Pages

Thursday, July 17, 2014

දකුණේ දිරිය මිනිසා දාස මුදලාලිගේ කතාව

ලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, සපත්තු රණවන, පී. ජී. මාටින් පරපුරේ තවත් පතාකයකු මේ සතියේ අභාවප්‍රාප්ත විය.

ඒ ඩියුරෝ නාමයේ අයිතිකරුය. වෙනත් නමකින් කිවහොත් දාස මුදලාලිය.

60-70 දශකයේ දාස මුදලාලි යෑයි කී සැණින් මුළු ලංකාවම දැන හැඳිනගෙන සිටි දාස මුදලාලි එක්‌ යුගයක ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මරණය අමතක කළ නොහැකි මරණයක්‌ වන්නේ එබැවිනි.

හඳට ගියොත් හඳෙත් කිරි පැණි කඩයක්‌ තිබේ යෑයි එය මාතර මුදලාලි කෙනෙකුගේ යෑයිද කතාවක්‌ තිබේ. එයින් අදහස්‌ වන්නේ මාතර මිනිස්‌සු ශූර ව්‍යාපාරිකයන් බවය.

දකුණෙන් බිහිවූ මැලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, පී. ජී. මාටින් වැනි ව්‍යාපාරික යෝධ පුරුක්‌ අතරට මාතර තලල්ලේ උපන් දාස මුදලාලිත් එක්‌ වන්නේ ඒ අයුරිනි.

ගුණදාස උපන්නේ තලල්ල ගමේ සාමාන්‍ය පවුලකය. පවුලේ සාමාන්‍ය බව කිවහොත් ඔහුගේ මව පවුලේ යෑපුමට කොහු ලණු ඇඹරූ බවද කියයි. පියා ගොවියෙකි.

ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනක්‌ද එක්‌ සහෝදරියක්‌ද විය. තරුණ විය ලබන්නටත් පෙරම ඒ සහෝදරයෝ කොළඹට පැමිණ සිටියහ.

අවුරුදු පහ ලබන විට දාස ළමයා කොළඹ සිටින අයියලා සොයා ආවේ ගමේ ඉඳල නං මිනිහෙක්‌ වෙන්න බෑ යන මතයේ එල්බ ගනිමිනි. අයියලා සිටියේ මරදානේය. මරදානේ බිස්‌නස්‌ කරමිනි. බිස්‌නස්‌ කීවාට විශාල ව්‍යාපාර නොවේ. කුඩා කඩ කාමරවල සුළු සුළු දැ විකුණමිනි.

වැඩිමහල් ඩැනී සහෝදරයා, කල්පනා කළේ තවමත් පස්‌ හැවිරිදි වූ මේ බාලයාට අකුරු ඉගැන්වීමටය. ඩැනී සහෝදරයා දාස ළමයා දැම්මේ මරදානේ සෙන්ට්‍රල් එකටය.

දාස ළමයා ඉගෙනීමෙහි දක්‍ෂයකු විය. නමුත් දඟකාරයකු විය. පාසලේ එක්‌ ගුරුවරයකු සුරුට්‌ටු බොන්නෙකි. ඔහු නිතර ගිනි පෙට්‌ටිය මේසය මත තබාගෙන සිටී. දවසක්‌ කුඩා දාස ගෙඹි පැටියකු අල්ලා ගුරුතුමාගේ ගිනි පෙට්‌ටියට ඇතුළු කළේය.

දඟකාරයා අසුවිණි. ගුරුවරයා දාස අල්ලා ගැනීමට පැන්නේය. දාස පන්තියෙන් පැන්නේය. ඒ ඔහුගේ පාසල් ගමනේ අවසානයයි.

එමෙන්ම ඔහුගේ ජීවන ගමන්මග කුමක්‌දැයි දෛවය සනිටුහන් කළ කඩඉමද එයයි.

පාසලෙන් පැන්න දාස ළමයා අයියලා යන අඩිපාරේම යන්නට ඉටා ගත්තේය. හේ වෙළෙඳාමට බැස්‌සේය.

ඒ වෙළෙඳාම එකල පදික වේදිකා වෙළෙඳාමේ කුඩාම වෙළෙඳාම විය. ඒ කපුරු බෝල විකිණීමයි. දරුවා කුඩා බැවින් ගැනුම්කරුවන්ගේ අනුකම්පාවද ඔහු වෙත යොමු විණි. කුඩා දාසගේ කපුරු බෝල වෙළඳාම සරු විය.

අනතුරුව හේ කපුරු බෝල වෙළෙඳාමට තවත් වෙළෙඳාමක්‌ එකතු කළේය. ඒ ලේන්සු වෙළෙඳාමයි. ඔහු මරදාන පදික වේදිකාව දිගේ එහාටත් මෙහාටත් ඇවිද්දේ එක්‌ අතක කපුරු බෝලත් අනිත් අතෙහි ගැහැනු පිරිමි ලේන්සුත් එල්ලා ගෙනය.

අප මතක තබාගත යුතු දෙයක්‌ තිබේ. ඒ කුඩා දාස ළමයා මෙසේ ඇවිදින්නේ අද මෙන් දියුණු මරදානේ නොවන බවය. එකල අද මෙන් නිරන්තරව දිවෙන යාන වාහන නොවීය. මේසා කඩ සාප්පු තොගයක්‌ද නොවීය.

කුඩා දාස ළමයාගේ වටිනා පුරුද්දක්‌ තිබිණි. ඒ දවසේ වියදම සහ ආදායම අකුරටම කුඩා නෝට්‌ පොතක පැන්සලකින් ලියා තැබීමය. එමෙන්ම මුදල් සුරක්‍ෂිතව තබා ගැනීමය.

වෙළෙඳාම මරදානට පමණක්‌ සීමා කර ගැනීමෙන් වැඩිපුර උපයා ගත නොහැකි බැව් තේරුම් ගත් දාස අත්කරත්තයක්‌ මිලට ගත්තේය. අත් කරත්තයත් සමග දාසගේ වෙළෙඳාම දියුණු වන්නට විය.

ඒ අත් කරත්තයේ තිබුණේ ලේන්සු කපුරුබෝල පමණක්‌ නොවේ. අරුමෝසම් බඩු සෙල්ලම් බඩු ආදියෙන්ද අත් කරත්තය පිරී තිබිණි. කුඩා දාස බොරැල්ල දෙමටගොඩ වනාතමුල්ල රාජගිරිය හැම පාරකම අත්කරත්තය තල්ලුකර ගෙන ගියේය. ගිනි අව්වේ සෙරෙප්පු නොලද දෙපයින් ඔහු ඇවිද්දේය. මෙසේ යන එන අතුරතුර පාර අයිනේ පීරිසි කෝප්ප රාශියක්‌ විකිණීමට තබා තිබෙනු ඔහුට දක්‌නට ලැබිණි.

සියල්ලටම ගාන කීයදැයි ඔහු අයිතිකරුගෙන් ඇසුවේය. අයිතිකරු කීවේ ඉහළ ගණනකි. අත්කරත්ත වෙළෙන්දකු වුවද දාස සෑහෙන මුදලක්‌ ඉතිරි කර ගෙන සිටියේය. මඳක්‌ කල්පනා කළ දාස තමා ළඟ තිබූ මුළු මුදලම වැය කොට පීරිසි කෝප්ප ''සේල් එකම'' මිලට ගත්තේය. අනතුරුව ඔහු කපුරු බෝල ලේන්සු සෙල්ලම් බඩු අත්හැර දමා පීරිසි කෝප්ප වෙළෙඳාමේ යෙදෙමින් ගෙයින් ගෙට ගමන් කරන්නට විය.

ඒ වෙළෙඳාම සරු සාර එකක්‌ විය. ගත් ගානට වඩා ලොකු මුදලක්‌ ඔහු ළඟ එකතු වන්නට විය.

නමුත් වැඩිමහල් සහෝදරයන්ගෙන් ඔහුට සහයෝගයක්‌ ලැබුණේ නැත.

''ඉස්‌කෝලෙකට දැම්ම ඉගෙන ගත්තෙ නෑ. නාහෙට නාහන මෝඩයෙක්‌. උඹට දියුණු වෙන්න නම් බෑ.''

සහෝදරයන්ගෙන් ලැබුණේ එවැනි රිදවුම්ය.

''නෑ මම කොහොම හරි මිනිහෙක්‌ වෙනවා.''

අයියාගේ කඩ කෑල්ලේ පැදුරක නිදා ගන්නා අතරේ දාස ඉටා ගත්තේය.

ඔහුගේ සාර්ථකම බිස්‌නස්‌ එක වූයේ පීරිසි කූට්‌ටම් බිස්‌නස්‌ එකය. එයින් ලැබුණු ලාභයෙන් ඔහු බොරැල්ලේ කඩ කාමර දෙකක්‌ කුලියට ගත්තේය. හාල්, පොල්, දෙල් එළවළු, දත් බෙහෙත් සිසිල් බීම ඒ කඩ කාමර දෙකේම තිබිණි. උණක්‌ හැදුණත් ඔහු කඩේ වැසුවේ නැත. උණ පිටින්ම වෙළෙඳාම් කළේය.

ඒ වෙළෙඳාම් කෙතරම් සරු වීද යත්, ටැක්‌සියක්‌ මිලට ගත්තේය. රථ වාහන ඉතා අඩු ඒ කාලයේ ටැක්‌සිය හොඳ ආදායම් මාර්ගයක්‌ විය. ඒ අයුරින් බොරැල්ල හන්දියට ටැක්‌සි හතක්‌ දමන්නට තරම් ඔහු පොහොසතකු වී සිටියේය.

මේ කියන කාලය 1958 පමණ වන කාලයයි.

දාස සිටියේ කසාද බැඳිය යුතු තරුණ වයසේය. කොළඹ කොතෙකුත් තරුණියන් සිටියද කසාද බඳින්නට සුදුසු යුවතියක්‌ සොයන්නට ඔහු ගියේ ගමටය. තලල්ලටය. තරමක පවුලකට ඔහු යෝජනාවක්‌ යෑවීය. එහෙත් ඒ ගෙදරින් මේ තරුණයාට කැමති වූයේ නැත. හේතුව ඔහුගේ නිවස කටු මැටි ගෑ එකක්‌ වීමය. තරුණියගේ නිවස සුදුහුණු පිරියම් කළ එකකි. එහෙත් කේන්දර බැලූ දෛවඥයා තරුණියගේ මවුපියන්ට කීවේ තරුණයාගේ හඳහන බලසම්පන්න වාසනාවන්ත එකක්‌ බවත් එබැවින් බය නැතිව විවාහ කරන ලෙසත්ය.

කසාදය සිදු වූයේ ඒ අන්දමටය. මනාලයා කොළඹ ජැන්ඩි පහට ඉන්නා කෙනෙක්‌ බව මනාලිය දැන ගත්තේ කොළඹට ආ පසුය.

කමිස මසා විකිණීමේ සිතුවිල්ල තරුණ දාසට පහළ වූයේ විවාහයෙන් පසුවය. කමිස මහන්නට ඔහු දෙමටගොඩ පරණ පාරෙන් ගෙයක්‌ කුලියට ගත්තේය.

කමිස මසන්නට ටේලර් ගෙන්වා ගත්තේද ගමෙනි. කමිස කැපුවේ බිම එලාගෙන අත් කතුරෙනි. රෙදි වර්ග ගැන ඉවක්‌ මෙන්ම පුදුමාකාර දැනුමක්‌ ඔහුට තිබිණි. රෙදි කැබැල්ලක්‌ අත ගා බලා එහි නූල් ගනකම අනුව එහි මිල ගනනය කරන්නට තරම් තාක්‌ෂණික දැනුමක්‌ ඔහුට එකල තිබිණි.

අවුරුදු දෙකක්‌ තිස්‌සේ ම ඔහු කමිස මැසුවේය. එහෙත් කුලි ගෙදරකය.

1969 වනවිට රජයේ කර්මාන්ත ඇමැති පිලිප් ගූණවර්ධන මහතාය. දාස පිලිප් ඇමැතිවරයා ළඟට ගොස්‌ ඇඳුම් මැසීමේ කර්මාන්ත ශාලාවක්‌ පටන් ගැනීමට අවසර ඉල්ලීය.

නියම දාස සමූහ ව්‍යාපාරය බිහිවන්නේ එතැන් සිටය. පිලිප්ගෙන් අවසරය ලැබිණි. රෙදි වර්ග දෙකක්‌ ඔහු ලංකාව තුළ නිෂ්පාදනය කළේය. පිටරටින් ගෙන්වන රෙදිවලට වඩා ඒවා මිලෙන් අඩුවිය. රෙදි පිළි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිහිප දෙනා අතර දාස නමැති ව්‍යාපාරිකයා ඉහළම තැනකට පත්වන්නේ සෙසු තරගකරුවන් අබිබවමිනි.

නවසිය හැත්තෑවේ බලයට පත් වන්නේ බණ්‌ඩාරනායක මැතිනියයි. දාස මුදලාලි තුළ බණ්‌ඩාරනායක මැතිනියට තිබුණේ ඉතාම භක්‌තිවන්ත ගෞරවයකි. ඔහු ඉහළින්ම සැලකූ නායිකාව මැතිනියයි. කිසිදාක යූ. එන්. පී. කාරයකු නොවූ දාස මුදලාලි ශ්‍රී ලංකාකාරයකු වූයේ සිරිමා මැතිනිය නිසාය. මැතිනියද පෙරළා ඊට කළ ගුණ දැක්‌වූවාය.

70-77 සිරිමා රජය කාලය පිටරටින් භාණ්‌ඩ ගෙන්වීමේදී දැඩි නීති තිබූ යුගයකි. විශේෂයෙන් රෙදි පිළි විදේශ රටවලින් ගෙන්වීම සීමා කර තිබිණි. ඉහළට යා හැකි නම් දේශීය නිෂ්පාදකයාට ඉහළට යැමේ අවස්‌ථාව සිරිමා රජය කාලයේ තිබිණි. ඉන් ඉහළම ප්‍රයෝජන ගත්තේ දාස මුදලාලිය.

දාස මුදලාලිගේ දීප්තිමත්ම යුගය උදාවී තිබිණි. එකල දාස සමූහ ව්‍යාපාරය ඉදිරිපත් කරන පිබිදෙන ගායක පුරපුර නම් ගුවන් විදුලි වැඩසටහනක්‌ තිබුණේ බොහෝ දෙනකුට මතක ඇත. එඩ්වඩ් ජයකොඩි, ප්‍රිය සූරියසේන වැනි ගායකයන් බිහිවූයේද පිබිදෙන ගායක පරපුර හරහාය.

ඩියුරෝ සින්තටික්‌ සාරි, ඩියුරෝ කමීස, ඩියුරෝ මදුරුදැල්, මේස්‌ බැනියම්, යට ඇඳුම් උණුවතුර බෝතල් ආදී වශයෙන් එක දිගට නම් වැලක්‌ එකල දාස නිෂ්පාදන වශයෙන් එම වැඩසටහනින් අපට ඇසිණි. ඒ දාස මුදලාලිගේ සශ්‍රීකවත් කාලයේ හඬයි.

ඔහුගේ කර්මාන්ත ශාලාවල වැඩට ගත්තේ තලල්ල ගමේ තරුණ තරුණියන්ය. ඔහුගේ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‌ෂවරු වූයේ ඔහුගේ සහෝදරයන්ගේ දූ දරුවන්ය. අදටත් බොරැල්ල මංසන්දියේ යෝධ ටැඹක්‌ සේ උසට උසේ පෙනී සිටින දාස ගොඩනැඟිල්ල ඔහුගේ සැලසුමකි. 1975 වන විට ඔහුගේ සේවක සංඛ්‍යාව පන්දහසකි.

මේ දකුණේ මිනිසා දකුණට බෙහෙවින් ආදරය කළේය. ලණු ඇඹරූ අම්මා සිහි කරමින් තලල්ලේ ගැහැනුන්ට ලණු අඹරන්නට මැෂිං ගෙන ගොස්‌ දුන්නේය. තලල්ලට ඉස්‌පිරිතාලයක්‌, පන්සලක්‌ ළමා උද්‍යානයක්‌ සාදා දුන්නේ ඔහුය.

එහෙත් මේ උත්සාහවන්ත මිනිසාගේ ධෛර්යය සශ්‍රීක බව බිඳ වැටෙන යුගයද ඒ සමගම උදා විය. ඒ 1977 යූ. එන්. පී. ආණ්‌ඩුව බලයට පත්වීමත් සමගය.

77 යූ. එන්. පී. රජයේ මුදල් ඇමතිවරයා අය වැය කතාව කරමින් කීවේ දාසලා සමතලා කළ යුතු බවයි. එය එපරිද්දෙන්ම සිදුවිය. පක්‍ෂයක්‌ බලයට පත් වූ විට අනිත් පක්‍ෂයෙන් පලිගැනීමේ සිරිත මෙහිදී ක්‍රියාත්මක විය.

දාස මුදලාලිට බැංකු ණය දීම ප්‍රතික්‍ෂේප විණි. බැංකු අයිරාදීම නැවතිණි. ඔහුගේ දේපළ වතුපිටි අනිසි ලෙස රජයට පවරා ගැනිණි. ඔහුගේ ව්‍යාපාර තවදුරටත් කරගෙනයා නොහැකි තැනට බාධා එල්ල වන්නට විය. දාස ගොඩනැඟිලි පාළුවට යන්නට පටන් ගත්තේ එතැන් සිටය. හේතුව ඔහු සිරිමා බණ්‌ඩාරනායකගේ මිනිහකු වීම වන්නට පුළුවන.


අද දාස මුදලාලිට වඩා ප්‍රකෝටිපතියෝ මේ රටේ සිටිති. එහෙත් ඒ ප්‍රකෝටිපතියෝ පේව්මන්ට්‌ එකේ දුක්‌විඳ පොහොසත් වූවෝ නොවෙති. ඔවුහු කෝටිපතියන්වී සිටින්නේ දේශපාලකයන් උදව් කිරීමෙන් බැංකු වලින් කෝටි ගණන් ණය ලබාගැනීමෙනි. එය යුගය වෙනස්‌වන විට යුගයට සරිලන අන්දමට වෙනස්‌ වීමට නුවණ ඇත්තවුන්ගේ බිස්‌නස්‌ ක්‍රමය විය හැක.

එහෙත් දාස මුදලාලි පටන් ගත්තේ පහළම තැනිනි. එහෙයින් ඔහු කෝටිපතියා වීමේ කතන්දරය ගොඩනැගෙන්නේ ගලින්ගල ගඩොලිනි. එබැවින් ඔහුගේ කතාන්දරය රසවත් එකක්‌ වන්නේ දුක්‌විඳීමෙහිත් උත්සාහයේත් එකතුවක සැබෑ කතාන්දරයක්‌ වන හෙයිනි. දාස මුදලාලි වෙනුවෙන් දිගු සටහනක්‌ තබන්නට සිදුවුණේද එබැවිනි.

මෙම ලිපියට කරුණු සැපයීමේදී නීතිඥ ඩෙරික්‌ සමරසේකර මහතා දැක්‌වූ සහයෝගය අගය කොට සලකමු.

චන්ද්‍රසිරි දොඩංගොඩ, ඡායාරූප පිටපත් කිරීම - ගාමිණි මුණසිංහ - කමල් බෝගොඩ
http://www.divaina.com/2014/07/13/feature01.html

4 comments:

sAm (සෑම්) said...

දළුගම දාස බිල්ඩින් එකත් ඔහුගේ නේද? දැන් ඔහේ තියෙනවා මගෙ හිතේ...

ඉස්සර මිනිස්සුන්ට පොඩි තැන ඉදලම උඩට එන්න අවස්ථාව තිබ්බා. දැන් කාලෙ නම් අතේ මිටේ කීයක් හරි නැතුව ගොඩ එන්න බැරි සීන් එකක් තියෙන්නෙ..

Nimo (නිමෝ) said...

අතේ මිටේ මොක තිබ්බත් වැඩක් නෑ.. පගාව දෙන්න දන්නේ නැත්තන්...! හැක්...!

අටම්පහුර said...

අනේ ඔව්වාගැනනං කතා කරන්න බැ බං දුකයි

දෙනෙත් හරින්න ! said...

@sAm | ඔව්! දළුගම තියෙන දැවැන්ත ගොඩනැඟිල්ල වගේම බොරැල්ල නගර මධ්‍යයේ තියෙම විශාල ගොඩනැඟිල්ලත් දාස ව්‍යාපාරයට අයිතිව තිබුනා. දැන් නම් කටහරි විකුණලාද දන්නෙ නැහැ!

@Nimo & Atampahura | :( කතා කරල වැඩැක් නැහැ සොයුරනේ!