තතු දන්නෝ කියති. එබැවින් මේ නියඟය ගැන තවදුරටත් කතා කරන්නට දෙයක්‌ නැත. මුළු මහත් වියළි කලාපයම පරඬලා පත්ව මහපොළොව ඉරිතලා ඇත.

වැව් පතුල් දෘෂ්‍යමාන වන අතර, තවදුරටත් හිඳී නොපෙනී යන මඩකඩිතිවල පිපාසාවට දිය බිඳක්‌ ඇත්දැයි මනුසතාද, වනසතාද, ගව මහීෂාදීන්ද තොලගානු පෙනේ. එකදු වැහි වලාවක්‌ නැති නුබ කුස සිසාරා එක එල්ලේ කඩා හැලෙන රුහිරු හිරු රැස්‌ දහරා පොළොවේ සෑම දිය බිඳක්‌ම උදුරාගනු පෙනේ.

මේ මහා ඛේදවාචකයට පිළිසරණක්‌ විය හැකි කෙනෙකු වේ නම් ඒ වැස්‌ස වලාහක දෙවිඳුන් පමණකි. එහෙත්, හිත්පිත් ඇත්තන්ට දිය දන්දෙන්නට මෙය මහත් වූ භාග්‍යවත් අවස්‌ථාවකි. ජලය නැති මනුසතා ඇති තැන් සොයා යන අතරේ තම දුක අනන්‍යයන්ට හඬගා කියන්නේය. ඊට පිළිසරණක්‌ නොවන කල බැණ අඬ ගසන්නේය. උද්ඝෝෂණ, පිකටින්ද කරන්නේය. එමගින් සහන ලබාගන්නේය.

එහෙත්, මේ කිසිවක්‌ බැරි වනසතා කෙසේ නම් දිය බිඳක්‌ ඉල්ලා උද්ඝෝෂණය කරන්නේද? ඇති තැනක දිය සොයන්නේ නේක සතුරන්ගෙන් පමණක්‌ නොව, තමා ගිලගන්නට බලා හිඳිනා පාහර දෙපාසතුන්ගේද වෙඩි උණ්‌ඩයට, මන්දට, උගුලට හබකට, කෙමනට, මරුවැලට එහෙමත් නැතිනම් හක්‌කපටස්‌ වැනි මාරාන්තික උගුල්වලටද මුහුණ දෙමිනි. මෙසේ පායන දවස්‌ මස්‌වැද්දන්ට ඉබ්බා දියේ දැම්මාක්‌ වැනි ප්‍රීතිමත් කාලවකවානුවකි. එහෙත්, ඛේදවාචකය නම්, දේශයේ ප්‍රෙෘඪත්වය උදෙසා අමිල මෙහෙයක්‌ ඉටුකරනා වනසතුන් පිළිබඳව බොහෝ දෙනකු කල්පනා නොකිරීමය. 

මිනිසා මෙන්ම වන සතාටද බඩගින්දර, පිපාසය, මරණය පොදුය. එවන් විටෙක ජීවත්වීම සඳහා හඬක්‌ නැගිය නොහැකි 

වනසතුන් වෙනුවෙන් කටයුතු කරන්නෝ මෙලොවදීත් එලොවදීත් දෙලොවදීම සැප ලබන්නෝ වෙති.

අද යාල, කුමන, විල්පත්තුව, වස්‌ගමුව, සෝමාවතිය, මාදුරුඔය, ගල්ඔය, ප්‍රධාන කොටගත් ප්‍රධාන අප්‍රධාන අභයභූමි සියල්ලක්‌ම පාහේ රුදුරු නියඟයේ ග්‍රහණයට නතුව පවතී. එදා දිය පිරුණු වැව්, ගංගා, ඇළ, දොළ වෙනුවට ඇත්තේ දිය සිඳී යන දිය වළවල් කිහිපයක්‌ පමණි. එදා දිය පිරුණු වැවකට, පොකුණකට අණසක පතුරුවාගෙන හිටි දිවියන්ට, වළසුන්ට අද 

තමාට කියා අභිමානයක්‌ ඉතිරිව නැත. අණසක අතහැර දමා අනුනගේ වතුර වළක්‌ සොයා නොගියහොත් ඉතිරි වන්නේ භූමදානයක්‌වත් නොමැති දුක්‌ඛදායක මරණයක්‌ම පමණි. එහෙයින් මේ දිනවල යාල -කුමන යුගල වනෝද්‍යානය ප්‍රමුඛ අභයභූමි තුළ වනසතුන් ඉබාගාතේ සරනු පෙනේ.

යාල - කුමන - විල්පත්තුව - වස්‌ගමුව වැනි අප කා අතරත් ප්‍රකට වනෝද්‍යාන තුළ තත්ත්වය ඉතා ඛේදජනකය. ඒ අතරතුර පාසල් නිවාඩුවේදී අප මෙවන් වනෝද්‍යානවල සංචාරක නිවහන් වෙන්කරවා ගනිමින්ද, සංචාරක සෆාරි ජීප් රථ යොදා ගනිමින්ද විනෝද්‍යානවල වනසතුන් දැකගැනීමට යුහුසුළු වෙමු. මෙය වර්තමානයේදී පැහැදිලිවම වනසතුන්ට සිදුකරන්නා වූ හිරිහැරයකි. සුපුරුදු පරිදි අතීතයේ පටන් යාල වනෝද්‍යානය සැප්තැම්බර් මාසයේදී වසා දැමුනේද ජල හිඟයෙන් පෙළෙන වන සතුන්ගේ අපහසුතාව සලකාය. එහෙත්, මෙවර සිදුකළ යුතුව තිබුණේ අගෝස්‌තු, සැප්තැම්බර් යන මාස දෙකක්‌වත් අඩුම තරමේ සංචාරකයන්ට යාල කුමන වනෝද්‍යාන වසා දැමීමය. ඒ, පසුගිය දෙසැම්බරයේ සිට මෙම ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම සලකාය. එහෙත්, එවැන්නක්‌ සිදු වූයේ නැත. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට වැඩිම සංචාරක ආදායම ලැබෙන්නේ අගෝස්‌තු පාසල් නිවාඩු සමයේදීය. එසේම ජීප් සෆාරි, හෝටල්, අවන්හල් යනාදී සියල්ලක්‌ දේශපාලනීකරණය වී ඇති මෙවන් මොහොතක යාලට අගෝස්‌තු මසයේදී නිවාඩු දීම ගැන රජයද, වනජීවී බලධාරීන්ද සලකා බැලුවේ නැත. එසේ වූ විට මේ දිනවල සංචාරකයන්ගෙන් යාල වනසතුන්ට විශේෂයෙන් සිදුව ඇත්තේ දරාගත නොහැකි හිරිහැරයකි. එක්‌ වතුර වළකින් තවත් වතුර වළකට යන්නට හෝ කැලෑවෙන් මතුව වතුර පොදක්‌ තොලගාන්නට අද සංචාරකයන්ගෙන්, සෆාරි ජීප් රථ වලින් වනසතුන්ට ඇත්තේ මහා බාධාකයකි.

හුස්‌මක්‌ ගන්නටවත් බැරි පොළොවේ ගිනි රස්‌නය මුහුණට දැනෙන තරමේ කාෂ්ඨකයක්‌ පවතිද්දී වන සතුන් කෙසේ නම්, මෙවන් පරිසරයක දිවි ගෙවන්නේද? අවම තරමින් දඩයමක්‌ තියා ජල පොදක ආශ්වාදයවත් උන්ට තිබිය යුතුය. සංචාරකයන්ට විවෘත යාල කලාප අංක එක කොටසට අමතරව, යාල කලාප අංක දෙක කොටස සේම, අනෙකුත් වනාන්තර බිම් තුළදී දිය පොදක්‌ සොයාගැනීම ඉතා උගහටය. අලි ඇතුන් කොටියන් වළසුන් මුවන් ගෝනුන් ඉබාගතේ දිය සොයා යනු දකින්නට ඇති අතර, වල් ඌරන්, වල්හරක්‌ ලගින්නට මඩ වගුරක්‌ නැතිව විඳින්නේ මහත් දුෂ්කරතාවකි. ඇතැම් මඩ කඩිති තුළ හිඳී ගිය වැව් පතුල තුළ වල් හරකුන්ගේ, ඌරන්ගේ මළ කුණු දකින්නට තිබේ.

මේ අතර වනසතුන්ට දිය පොදක්‌ ලබාදීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් දරන්නේ මහත් වෙහෙසකි. බවුසර් රථ මගින් දියවළවල් තුළට ජලය බෙදාහැරියත් එය සීමාකාරී, දුෂ්කර කාර්යයකි. ඒ අතරතුර ජල හිඟයෙන් පෙළෙන ජනතාවට සේම, වනසතුන් වෙනුවෙන් ජලය ලබාදීමට උත්සුක වන සුපින්වත්තුද වෙති. සෑම වසරකදීම නියං සමයේදී වනසතුන් වෙනුවන් දිය පිදීමේ පිංකම් ඔවුන් අතින් සිදුවේ. බවුසර් මගින් වළවල්වලට ජලය මුදාහැරීම, වතුර වළවල් සැකසීම, යන්ත්‍ර සූත්‍ර මගින් පොකුණු පිළියෙල කිරීම යනාදියට ඔවුහු දායක වෙති. මෙවරද එවන් පිං කටයුතු යාලදී සිදුවනු දක්‌නා ලැබිණි. 


ඒ අතරතුර මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන සතුන් දඩයමේ යෙදෙන පාපතරයෝද නැත්තේ නොවේ. ඔවුන්ට එරෙහිව වැට බැඳීම බරපතළ කාරණයකි. සුළුපටු දෙයක්‌ නොවේ. ඒ සඳහාද මුර සංචාර වැඩිකර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව කියයි. කෙසේ හෝ කලකදී අපට අසිරිය විදහා පාන යාල, කුමන වැනි වනෝද්‍යාන කලකදී සොහොන් බවට පත්වීම විටෙක දෛවයේ සරදමකි. ඊට අපට මුහුණ දීමට සිදුවේ. එහෙත්, විනාශයේ මුවවිටට පැමිණ සිටින වන සතුන්ගේ විනාශය මෙම නියඟයෙන් ඉක්‌මන් කරවනා බැවින් ඊට පිළියම් යෙදීම මනුසතාගේ වගකීමකි. යාල - කුමන වැනි වනෝද්‍යානවල අසිරිමත් බව ගැන අපට හැමදාමත් කතා කළ හැක්‌කේ එවිටය.

ජගත් කණහැරආරච්චි, ඡායාරූප : බන්දුල ගුණසිංහ, රජිත ප්‍රනාන්දු
http://www.divaina.com/2014/08/17/feature04.html

0 comments: