Pages

Monday, July 28, 2014

ස්‌කොට්‌ලන්තයේ පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලියේ ග්ලාස්‌ගෝ ක්‍රීඩක ගම්මානයේ පැතිරෙන බොදු සුවඳ

ජාතීන් 71 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක්‌ සහභාගීවන දැවැන්ත ග්ලාස්‌ගෝ පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලියේදී ථෙරවාදී බෞද්ධ ආගමටද විශේෂ අවස්‌ථාවක්‌ හිමිවුණි. ඒ අනුව ක්‍රීඩක ගම්මානයේ බෞද්ධ මන්දිරයක්‌ ඉදිවිය. බුදුපිළිමයක්‌ තැන්පත් කෙරිණි. මල් අසුනක්‌ පිළියෙල කෙරිණි. භාවනා ආසන සූදානම් කෙරිණි. නමුත් පහන් හෝ හඳුන්කූරු වෙනුවෙන් අවසරයක්‌ නොවීය. ඒ ස්‌කොට්‌ලන්ත වැසියෝ වූ කලී ගිනි අවදානම ගැන මහත් අවධානයක්‌ සහිත මිනිස්‌ කොට්‌ඨාසක්‌ බැවිනි. නමුත් උන්වහන්සේගේ සංඝ තේජස ඉදිරියේ කිසිදා නොදෙන අවසරයක්‌ ලබාදීමට ස්‌කොට්‌ලන්ත තරග සංවිධායකයන්ට සිදුවිය. ස්‌කොට්‌ලන්තයේ සුවිශේෂී බෞද්ධ ලකුණ බවට පත්ව ඇති උන්වහන්සේ නමින් කඹුරාවල රේවත වන්නාහ. 20 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ බෞද්ධ ආගමික උපදේශකවරයා වන උන්වහන්සේ එහි පිහිටුවා ඇති බෞද්ධ මන්දිරය භාරව කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ, කළුතර දිස්‌ත්‍රික්‌කයේ බදුරලිය නගරය අසල කඹුරාවල නම් ගමෙහි උපත ලබා සසුනට දායාද වී බෙල්ලන පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා උසස්‌ පෙළින් ලංකාවේ ඉහළින්ම සමත්ව ග්ලාස්‌ගෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක්‌ ලබා මෙයට වසර 12 කට පෙර ස්‌කොට්‌ලන්තයට වැඩම කළ කඹුරාවල රේවත හිමියෝ ඉන් නොනැවතී ස්‌කොට්‌ලන්තයේ විශාලතම සහ වැඩිම ජනඝණත්වයක්‌ සහිත නරගය වන ග්ලාස්‌ගෝහී පළමු ථෙරවාදී බෞද්ධ විහාරස්‌ථානය පිහිටුවූහ.

බෞද්ධ දර්ශනයේ හරය සුද්දාට හිමිකරදීම පිණිස වඩාත් ප්‍රායෝගික වූ උන්වහන්සේ බටහිර දර්ශනයේ චිත්ත ස්‌වභාවයන් පිළිබඳ හැදෑරූහ. මානසික ආතතිය දුරු කරගැනීම සහ චිත්ත ඒකාග්‍රතාව පවත්වාගැනීම නමැති සුද්දා සොයන, සුද්දාට රස දැනෙන ශබ්ද කෝෂයක්‌ හරහා උන්වහන්සේ ඉතා උපක්‍රමශීලීව සතිපට්‌ඨාන භාවනාවට ග්ලාස්‌ගෝ වැසියන් යොමුකළහ. ප්‍රතිඵල අති සාර්ථක විය. ග්ලාස්‌ගෝ නරගයේ මෙන්ම ස්‌කොට්‌ලන්ත පළමු අමාත්‍යවරයාගේ නිවස දක්‌වා උන්වහන්සේ පිළිබඳ යශෝරාවය පැතිරෙන්නට විය.

සුනාමි ව්‍යසනය අවස්‌ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ග්ලාස්‌ගෝ සහෝදරත්වයේ පාලම බවට පත්වන උන්වහන්සේ මෙහි වැඩ සිටියද ශ්‍රී ලංකාව වෙනුවෙන් නොපිරිහෙලා යුතුකම් ඉටුකළා පමණක්‌ නොව, අදටද ශ්‍රී ලංකාවේ බැරි අසරණ මිනිසුන් වෙනුවෙන් සමාජ සත්කාරයන්හි යෙදෙති.

එදා 2007දී මෙම පොදු රාජ්‍ය මණ්‌ඩල සත්කාරකත්වය දිනාගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල මහ සභාවට පැමිණි ස්‌කොට්‌ලන්ත දූත පිරිස අතරට එක්‌වීමට උන්වහන්සේටද ආරාධනා ලැබෙන්නේ ඒ ගෞරවය සහ පිළිගැනීම මතිනි.

ඒ සත්කාරකත්වය දිනාගන්නා සටනේ පටන් උන්වහන්සේගේ අනුශාසනාව මේ සංවිධානයට මහත් අගයක්‌ විය. කඹුරාවල රේවත හිමියන් පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩක ගම්මානයේ බෞද්ධ ආගමික උපදේශකවරයා බවට පත්වන්නේද, කිසිවකුට නොදෙන අවසරයක්‌ පවා ලබමින් පහන් සුවඳකූරු දැල්විය හැකි බෞද්ධ මන්දිරයක්‌ ඉදිවන්නේද ඒ අනුහසිනි.

ඒ බෞද්ධ මන්දිරයේ එකවර කිහිපදෙනකුටම භවනාවෙහි යෙදීම පිණිස පහසුකම් ඇත්තේය. සිංහලෙන් සහ ඉංගී්‍රසියෙන් යන දෙකෙන්ම බෞද්ධ පොතපත තබා ඇත්තේය. මෙහිදී සිංහල පොත් තැබුවේ අන් කිසිවකුට නොව මේ උළෙලට සහභාගීවන ගණනින් 150 ඉක්‌මවා යන ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් වෙනුවෙනි. 

ශ්‍රී ලංකාවෙන් මෙම ක්‍රීඩා උළෙලට පැමිණි ඇත්තන්ට මෙය අංග සම්පූර්ණ පන්සලක්‌ම වන්නේය. එය ඔවුන්ගේ මානසිකත්වය පවත්වාගැනීමට මහඟු අවස්‌ථාවක්‌ වන්නේය. ක්‍රීඩක ගම්මානයේ තමන්ගේa නවාතැනේ සිට විනාඩි 5 ක ගමනකින් මෙහි ළඟාවිය හැක. ඔවුන් භෝජනාගාරයට යෑවෙන තුන්වේලම යා යුත්තේ මෙම 'පන්සල' පසුකරමිනි. ඒ හැම විටෙකම මෙයට ගොඩවී බුදු පිළිමවහන්සේ ඉදිරියේ මඳ වේලාවක්‌ නිසොල්මන්ව, තරග පීඩනයෙන් මිදී සැහැල්ලුවීමේ අවස්‌ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇත්තේය. රේවත හිමියෝ ඔවුන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන් විලසින්ම සමීපව උපදෙස්‌ අනුශාසනා දෙන පෙනුමෙන් මෙන්ම හදවතින්මද පුණ්‍ය නිධානයකි. ගිම්හාන උණුසුම මෙන්ම මේ ආගමික පසුබිමද ඔවුනට අමුත්තක්‌ නොමැතිව ග්ලාස්‌ගෝ අභියෝගයට කයත් මනසත් සූදානම් කරගැනීමේ අවස්‌ථාවක්‌ සලසා තිබේ.

පසුගියදා අහම්බයෙන් මෙන් මෙහි භාවනා අත්දැකීමක්‌ විඳීමට පැමිණි (මෙම උළෙලේ ක්‍රීඩා දක්‍ෂතා අතර යෝධයා වන) ඔස්‌ටේ්‍රලියානු පිළේ සාමාජිකයෙක්‌ හට එය කෙතරම් මානසික සහනයක්‌වීද යත්, ඔහු පසුගියදා තමන්ගේ හිතවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු රැගෙන නැවත පැමිණියේය. මේ වන විට දිනපතාම කාලසටහනක්‌ අනුව කෙටි භාවනා වැඩසටහන් හෙවත් මානසික අභ්‍යාස පවත්වන මෙන් රේවත හිමියන්ට ක්‍රීඩා ගම්මානයෙන් ඉල්ලීම් යොමුව තිබේ. 

පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ වෛද්‍ය ක්‍රිස්‌ නෝනිස්‌ මහතා, ශ්‍රී ලංකා කණ්‌ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම 'පන්සල' විවෘත වී සුළු මොහොතකින් බර ඉසිලීමේ කණ්‌ඩායමේ පුහුණුකරු ආර්.එම්. වික්‍රමසිංහ මහතා රේවත හිමියන්ගෙන් ඉල්ලීමක්‌ කළේය. ඒ තම කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් සෙත් පිරිත් ආශිර්වාදයක්‌ කරන මෙනි. උන්වහන්සේ බොහොම සතුටින් එය ඉටුකර දුන්හ. පසුව වික්‍රමසිංහ මහතා හෙවත් 'විකී' නැවතත් ඒ අවස්‌ථාව මහහැරුණු සිය ගෝලයන් කිහිප දෙනෙකු සමග පන්සලට පැමිණියේය. විකී ක්‍රීඩක ගම්මානයේ පන්සලින් නොමඳ ප්‍රයෝජන ගත්තේය.

බර උසුලන කණ්‌ඩායම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙහි පැමිණි සියගණනක්‌ දෙනා අතර සිටින අනෙක්‌ කී දෙනෙක්‌ මෙයින් ප්‍රයෝජන ලබත්දැයි අපි නොදනිමු. නමුත් තමන්ගේ සංස්‌කෘතිය හඳුනන උපදේශනයක්‌ යටතේ තමන්ගේ ආගමට සම්බන්ධව තමන් තුළ ජයග්‍රාහී මානසික ස්‌ථාවරයක්‌ ගෙඩනගා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ලැබී ඇති මෙම අවස්‌ථාව 'පිනක්‌මය' කියනු හැර වෙන කුමක්‌ කියන්නද..?

http://www.divaina.com/2014/07/26/sports02.html

0 comments: