Pages

Wednesday, August 13, 2014

කාර්යක්ෂම ජල කලමණාකරණයක අවශ්‍යතාව

වැඩි දෙනා නොදැන සිටියාට පසුගිය කාලය තිස්‌සේම අපේ රටේ නියඟයක්‌ තිබිණ. මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වන විට ලංකාවේ බොහෝ තැන්වල තිබූ නියඟයට හය මාසයක්‌ පිරී තිබිණි. එහි තේරුම වූයේ ගිය අවුරුද්දේ නොවැම්බරයේ පටන්ගත් නියඟය මේ අවුරුද්ද දිගේ ඉදිරියට ගමන් කර තිබූ බවය. පසුගිය අප්‍රේල් මාසය වන විට කුඹුරු ගොවිතැන කොතරම් පාළු වී තිබුණිද යත් වී ටොන් දෙලක්‍ෂ අසූ දහසක්‌ හෙවත් වාර්ෂික වී අස්‌වැන්නෙන් සියයට පහක්‌ රටට අහිමි විය. හෙක්‌ටයාර් දෙලක්‍ෂයක කුඹුරුවල තිබූ ගොයම් වියළී, කරවී, පිදුරු බවට පත්විය. නිරිතදිග මෝසම අහිමිව සිටි ගොවියන් හිත හදා ගත්තේ මැයි මාසයේ පැමිණීමට නියමිත ඊසානදිග මෝසම් වර්ෂාව වත් හරිහැටි ලැබේ යෑයි කල්පනා කරමිනි. එහෙත් ඒ වැස්‌ස අගෝස්‌තු මාසයේ 17 වැනි ඉරිදා වන අදටත් නැත. වැහි වහින්නේ වී වගාවක්‌ නැති, කඩෙන් හාල් ගෙන ගිල දමන ජනගහනයක්‌ සිටින කොළඹට පමණි.

අද වන විට ශ්‍රී ලංකාවේ උතුර, උතුරු මැද සහ දකුණු පළාත් නියඟය නිසා මහත්සේ හානියට පත්ව ඇත. යාල අභය භූමිය බීමට වතුර නැතිව මියගිය වන සතුන්ගේ මළකුණුවලින් ගහන වෙමින් පවතී. අභය භූමියට යන පාර දෙපස පිහිටි ගම්මානවල එළ ගවයන්, මී ගවයන් සහ එළුවන්ගේ මළකුණු තිබේ. නියඟයෙන් පීඩාවට පත් පළාත්වල ජීවත්වන පවුල් දෙලක්‍ෂ හතළිස්‌ දහසක්‌ ගතවූ මාර්තු මාසය වන විට නෑමට, ඇඟ සේදීමට පමණක්‌ නොව බීමටද ජලය නැතිව විශාල අවුලකට පත්ව සිටියහ. මේ රටේ ශ්‍රම බලකායෙන් 32% ක්‌ ගොවිතැන හෝ එයට කෙළින්ම සම්බන්ධ රැකියාවල නිරත අය වෙති. අද පවතින නියඟය නිසා එයින් අඩකට වඩා හානියට පත්ව සිටින්නාහ.

නියඟය පවතින ප්‍රදේශවල තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය වූ පානීය ජල හිඟය විසඳීමට මුල් තැන දිය යුතුව තිබේ. දැනට එම පෙදෙස්‌වල සිටින පිපාසිත ජනයාට බවුසර් මගින් සහ වතුර බෝතල් බෙදීම මගින් පානීය ජලය සපයනු ලැබේ. එහෙත් වතුර යනු බීමට පමණක්‌ නොව තවත් බොහෝ කාරණාවලට අවශ්‍ය දෙයකි. මෙයට වසර දහස්‌ ගණනකට පෙර සතුන් මරාගෙන පුළුස්‌සා කමින් ගල්ගුහාවල හෙළුවැල්ලෙන් ජීවත් වූ කාලයේදී මනුෂ්‍යයාට ජලය අවශ්‍ය වූයේ බීමට පමණි. එහෙත් ශිෂ්ටාචාරයේ ගමන් මග දිගේ ඉදිරියට යැමට පටන් ගත් විට හේ නාන්නට පටන් ගත්තේය. උදේට මුහුණ සෝදන්නට පටන් ගත්තේය. ලංකාව වැනි රටවල ජනයාට මුහුණ නොසේදුවත් ශරීර කෘත්‍යයෙන් පසු පස්‌ස සේදීම අත්‍යවශ්‍යය. නියඟය නිසා බොන්නටවත් වතුර නැතිව සිටින ජනයා මේ කටයුතු කරගන්නේ කොහොමද?

නියඟයට පමණක්‌ ජලය සපයන වතුර බෝතල් ක්‍රමවේදයෙන් බැහැරට ගොස්‌ භූගත ජලය ජනයාට ඇද දීමේ ක්‍රියාවලියකට යැමට රජයට බැරිද? නළ ළිඳ මෙයට තිබෙන හොඳම පිළියමක්‌ බව අපි හඟිමු. ඊශ්‍රායලය සහ මධ්‍යධරණී රටවල් වර්ෂාපතනය ඉතා අඩු භූමි භාගයක්‌ වුවද ලොව හොඳම වගා බිම් බවට පත්ව ඇත්තේ නළ ළිං ක්‍රමවේදය නිසාය. කට්‌ට කාන්තාරයක කොටසක්‌ වූ ඊශ්‍රායලය තම රටට අවශ්‍ය එළවළු සහ පලතුරු සියල්ල වගා කරගෙන ඉන් නොනැවතී ඒවා පිටරටත් පටවයි. ඔවුන් ඒ සියල්ල කරගන්නේ නවීන තාක්‍ෂණය සහ පිටතට ඇදගත් භූගත ජලයෙනි. අපත් එතැනට යා යුතුමය. නැතහොත් වතුර බෝතල් පැලැස්‌තරය මත යෑපීමට නියඟයෙන් විපතට පත් අපේ සහෝදර ජනයාට හැම විටම සිදු වන්නේය. 

http://www.divaina.com/2014/08/10/editorial.html

Pic Source

1 comments:

ඉසිවරයා said...

ජල ගැටළූව විසදීමට ක්‍රම රාශියක් තියෙනවා. ඒ සදහා භූගත ජලය භාවිතා කරන්න පුළුවං වගේම ජල අතිරික්ත පවතින ප්‍රදේශ වලින් නල මගින් ජලය ගෙනෙන ජල යෝජනාක්‍රම දියත් කරන්න පුළුවං. ඒ වගේම වර්ෂාව පවතින කාලයට ජලය ගබඩා කරන්නත් පුළුවං. මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා.