Pages

Friday, July 18, 2014

තෙවනි ඇසින් දුටු චමත්කාර විල්පත්තුව

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව මෙරට ජාතික වනෝද්‍යාන 22 ක්‌ වේ. ඒ අතරින් "විල්පත්තුව" මා සිත්ගත් වනෝද්‍යානවලින් එකකි. එසේම ශ්‍රී ලංකාවේ ඇති වනෝද්‍යාන අතරින් ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරන ලද වනෝද්‍යාන දෙකෙන් එකක්‌ද වන්නේ විල්පත්තුවයි. 1938 පෙබරවාරි මස 25 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද මෙම වනෝද්‍යානයේ වපසරිය අක්‌කර තුන්ලක්‍ෂය ඉක්‌මවයි. උතුරුමැද පළාත (අනුරාධපුරය) වයඹ පළාත (පුත්තලම) උතුරු පළාත (මන්නාරම) යන පළාත් තුනට මායිම්ව ඇති විල්පලත්තුව, වයඹ මුහුදේ පෘතුගාල් බොක්‌කට මුහුණ ලා පැතිර පවතී.

විල්පත්තුව එනමින් හඳුන්වනු ලබන්නේ මෙම ප්‍රදේශය "විල්" නොහොත් "විල්ලු" රාශියකින් සමන්විතව ඇති නිසාය. විල්ලුවලින් සමන්විත පත්තුව යන්න එහි අර්ථයයි. ලොකු කඩා "විල්ලු" 40 කට වැඩි ප්‍රමාණයක්‌ මෙම වනාන්තරය පුරා පැතිර පවතී.

රූස්‌ස වනවදුලින් මෙන්ම, වැලිතලා, ගංගාධාර වනාන්තර, තෘණපිටි, වගුරු, යනාදී විවිධ පරිසර පද්ධතීන්ගෙන් විල්පත්තුව සමන්විත නිසා සැබැවින් මෙහි දර්ශන තලයන් සංචාරකයින්ගේ සිත් පැහැර ගනී. මෙම දර්ශන තලවලදී දැකගත හැකි මුව, ගෝන උලාකන්නෝ මෙන්ම. කොටි, වළසුනටද විල්පත්තුව තෝතැන්නක්‌ බවට පත්ව තිබේ. එබැවින් විල්පත්තුවේ අසිරිය සොයා යැම සැබැවින්ම සෞන්දර්යය චාරිකාවකි. එහෙත් එහි අද්විතීයත්වයද අපට අමතක කළ නොහැකිය. වන සතුන්ගේ අභයභූමියක්‌ බැවින් මෙහි පැවැත්මද අප හෙට දිනය වෙනුවෙන් සහතික කර තැබිය යුතුය. එබැවින් විල්පත්තුවේ ආරක්‍ෂාව වෙනුවෙන් අපගේ කැපවීම සෞන්දර්යයට වඩා කතා කළ යුත්තකි. මෙවර අප "විල්පත්තුවේ සංචාරේ" ආරම්භ කරන ලද්දේ එවන් වටිනාකම් විල්පත්තුවට ලබාදෙන සෞන්දර්යාත්මක, ගවේෂණ චාරිකාවක්‌ වශයෙනි. "පා සටහන් හැර කිසිවක්‌ නොතබන්න ඡායාරූප හැර කිසිවක්‌ නොගන්න" යනුවෙන් පරිසර පද්ධති ගවේෂණයේදී අපට ඔවදනක්‌ සැපයේ. පැහැදිලිවම මෙම ඔවදන අනුව යමින් මෙවර අප විල්පත්තුවේ ගවේෂණ චාරිකාවට එනම් විල්පත්තුවේ සංචාරේ සඳහා එක්‌වූයේ මෙරට ප්‍රධාන පෙළේ ඡායාරූප සංගමයක්‌ සමඟය. ප්‍රවීණ ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පීන්ගෙන් සමන්විත මෙම ඡායාරූප එකමුතුව "තෙවන ඇස ඡායාරූප හා මාධ්‍ය ශිල්පීන්ගේ සංගමයයි" මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන මෙම සංගමය විල්පත්තුව සංචාරය සංවිධානය කර තිබුණේ ඔවුන්ගේ සංගමයට වසර 10 ක්‌ සපිරීම සැමරීම සඳහාය.

මීගමුවෙන් ඇරඹි සංචාරය හුණුවිලගම උද්‍යාන මූලස්‌ථානය පසුකර දහවලේදී මරදන්මඩුව පිහිටි වනජීවී මධ්‍යස්‌ථානයට ළඟාවිය. ඉන්පසු පස්‌වරුවේ තෙවන ඇස ඡායාරූප සහ මාධ්‍ය ශිල්පීන්ගේ සංගමය මගින් තම සමාරම්භක කටයුතු ඇරඹීය. එදින මධ්‍යහ්නයේ සිට අඳුරු වැටුණු සවස්‌ යාමය දක්‌වා පැවතියේ වනජීවී සංරක්‍ෂණයට අදාළව ඡායාරූප ශිල්පීන් දැනුවත් කිරීමේ කතිකාවකි. මෙහිදී ප්‍රවීණ දේශක පිරිසකගේ දේශන කිහිපයකට සවන් යොමුකරන්නට වැඩමුළුවට සහභාගි වූ පිරිස්‌වලට හැකි වූහ.

"තෙවනි ඇස ඡායාරූප සහ මාධ්‍ය ශිල්පීන්ගේ සංගමය" වසර දහයක සංවත්සරය සමරන මේ මොහොතේ එහි සභාපති සමන් ප්‍රනාන්දු මහතා චාරිකාවේ සහ වැඩමුළුවේ අරමුණ පහදා දුන්නේය. අනතුරුවව විල්පත්තුව උද්‍යාන පාලක මනෝඡ් විද්‍යාරත්න මහතා පිළිගැනීමේ කතාව සිදුකළ අතර ක්‍රමයෙන් සභාව දේශන සඳහා යොමු විය. "වනජීවී ඡායාරූප කරණය ඔස්‌සේ වනජීවී සංරක්‍ෂණය" තේමාව කරගනිමින් ඇරඹි මෙම දේශන මාලාවේදී විද්‍යා අබේගුණවර්ධන, රෝහිත ගුණවර්ධන, මෙන්ඩිස්‌ වික්‍රමසිංහ, එස්‌. ආර්. බි. දිසානායක, ජගත් කණහැරආරච්චි, සුරේෂ් හේරත්, ගාමිණී මායාදුන්නේ යන මහත්වරු දේශණ පැවැත්වූහ.

වනජීවීන් සහ ඔවුන්ගේ පරිසර පද්ධතිවල ස්‌ථිරසාර පැවැත්ම තහවුරු කිරීමද, වනජීවී ක්‍ෂේත්‍රයට සිදු කෙරෙන බලපෑම්, තර්ජන, අඩු සැලකිල්ල යනාදිය මෙහිදී මැනවින් විග්‍රහ කිරීමට දේශකයෝ සමත්වූහ. ඒ අනුව සංගමය මගින් සංවිධානය කරන ලද, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය මත කැනන් හා වෙනත් ආයතන කිහිපයක අනුග්‍රාහක දායකත්වය මත සංවිධානය කෙරුණු මෙම වැඩමුළුව තරමක වෙනස්‌ හා නැවුම් මුහුණුවරක්‌ ගත්තේය.

දේශන මාලාව රාත්‍රියට සීමා කරමින් ඉන්පසු කාලය යෙදී තිබුණේ ක්‍ෂේත්‍ර චාරිකා සඳහාය. ජීප් රථ හයකට පමණ බෙදී ගිය කණ්‌ඩායම විවිධ මාර්ග ඔස්‌සේ පසුදා දහවලේදී විල්පත්තුවේ සෞන්දර්යය හඹා ගියේය. මෙම කාලය විල්පත්තුවට වියළි හා ශුෂ්ක දේශගුණයක්‌ සහිත කාල වකවානුවකි. එබැවින් තරමක දැඩි හිරු රැස්‌ පතිත වේ. මිරිඟුව මවන පුලින තලා අතරින් මෙන්ම රූස්‌ස වන වදුලු මාර්ගවලින් ගොස්‌, විල්ලු අසබඩ අපි සොබා දහමේ චමත්කාරය අත් වින්දෙමු. මුවන්, ගෝනුන්, සිවලුන් මෙන්ම නෙක විසිතුරු සියොත් රැළ අතරේ අපි දිවි වළසුන් සොයා කාලය මිඩංගු කළෙමු. සැබැවින්ම විල්පත්තුවේ "සංචාරේ" අමතක නොවන අත්දැකීම් උදාකර දෙන්නකි. ඒ කොයිබ වෙනත් අප මාධ්‍ය කණ්‌ඩායමක්‌ ලෙස හා වනජීවී ඡායාරූප කණ්‌ඩායමක්‌ ලෙස විල්පත්තුවේ සොයා ගියේ කතා කළ හැකි අගය කළ හැකි ඡායාරූප ගන්නේ කෙලෙසද ලෙසිනි. දහවලේදී ගනු ලැබූ මෙවන් ඡායාරූප රාත්‍රියේදී ඇගයුමට ලක්‌කළ අතර සැබෑම ඡායාරූප අධ්‍යයන වැඩමුළුවක්‌ ලෙස පැමිණි සාමාජිකයන්ට ලබාදුන්නේ අමිල දැනුම් සම්භාරයකි.

මේ සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධීක්‍ෂණ හා අනුග්‍රාහකත්වයේ කොටසක්‌ද දරා ගනිමින් කරන ලද සේවයද මෙහිදී අගය කළ යුත්තකි. වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සංචාරක හා කළමනාකරණ) එස්‌. ආර්. බී. දිසානායක, වන සත්ත්ව අඩවි ආරක්‍ෂක ප්‍රදීප් කුමාර, වනසත්ත්ව අඩවි සහකාර රෝහිත ගුණවර්ධන, මහත්වරු මෙහිදී සුවිශාල කාර්ය භාරයක්‌ ඉටුකළහ. රෝහිත ගුණවර්ධන මහතා ප්‍රකට හා ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පියකු හා දේශකයකු වශයෙන් දක්‌වන ලද දායකත්වයද මෙහිදී කැපී පෙණුනි. සුනිල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ "තෙවනි ඇස" සංගමය මේ අනුව තම දහවැනි සංවත්සරය පරිපූර්ණව සැමරුවේය.

දින තුනක්‌ තිස්‌සේ පැවති විල්පත්තුව සංචාරය නිමාවූයේ අත්දැකීම් සම්භාරයක්‌ සමඟිනි. දැනුම විනෝදය මෙන්ම ඇගයීම්වලින්ද පරිපූර්ණවූ මෙහිදී ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට සම්මාන ප්‍රදානයක්‌ද සිදු කෙරිණි. වනජීවී සංරක්‍ෂණය යථාර්ථයක්‌ කරමින් ඡායාරූපකරණය සංරක්‍ෂණයට යොදා ගැනීම පිළිබඳ පුළුල් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ ශිල්පීහු මෙම චාරිකාවේදී විල්පත්තුවේ නොමැකෙන පිය සටහන් තබා අගනා ඡායාරූප ගොන්නක්‌ද රැගෙන ආහ. ඒ විල්පත්තුවට දිගාසිරි ප්‍රාර්ථනය කරමිනි.

සටහන, ඡායාරූප - ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/07/15/feature02.html

0 comments: