Pages

Monday, July 7, 2014

පුරාවිද්‍යාවට සරසවි දායකත්වය

ද්‍රව්‍යාත්මක අවශේෂ මඟින් අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මාණය කරමින් අනාගතය වෙත දායාද කිරීම පුරාවිද්‍යාව තුළින් සිදුවේ. ශ්‍රී ලංකාව සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුවිශේෂී බිම්කඩක්‌ ලෙස ගෝලීය ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම සඳහා පුරාවිද්‍යා විෂය සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කරනු ලබයි. යටත්විජිත සමය වන විට මෙරට පැවති අතීත සංස්‌කෘතික දායාද දුටු විදේශීය ජාතීන් මවිතයට පත් වූවා සේම, විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් යුරෝපයේ දී උත්පාදනය වී ක්‍රමයෙන් වර්ධනය වූ පුරාවිද්‍යාව (Archaeology) නම් වූ ශික්‍ෂණයේ ප්‍රායෝගික අභ්‍යාස අත්හදා බලන්නට කදිම තෝතැන්නක්‌ වශයෙන් තෝරා ගත් බව ද නොරහසකි. මෙරට උරුමය තුළ පුරාවිද්‍යාව ගැළපීමේ ආරම්භයක්‌ හෝ අවසානයක්‌ පිළිබඳ ස්‌ථිර අවබෝධයක්‌ නොවූ ඔවුන් මතුපිට වස්‌තු වාර්තාකරණයෙන් මෙරට පුරාවිද්‍යා කටයුතු ආරම්භ කරන ලදී. 1890 දී පුරාවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව (Department of Archaeological Survey) පිහිටුවා එහි ප්‍රථම කොමසාරිස්‌වරයා බවට හෙන්රි චාර්ල්ස්‌ පර්වියස්‌ බෙල් මහතා පත් වෙයි. ඔහුගෙන් ඇරඹි මෙම කාර්යය එඩ්වඩ් රසල් අයර්ටන්, ආතර් මයුරිස්‌ හොකාර්ට්‌, රිචඩ් ලෙස්‌ලි බ්‍රොaහියර්, ෙ-ම්ස්‌ ජී. ස්‌මිදර් වැන්නවුන් විසින් යථාවත් කරන ලදී. එඩ්වර්ඩ් සයින් පෙන්වා දෙන ආකාරයට මෙකල සිදු වූයේ තමන් නොදුටු පුදුමසහගත නිර්මාණයන් සටහන් කිරීමයි. ඒ අතර ගයිගර්, සී. ඩබ්. නිකලස්‌ වැන්නවුන් මෙරට පැරණි සාහිත්‍ය ලෝකය දෙස එබී බලන්නට ද විය. 

පශ්චාත් යටත්විජිත සමයේ නැගී ආ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හා වෙනත් ජාතිකත්ව ව්‍යාපාර ඔස්‌සේ ශ්‍රී ලංකාවේ අතීත පෞරාණික උරුමය සම්බන්ධයෙන් ජනතා අවධානය ප්‍රබල වශයෙන් යොමු කරවන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, නාරංවිට සුමනසාර වැනි විද්වතුන් ජාතික ව්‍යාපාර ශක්‌තිමක්‌ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළහ. මොවුන් විසින් මෙරට අතීතයේ තීරණාත්මක වාස්‌තුවිද්‍යාත්මක නිමැවුම් හා ඒ අවට කලාපයේ බලපෑම් පිළිබඳව අවධානය යොමු කොට විස්‌තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ "සිතියම් සහිත පුරාවිද්‍යාව" කෘතිය මේ සඳහා කදිම නිදර්ශනයකි. 

1960-1980 කාලයේ දී ගෝලීය මට්‌ටමේ තත්ත්වය විමසීමේ දී ක්‍රමයෙන් සාම්ප්‍රදායික ක්‍රම ඔස්‌සේ අතීතය විමර්ශනය කිරීමේ තත්ත්වය (Traditional Archaeology) හීන වී ගොස්‌ නව පුරාවිද්‍යාවේ (Processual Archaeology) ආගමනය සිදු වී තිබේ. මේ යුගයේ සුවිශේෂත්වය නම් දත්ත විශ්ලේෂණය කොට අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමයි. ගෝලීය සන්දර්භය තුළ තත්ත්වය එසේ වෙත්ම නව පුරාවිද්‍යා කාල පරාසයේ දී මෙරට සිදු වූ වැදගත්ම කාර්යයභාරය නම් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය අන්තර් සබඳතා පැවැත්වීමයි. 

1980 දී සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ ආරම්භයත් සමඟ මෙරට පුරාවිද්‍යාත්මක ස්‌ථාන දේශීය මෙන්ම ගෝලීය ප්‍රජාව වෙනුවෙන් විවර වූවා සේම විශ්වවිද්‍යාලයන් තුළ අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන්ට මෙම ආයතනය ඔස්‌සේ අතීතයේ සැඟවුණ තැන් මතු කර ගැනීම සඳහා විවිධ පර්යේෂණයන් සිදු කිරීමටත්, ක්‍ෂේත්‍ර පුහුණුව ලබා ගැනීමටත් අවස්‌ථාව උදාවුණි. මේ කාලය වන විට පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි "පුරාවිද්‍යාව"අධ්‍යයන පාඨමාලාවක්‌ ලෙස ආරම්භ කර තිබුණි. සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භයෙන් පසු එහි ප්‍රධාන වැඩබිම් වූ අභයගිරිය, ෙ-තවනාරාමය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල සහ මහනුවර යන ව්‍යාපෘති පුරාවිද්‍යා විශේෂවේදී සිසුන්ගේ ක්‍ෂේත්‍ර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පවරා දීමට කටයුතු කරන ලදී. 

වගුව 01; මධ්‍යම සංස්‌කෘතික අරමුදල පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල දායක කර ගැනීම

1986 වර්ෂයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කොළඹ බෞද්ධාලෝක මාවතෙහි ආරම්භ විය. එය එදා පටන් මේ දක්‌වා මෙරට පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙනම ආයතනයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. 1988 දී එම ආයතනය මඟින් සීගිරිය - දඹුල්ල ප්‍රදේශ ඉලක්‌ක කර ගනිමින් අතීත ජනාවාසකරණයේ ස්‌වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියක්‌ (SIDA-SAREC) ආරම්භ කරන ලද හෙයින් විශ්වවිද්‍යාලයීය සිසුන්ට ද එහි පර්යේෂණ කටයුතුවල නිරත වීමට හැකියාව ලැබිණි. මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක, ස්‌වීඩන් පුරාවිද්‍යා කමිටුවක්‌ හා එක්‌ව 1988-1992 කාලය තුළ දියත් කරන ලද මෙම වැඩමුළුව ප්‍රශස්‌ත පුහුණු පාඨමාලාවක්‌ බවට ද පත් විය. මෙහි දී පුරාවිද්‍යාත්මක ගවේෂණයේ සිට වාර්තාකරණය දක්‌වා සියලු කටයුතු පිළිබඳව හා විශේෂයෙන්ම මිනුම්කරණය, කැණීම්, ගවේෂණයන්ගේ නවීන ක්‍රම අත්හදා බැලීමට ද අවස්‌ථාව උදාවිය. 

පුරාවිද්‍යාව හුදෙක්‌ තනි විෂයයක්‌ ලෙස නොව බහු විෂයාත්මක ශික්‍ෂණයක්‌ ලෙසින් පෙනී සිටියි. එනිසාම අතීතයට අයත් බොහෝ දේ විවිධ විෂයය පරාසයන් ඔස්‌සේ අර්ථ ගන්වමින් වර්තමාන ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යාඥයා කටයුතු කරයි. අතීතය වැදගත් වන්නේ තලු මරමින් රස විඳීමට නොව, වර්තමානය හා අනාගතය වෙනුවෙන් මෙහෙය වීමටය. එනිසා පුරාවිද්‍යාව විෂයයෙහි අත්‍යන්තයෙන්ම ඇත්තේ ජාතික වටිනාකමකි. අනෙක්‌ පාර්ශ්වයෙන්, මානව සංහතියේ ප්‍රගමනය පිණිස මෙන්ම ශුභසිද්ධිය උදෙසා කටයුතු කරන ආයතන ලෙස විශ්වවිද්‍යාල පෙන්වා දිය හැකිය. නව සොයා ගැනීම් පිළිබඳ විශ්වය දැනුවත් වන්නේත්, විශ්වීය දැනුම හුවමාරු වන්නේත් විශ්වවිද්‍යාල හරහාය. එනිසා විශ්වවිද්‍යාල තුළින් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ වටිනාකමක්‌ ප්‍රකාශ කරයි. 

1951 පසු පරණවිතාන මහතා පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වීම ඉහත පෙන්වා දුන් වටිනාකම් තීව්‍ර වූ අවස්‌ථාවක්‌ ලෙස පෙන්වා දිය හැකිය. එය එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයට නව ජීවයක්‌ එක්‌ කළ කරුණකි. කෙසේ වෙතත් මුලදී ඉතිහාස අධ්‍යයනාංශය තුළ ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා විෂය 1976 දී වෙනම අධ්‍යයනාංශයක්‌ යටතේ මෙහෙයවන විෂය ධාරාවක්‌ විය. ඒ අනුව ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යයනාංශය බිහිකිරීමේ පමණක්‌ නොව පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය පිරිනැමීමේ ගෞරවය ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය හිමිකර ගත්තේය. මෙහි මුල්ම අංශාධිපතිවරයා වූයේ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලකයන් ය. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල, කේ. එච්. ජයතිලක වැනි විද්වතුන් මෙහි ආචාර්යවරුන් ලෙස කටයුතු කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය මෙම අධ්‍යයනාංශය හා එකතුව පොළොන්නරු ආලාහන පිරිවෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. සංස්‌කෘතික ත්‍රිකෝණයට අයත් මහනුවර වැඩබිම අධ්‍යයනාංශය තුළින් නඩත්තු කිරීම සිදුවිය. ෙ-තවන ව්‍යාපෘතියට හා අනුරාධපුර ඇතුලු නුවර ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කිරීමට ද ඔවුනට අවස්‌ථාව උදාවිය. 1997 දී යාපහුවට නුදුරු පිංවැව ගල්සොහොන් කනත්ත පුරාවිද්‍යා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ භාග්‍යය ද ඔවුන්ට ලැබුණි. මෙහි දී ආචාර්ය ටී. ආර්. ප්‍රේමතිලකයන්ගේ සහයෝගය ද ලැබීමෙන් විද්‍යාත්මක පසුබිමක හිඳිමින් මෙම ව්‍යාපෘතියේ දත්ත විග්‍රහ කිරීමට හැකි විය. ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයක පිහිටුවන ලද පුරාවිද්‍යා පර්යේෂණ කෞතුකාගාරයක්‌ ආරම්භ කරන්නේ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. මෙම පර්යේෂණ කෞතු=කාගාරය, ආනන්ද කුමාරස්‌වාමි මහතාට හා පී. එල්. ප්‍රේමතිලක මහතාට අයත් කෞතුක වස්‌තු එකතූන් මෙන්ම අග්‍රගණ්‍ය ඇත් දළ භාණ්‌ඩ එකතුවකින් ද පොහොසත් ය. එංගලන්කය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය යන රටවලින් පැමිණි පුරාවිද්‍යා අධ්‍යයන කණ්‌ඩායම් කිහිපයක්‌ සමඟද මෙම විශ්වවිද්‍යාලය කටයුතු කර ඇත. මෙහි ක්‍රියාත්මක පුරාවිද්‍යා සංගමය විසින් 'විකල්ප පුරා තත්ත්ව' යන සඟරාව නිර්මාණය කිරීම අද දක්‌වාම සිදුවෙයි. විද්‍යාර්ථයන්ගේ ප්‍රකාශනයන් එළිදැක්‌වීම මෙහි අරමුණයි. 

විෙද්‍යාදය විශ්වවිද්‍යාලය ලෙස මුල් කාලීනව ව්‍යවහාර කරනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානවශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය තුළ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය ස්‌ථාපිතව ඇත. මෙය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්ම ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප්‍රදානය කළ අධ්‍යයනාංශයයි. මහාචාර්ය එස්‌. බී. හෙට්‌ටිආරච්චි, මහාචාර්ය චනද්‍රා වික්‍රමගමගේ, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය ඩී. ඇල්. අබේවර්ධනය, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය ටී. ජී. කුලතුංග ආදී විද්වතුන් මෑත ඉතිහාසයේ ද, මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි සහ මහාචාර්ය පත්මසිරි කන්නංගර වැනි විද්වතුන් වර්තමානයේ ද මෙම අධ්‍යයනාංශයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයයන් නගා සිටු වීමෙහි පුරෝගාමී වූහ. 

තව කොටසක්‌ හෙට පත්‍රයේ....

ඩී.එම්. දුමින්ද ලක්‌සිරි කුමාර, 
සිව්වැනි වසර - පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
http://www.divaina.com/2014/07/07/feature01.html

0 comments: