Pages

Monday, July 7, 2014

මේ සිංහල බෞද්ධ රටක්‌. මේ රටේ ආධ්‍යාත්මික ප්‍රකාශනය දළදා වහන්සෙ ඉස්‌සරහ ජෝගි දාන්න... හුහ්!

ආණ්‌ඩුවත්, සිංහල බෞද්ධ සදාචාරය මත පිහිටා ආණ්‌ඩුව රැගෙන යන ගෞරවනීය පාලනයත් විනාශ කිරීමට මේ රටේ ජාති භ්‍රෂ්ඨයින් පිරිසක්‌ සැලසුම් කළ කුමන්ත්‍රණයක්‌ පසුගියදා අතේ පත්තු වුණේය. මේ කුමන්ත්‍රණය පසුපස ජාත්‍යන්තර බලවේගද තිබුණේය. අප අද කින්නට යන්නේ ඇෙ`ග් මවිල් කෙලින් හිටිනා තරම් බිහිසුණු ඒ කතාවය.

මහනුවර නැවත සොයාගැනීම

මේ කතාව කියන්නට කලින් අප අපේ හදවත් වලට එක`ගව ඇත්ත පිළිගත යුතුය. අපේ රටේ මහනුවර කියා නගරයක්‌ තිබෙන බව රටේ මිනිස්‌සුවත් දන්නේ නැත. මහනුවර දළදා මාළිගාව තිබෙන බව තබා දළදාවහන්සේ නමක්‌ ලංකාවේ වැඩඉන්නා බවක්‌ දන්නේත් රටේ එහෙමටත් කෙනෙක්‌ය. කෑගල්ලේ මාවනැල්ලේ ඇත්තන් පවා ඔය කියන මහනුවරට ගොස්‌ නැත. ලෝක උරුමයක්‌ බව කීවත් ලෝකයේ කිසි කෙනෙක්‌ නොදන්නා මහනුවර නගරය යළි සොයාගැනීමේ වගකීමත් එය ලෝකයට හ`දුන්වා දීමේ වගකීමත් රටට තිබුණේය. හරියටම කොලොම්බස්‌ ඇමරිකාව සොයා ගත්තා වගේය. 

ඒ මහා සොයාගැනීම ලෝකයට ප්‍රකාශ කළ යුතු විය. ඊට අමතරව රෑට පාළුවට යන නුවර නගරයේ වීථී වලින් ඵලදායී ආර්ථීක ප්‍රතිලාභයක්‌ ලබා ගැනීමත්, කොළඹ හෝ නුවර ලෙස වෙනසක්‌ නොකර රටම ෆන් එකේ තැබීමත් ඇතුළු උත්තුංග පරමාර්ථ පෙරදැරිව පසුගියදා මහනුවර නගරයේ නයිට්‌ කාර් රේස්‌ එකක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය වුණේය. මේ සැණකෙළිය සංවිධානය වූයේ ජාතික පරමාර්ථ සහිතවය. එමෙන්ම මේ තීරණය ගනු ලැබුවේ මෙවැනි තරගාවලියක්‌ පැවැත්වීමට සුදුසුම තැන් මොනවාද යන්න ගැන පුළුල්a සොයා බැලීමකින් අනතුරුවය. 

ඇත්ත වශයෙන්ම කියනවානම් මෙවැනි උත්සවයක්‌ තියන්නට මේ රටේ තැනක්‌ තිබුණේ නැත. හම්බන්තොට ගත්තොත් මත්තල පැත්ත කාර් රේස්‌ වලට උචිත නැත. මත්තල ගුවන්තොටුපලේ ගුවන් පථයේ ඉඩකඩ මදි නිසා දැන් මහපාරේත් ප්ලේන් බාන්නේය. හම්බන්තොට වරාය පරිශ්‍රය කිට්‌ටු වෙන්නත් බැරි තරම්ය. එපමණටම මෙහෙයුම් කටයුතු සිදුවන්නේය. සූරියවැව ක්‍රීඩාංගනය තව අවුරුදු විසි පහක්‌ යනතුරු තරග ස`දහා බුක්‌ වෙලාය. රේස්‌ එක ස`දහා මහනුවර තෝරාගත්තේ ඉන් පසුවය. මහනුවර සංචාරකයන්ට හ`දුන්වාදීමත් ඒ හරහාම කරන්නට සැලසුම් වී තිබුණේය.

මේ සැණකෙළිය රට වෙනුවෙන් පැවැත්වීමට යාමේදී සංවිධායකවරු බොහෝ අපහසුවට පත්වූහ. වැලිකොට්‌ටා ගසා පේව්මන්ට්‌ අහුරා මහනුවර ජීවත්වෙන මිනිස්‌සු අපහසුතාවයට පත් කරන්නට මේ උදවිය කටයුතු කළේ නැත. නුවර අවට ට්‍රැෆsක්‌ එකක්‌ කියා නාමයක්‌ තිබුණේ නැත. මහනුවර අලුතින් සොයාගන්නට යන මේ ගමනේදී නුවර මිනිසුන් කිසිම කෙනෙක්‌ නුවර කාර් රේස්‌ එකක්‌ තියන වගවත් දැනගෙන හිටියේ නැත. මේ අතර මිනිසුන් වෙනුවෙන් කෙරෙන මේ ගාම්භීර කටයුත්ත සංවිධානය කිරීමේදී තවත් ප්‍රායෝගික ගැටලු ගණනාවක්‌ මතුවූයේය. මහනුවර නගරයේ වීථී පටු විය. ක`දු පල්ලම් ගහණ විය. ධාවන පථය කිලෝ මීටර එකයි දශම ගණනක්‌ විය. එබැවින් තරගකරුවෙක්‌ ඉස්‌සර කිරීමට හෝන් ගසමින් පිටිපස්‌සෙන් යන්නට රේස්‌කරුවන්ට සිදුවන බව කියෑවුණේය. තවද නයිට්‌ රේස්‌වල ආතල් එක වූ ලැම්බෝගිනි ධාවනය නොකරන්නට සංවිධායකවරු තීරණය කර තිබුණහ. සංවිධායකයන් මහනුවර නයිට්‌ රේස්‌එක ඉසව් 16කට ලඝූ කර සංවිධානය කරන්නේ එවැනි දුක්‌ කම්කටොළු බාධක වි`ද දරාගෙනය. 

වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටීම

මේ රටේ මොන යහපත් වැඩක්‌ කරන්නට ගියත් කොස්‌සක්‌ හිටින්නේය. දළදා මාලිගාව අමතක කර පොඩි අඩියක්‌ ගසා සූර්වීම අමුතුම ආකාරයේ ආශ්වාදනීය අත්දැකීමකි. නුවර උදවියට ඒ ආකාරයේ සැපක්‌ ගන්නට අවස්‌ථාවක්‌ සැලසෙන ගමන්ම, සො`දුරු ලියන්ගේ මනරම් දැකුම් දකින ගමන්ම, ජාතික ආර්ථීකය අභිවෘද්ධියට නැංවීම ස`දහාත්, සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම ස`දහාත් කාටවත් කරදරයක්‌ නැතිව සංවිධානය වුණ අහිංසක කාර් රේස්‌ එකට අවසාන මොහොතේ කඩාකප්පල්කාරීන් පිරිසක්‌ විරුද්ධ වූහ. මහනුවර සුරැකීමේ සංවිධානය නම් වූ මේ සංවිධානයේ ප්‍රධානියා වූයේ නිමල් ප්‍රේමවංශ නැමැත්තෙකි. හෙතෙම ෙත්‍රෙනිකායික මහා නායක හාමුදුරුවරුන්ද එකතු කරගෙන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි එදිරිවාදිකම් කරන්නට වූයේය. ජාතික ආර්ථීකය නංවා රටේ සංවර්ධනය නැන්වීම වෙනුවෙන් අවංක හිතින් නුවර නයිට්‌ රේස්‌ සංවිධානය කළ උදවියට සිදුවූයේ වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටීමය.

ෙත්‍රෙනිකායික මහා නායක හාමුදුරුවරු 

මහා නායක හාමුදුරුවන් වහන්සේලා මහනුවර කාර් රේස්‌ තියනවාට එරෙහිව සිය විරෝධතාවය පළ කළේ මේ අතරය. අස්‌ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම බුද්ධරක්‌ත නාහිමියෝද, මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් වෙනුවට නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණෝද, රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ ප්‍රේමසිරි හිමිපාණෝද, අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණිස්‌සර නාහිමිපාණෝද ඊට විරුද්ධ වූහ. උන්වහන්සේලා ලිත සංදේශයක්‌ ගරු ජනාධිපතිතුමා වෙත යොමු කළෝය. මහනුවර දළදා වහන්සේ වැඩ සිටින බවත්, එය සියවස්‌ ගණනාවක්‌ පැරණි ලෝක උරුම සංස්‌කෘතික නගරයක්‌ බවත්, දළදා පෙරහර වීථී සංචාරය කරන භූමිය මෙවන් සැණකෙළියක්‌ කරන්නට නොහැකි බවත්, තමන් වහන්සේලාත් වැඩ හිඳින මහනුවර නගරය තුළ මේ නයිට්‌ රේස්‌ සැණකෙළිය නොපත්වන ලෙසත් උන්වහන්සේලා ජනාධිපති තුමාගෙන් ලිතව ඉල්ලා සිටියෝය.

මේ ලිපියත් සමග රජය බරපතළ ලෙස කම්පනය විය. ලිත ඉල්ලීමක්‌ කර ඇත්තේ මහා නායක හිමිවරුන්ය. ඒ වනතුරු මේ නයිට්‌ රේස්‌ එක ගැන ආණ්‌ඩුව දැනගෙන සිටියේ නැත. මිනිස්‌සුන්ට අමතක වීම මානුෂික ස්‌වභාවයක්‌ය. ඇත්තටම ආණ්‌ඩුවට දළදා වහන්සේ මහනුවර සිටින බවත් මේ වීථී වල දළදා පෙරහැර කරන බවත් අමතකව තිබුණේය. මහානායක හිමිවරු නුවර වැඩසිටින බව මේ අසරණයින් දැනගෙන සිටියේ නැත. මේ සිදුවීමෙන් ආණ්‌ඩුව තැති ගත්තේය. වහාම නයිට්‌ රේස්‌ නවැත්වීමට රජයෙන් නියෝග ලැබුණේය. 

මේ වනවිට බොදුබල සේනාවටත් සිද්ධිය ආරංචි වී තිබුණි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉන් කොපමණ කම්පනට පත්වූවාද යත් භූමිතෙල් බූලියකුත් ගෙන මගතොට යන උදවියගෙන් පාර අසන් පාරේ බස්‌ එකේ නැගී නුවරට පැමිණ සිටියහ. 

"නුවර දළදා වහන්සේ වැඩ සිටිනා දළදා මාලිගාව වටේ නයිට්‌ රේස්‌ තිබ්බොත් මම මෙතන ගිනි තියාගන්නවා." උන්වහන්සේ සිංහ නාද කළහ. ඒ නාදය අකනිටා බ්‍රහ්ම ලෝකය තෙක්‌ ගලාගොස්‌ බඹ ලොවත් කැළඹුණේය. මුන්වහන්සේ ගිනිතියා ගත්තොත් ලෝකයට සිදුවන අනර්ථය ගැන ඇමරිකාවේ රාජ්‍ය බුද්ධි අංශය පවා කතා කරන්නට වූහ. ජාතියට වියහැකි අවනඩුව ගැන රටම කැළඹීමට පත්විය.

මේ සියල්ල අතර අන්ත අසරණ වී සිටියේ තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන පාර්ශවකරුවෙක්‌ වූ ජාලිය ජයසේකර මහතාය. මේ වනවිට මෝටර් රථ තරගාවලිය සංවිධානය කිරීමට සෑහෙන මුදලක්‌ වියදම් වී තිබිණි. බැරිම තැන එතුමා ආණ්‌ඩුවේ බලධාරීන් හමුවුණේය. හමුවී මේ වරට පමණක්‌ මෝටර් රථ රැළිය මහනුවර පැවැත්වීමට අවසර පැතීය.

මේ අවසර ඉල්ලීමත් සමග ආණ්‌ඩුවේ සියලුම ප්‍රධානීහු දණ්‌ඩෙන් පහර ලද සර්පයින් සේ කුපිත වූහ. ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගොස්‌ තිබිණි. -"අයිසෙ ජාලිය... මේ සිංහල බෞද්ධ රටක්‌. මේ රටේ ආධ්‍යාත්මික ප්‍රකාශනය තමයි දළදා වහන්සේ. දළදා වහන්සෙ ඉස්‌සරහ ජෝගි දාන්න අපිටත් හොරෙන් ප්ලෑන් කරලා අපිවත් අපාගත කරන්නද මේ හදන්නෙ. දැනගන්නවා... දළදා මාලිගාව කියන්නේ ලෝක බෞද්ධයන්ගෙ මුදුන් මල්කඩ. ඒ අහලකවත් මෙහෙම විකාර කරන්න දෙන්න ආණ්‌ඩුවක්‌ විදිහට අපට පුළුවන් කමක්‌ නෑ. මොකද අපේ බෞද්ධකම අමතක කළත් අපි ව්‍යවස්‌ථාවෙන්ම බැඳිලා ඉන්නවා සම්බුද්ධ ශාසනයේ චිරස්‌තිථීය සලස්‌වන්ඩ. එහෙම තියෙද්දි මේ නල්ලමලේ නයිට්‌රේස්‌ ගැන රෙද්දක්‌ ඇ`දන් රටට කතා කරන්න පුළුවන්ද?. මිනිස්‌සු හිතයි අපේ මොළේ හො`ද නෑ කියලා. රජයක්‌ විදිහට මේ වැඩේට අපි විරුද්ධයි. ඒත් තමුසෙලා පවුනෙ. ඒ හින්දා දැනට මෙහෙම චාන්ස්‌ එකක්‌ දෙන්නම්. ගෞරවණීය මහා නායක හාමුදුරුවො හම්බුවෙලා පුළුවන්නම් විස`ද ගන්නවා. උන්වහන්සේලා කියන ඕන දෙයක්‌ අපි නමස්‌කාර කරලා පිළිගන්නවා.."

ආණ්‌ඩුවේ ස්‌ථාවරය නිසා ජාලිය ජයසේකර මහතා අන්ත අසරණ තත්ත්වයට පත්වුණේය. එතුමාට තිබුණ එකම බලාපොරොත්තුව මහා නායක හිමිවරුන්ගෙන් ලැබෙනා සහනය පමණය. ෙත්‍රෙනිකායික මහා නායක හිමිවරු අතරින් මේ ගැටළුව ගැන කතා කරන්නට හැකි හිමිපාණන් වහන්සේ කවුදැයි කල්පනා කළ ජාලිය ජයසේකර මහතා මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවන් වහන්සේ මුණගැසුණහ. මදක්‌ වේලා පැවති ආගිය කතාවෙන් අනතුරුව ජයසේකර මහතා මහනුවර නයිට්‌ රේස්‌ පැවැත්වීම පිළිබ`ද තමුන්ගේ අහිංසක ඉල්ලීම මහා නායක හිමියන් වෙත ඉදිරිපත් කළහ. මහානායක හිමියෝ සන්සුන්ව ජාලිය ජයසේකර මහතා දෙස බලා සිටියහ. උන්වහන්සේගේ උපශාන්ත ගාම්භීර විලාශය හමුවේ ජයසේකර මහතා සිටියේ දියෙන් ගොඩ ගත් මත්ස්‍යයෙකු සේ ගැහෙමිනි. අවසානයේදී නායක හාමුදුරුවන් වහන්සේ හ`ඩ අවදි කළහ.

ජාලිය මහත්තයෝ... සිංහල භික්‌ෂු පරම්පරාව ආරම්භ වෙන්නේ මීට අවුරුදු දෙදාස්‌ තුන්සීයකට කලින් මිහි`දු මහ රහතන් වහන්සේගෙ කාලෙ අරිට්‌ඨ මහ රහතන්වහන්සේගෙන්. එදා සිට මේ රටේ සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්‌කෘතියත්, උරුමයත් ආරක්‌ෂා කළේ මහා සංඝරත්නය. උන්වහන්සේලා ඒ කටයුත්ත කළේ සමහර අවස්‌ථා වලදී ඇස්‌ ඉස්‌ මස්‌ ලේ දන්දීලා. ඒ උත්තරීතර මහා සංඝරත්නයෙ නියෝජනයක්‌ විදිහටයි අද මං කටයුතු කරන්නෙ... ඒ හින්දා බොහොම කනගාටුයි. මේ රේස්‌ එක තියන්න දෙන්න බෑ... අපිට මේ රේස්‌ එකට කරපු ලක්‌ෂ දෙසීයක වියදම මුදල් වලින් තක්‌සේරු කරන්න පුළුවන්. ඒත් බුදුන් වැඩ ඉන්නවා වගේ ගෞරව කරන්න ඕන මහනුවර වාගේ ශුද්ධ නගරයක මෙහෙම රේස්‌ එකක්‌ තියනකොට සිද්ධ වෙන හානිය මුදල් වලින් තක්‌සේරු කරන්න බෑ...

මහානායක හිමියන්ගේ එඩිතර ප්‍රකාශය හමුවේ ජාලිය ජයසේකර මහතා නිරුත්තර වූයේය. එතුමා නා හිමියන් දෙපා නැමැද නිහ`ඩවම මල්වතු පන්සලෙන් පිටව ආවේ නැවත කිසි දිනක මහනුවර නයිට්‌ රේස්‌ පැවැත්වීමට සූදානම් නොවන බවට තමුන්ටම ශපථ වෙමිනි.

කුමන්ත්‍රණය දියත් වීම

මේ සියල්ල දෙස කඩාකප්පල් කාරී ජාති භ්‍රෂ්ඨයින් පිරිසක්‌ බලා උන්හ. පසුගිය 28 හා 29 දෙදින තුළ මහනුවර නයිට්‌ රේස්‌ එක පැවැත්වුණ බව ප්‍රචාරය කර රට නොමග යෑවුවේ ඒ කඩාකප්පල් කාරයින්ය. මහා නායක හිමිවරුන් විරුද්ධ වන දෙයක්‌ කරන්නට මේ ආණ්‌ඩුව හීනයකින් වත් ඉඩ නොදෙන බව දැන දැනත් ඔවුහු මේ ලඡ්ජා සහගත මඩ ප්‍රචාරය කර ආණ්‌ඩුව අපහසුතාවයට පත් කළහ. ඇත්තටම මහනුවර නයිට්‌රේස්‌ පැවැත්වුණේ නැත. ඔබ දුටුවේ මහනුවර නයිට්‌ රේස්‌ එකක්‌ නොව, බලුකිස්‌ථානයේ පැවැත්වූ නයිට්‌රේස්‌ එකක පටිගත කළ දර්ශනයන්ය. 

ජානක ලියනආරච්චි 
http://www.divaina.com/2014/07/06/feature02.html

0 comments: