Pages

Tuesday, August 12, 2014

වැස්‌ස සංකේතවත් කළ සිරි දළදා පෙරහැර

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක්‌ වූ ධර්මස්‌කන්ධය ස්‌පර්ශ කළාවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි පවත්වනු ලබන අති උත්තම පූජා මංගල්‍යය ශ්‍රී දළදා පෙරහැර නම් වේ. වර්තමානයේ පැවැත්වෙන සිරිදළදා පෙරහැර කාලයක්‌ තිස්‌සේ ක්‍රමික විකාශනයන් ඔස්‌සේ වර්ණවත් වූවක්‌ ලෙස සැලකේ.

දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් දළදා වහන්සේට පුද සත්කාර පූජා පෙරහර ආදිය පැවැත්වූ බව සඳහන් වේ. ලක්‌දිවට දන්ත ධාතුන් වහන්සේ වැඩම කළ දා පටන් මෙරට රජවරුන්ද විවිධ සත්කාර කරමින් උන්වහන්සේ ආරක්‍ෂා කර ඇත. එහි ආරම්භය ලක්‌දිව කිත්සිරි මෙවන් රජ දවස එනම් ක්‍රි.ව. 310 දී බවට ඉතිහාසය නිවැරදිව සාක්‍ෂි දරයි.

මහනුවර රාජධානියේදී ප්‍රථම වරට අස්‌ගිරි ආදාහනමළුවේ පිහිටි ගෙඩිගේ විහාරස්‌ථානයේ දළදා වහන්සේ වැඩ හිඳුවා පුද පූජා සත්කාර කර ඇත. මහනුවර රාජධානියේ මුල් යුගයේදී සිවු මහා දේවාල ප්‍රධාන පෙරහැර මංගල්‍යයක්‌ පවත්වා ඇති අතර, එය දේව පෙරහැර නම් විය. පසුව උපාලි මහ තෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් දළදා වහන්සේ උදෙසා විශේෂ පෙරහැරක්‌ පැවැත්වීමට කටයුතු කර ඇත. එතෙක්‌ පැවැති ඇසල පෙරහැර ඉන්පසුව සිරි දළදා පෙරහැර නමින් නම් විය. වර්තමානයේ එය ගෞතම බුදුරජාණන් වහන්සේට කරන සම්බුද්ධ පූජාවක්‌ මෙන්ම හෙළයේ මහා කලා මංගල්‍යයක්‌ ලෙස චාරිත්‍රානුකූලව පවත්වනු ලබයි.

පුරා දින 11 ක්‌ පුරාවට පත්වන මෙම සංස්‌කෘතික පූජා මංගල්‍යය කුඹල් පෙරහැර, රන්දොලි පෙරහැර, දිය කපන පෙරහැර, දවල් පෙරහැර යනුවෙන් කොටස්‌ හතරකට පත්වන බව දැකිය හැකිය. කුඹල් පෙරහැර දේවාල සතරෙන් පිටත්ව දළදා මාලිගය ඉදිරියට පැමිණ නියමිත ගමන් මාර්ගය ඔස්‌සේ ගමන් කර රජවීදිය ඔස්‌සේ ඉහළට ගමන් කර ගෙවැදීම සිදුවේ. එම පෙරහැර දින 5 ක්‌ පුරා සිදු කෙරේ. රන්දොලි පෙරහැර ඉන් අනතුරුව දින පහක්‌ පුරා පවත්වයි. රාත්‍රි සිවු මහා දේවාලවලට රන්දොලි බහා නියමිත ගමන් මාර්ග ඔස්‌සේ ගමන් කර රජපීල්ල වීදිය දිගේ විත් ගෙවදියි. දිය කපන පෙරහැර සඳහා දන්ත ධාතු මන්දිරයේ පෙරහැර සිවු මහ පෙරහැර සමඟ ගෙඩිගේ විහාරයට ගොස්‌ සිරිත් පරිදි දළදා කරඬුව එහි තැන්පත් කොට ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගලෝත්සවය සිදු කර ආපසු මහනුවර ගණදෙවි කෝවිලෙන් බැහැරව නියමිත මාර්ගය ඔස්‌සේ ගමන් කර රජ වීදිය ඔස්‌සේ ගෙවැදීම සිදුකරයි.

මේ මහා මංගල්‍යය සිංහල, බෞද්ධ, දමිළ, හින්දු සමඟිය ලොවට කියාපාන සංස්‌කෘතික කලා මංගල්‍යයක්‌ ලෙස අපට වැදගත් වන්නේය. බුදුරදුනට මෙන්ම දෙවියන්ටද පුද පූජා පැවැත්වීම මෙමගින් සිදු කෙරේ. සිරි දළදා පෙරහැරෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ නිසි කලට වැස්‌ස ලබාගෙන රටේ සශ්‍රීකත්වයත්, සෞභාග්‍යයත් ළඟා කර ගැනීමය. ඉංග්‍රීසි පාලන සමයේ එම චාරිත්‍රය ඉටු නොකිරීම කරන කොටගෙන මෙරටට දැඩි නියඟයක්‌ පැමිණි බවටත් පසුව ඉංග්‍රීසි පාලකයන්ද පෙරහැර පැවැත්වීමට කටයුතු යෙදූ බවටත් ඉතිහාසයෙහි වාර්තා වෙයි.

පෙරහැරේ සංයුතිය හා අන්තර්ගතයද වර්ෂාවක පෙර නිමිති ලෙසින් නිමවී ඇති බවට විචාරක මතයයි. එනම් කසකරුවන් මුලින් පැමිණීමෙන් අකුණු ගැසීමත්. ගිනිබෝල කරුවන් මගින් විදුලි කෙටීමත් සංකේතවත් කරයි. ඇතා සංකේතවත් කළේ වැසි වළාකුලයි. කස වර්ෂාවේ දේව සංකල්පයයි. දිය කැපීම යනු ජලය ගලා යැමට ඇති බාධා විනාශ කිරීමයි. මෙම සමස්‌ත සංකේතානුසාරයෙන් අහසේ වර්ෂාව වෙනුවෙන් සිදුවන විපර්යාස පොළව මත අනුකරණය කිරීමකින් පෙන්නුම් කර දක්‌වන බවක්‌ පෙන්වයි. අතීතයේ සිටම පැරැන්නන් තුළ වූ විශ්වාසයන් හා වර්ෂාව හට ගැනීම පිළිබඳ තිබූ දැනුමත් සිහිපත් කරන්නා වූ සිදුවීමක්‌ ලෙසද අගය කළ හැකිය.

ඒ අනුව අද අප දකින මනරම් වූ අසිරිමත් පෙරහැර වර්ෂාව අපේක්‍ෂාවෙන් වැසි දෙවියන් පිදීමත්, සකල ලෝක වාසි බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් කරන පුද පූජාවනුත් හෙළයේ මහා සංස්‌කෘතින් එක්‌කරගත් සකල කලා මංගල්‍යයකි. මේ පුංචි දිවයිනත් කන්ද උඩරට සෙංකඩගල පුරවරයත් ලෝකය පුරාවට අභිමානයෙන් පතුරුවාලන මහා සංස්‌කෘතික මංගල්‍යය මතු පරපුරට දිවි හිමියෙන් උරුම කර දිය යුතු බව සඳහන් කරමි.

ශ්‍රී දළදා මාලිගාව විසින් පවත්වනු ලබන මෙම ඇසළ මහා මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව, මහනුවර මහ නගර සභාව, මහලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ සංවිධානද, මහනුවර තරුණ බෞද්ධ සමිතිය, මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ ඇතුළු විවිධ සංවිධානද සිංහල, මුස්‌ලිම්, හින්දු ව්‍යාපාරික සංවිධාන ඇතුලු ස්‌වේච්ඡා සංවිධාන ද ව්‍යාපාරික ප්‍රජාවද දක්‌වන අනුග්‍රහය ගෞරවයෙන් සිහිපත් කරමි.

රාජා පුෂ්පකුමාර, හිටපු නගරාධිපති හා වත්මන් නාගරික මන්ත්‍රී
http://www.divaina.com/2014/08/09/feature03.html

Pic Source

0 comments: