Pages

Wednesday, July 30, 2014

ඉරාකයේ ඓතිහාසික ජොනාස් ශාස්තෘවරයාගේ දේවස්ථානය පුපුරුවයි

ඉරාකයේ මොසුල් නගරය ආසන්නයේ පිහිටි ලොව පුරා කිතුණු සහ මුසල්මානු බැතිමතුන්ගේ ගෞරවාදරයට ලක්වූ ඓතිහාසික ජොනාස් ශාස්තෘන්ගේ දේවස්ථානය ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් පුපුරුවා හැර ඇතැයි වාර්තා වේ.

මෙහි වීඩියෝ සහ ඡයාරූප අන්තර්ජාලය තුළ පළකර තිබේ.

ඇසින් දුටුවන් පවසන්නේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය පුපුරුවා හැරීම සඳහා බෝම්බ ඇටවීමට සටන්කාමීන්ට ගතවූයේ පැයක පමණ කාලවක් පමණක් බවයි.

කිතුණු බැතිමතුන් ජොනාස් ලෙසත් ඉස්ලාම් බැතිමතුන් යුනිස් ලෙසත් හඳුන්වන මෙම ශාස්තෘවරයා මාළුවෙකු හෝ තල්මසෙකු විසින් ගිල දැමූ බවට පැරණි තෙස්තමේන්තුවේ සඳහන් කථාව බෙහෙවින් ජනපි‍්‍රය වූවකි.

ඒ හා සමාන පුවතක් කුරානයේද දැක්වෙන අතර මෙම දේවස්ථානය ක‍්‍රි.පූ 8වන සියවසේ ඉදිකරන ලද්දක් බව පැවසේ.

ඉරාකයේ සුන්නි නිකායික කටයුතු භාර ආයතනය පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ටක්ෆිරි කැරලිකරුවන් විසින් ආගමික පුදබිම් ගණනාවක් වනසා ඇති බවයි.

යාහ්යා ඉබ්න් අල් කාසිම්, ඖන් අල් දින් සහ ශාස්තෘවර ඩැනියෙල් වැනි සිද්ධස්ථාන මෙලෙස විනාශ කර ඇති අතර ඉන් බරපතලම සිදුවීම මෙම යුනිස් දේවස්ථානය විනාශ කිරීම බව එම ආයතනය නිවේදනය කර තිබේ.

පසුගිය මාසයේදී උතුරු සහ බටහිර ඉරාකයේ ප‍්‍රදේශ ගණනාවක බලය තහවුරු කරගත් අයිසිස් සංවිධානය පසුව සිරියාවේ සහ ඉරාකයේ අල්ලාගත් ප‍්‍රදේශ තුළ ඉස්ලාමික් කාලිෆ් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කරනු ලැබිණි.

http://lankacnews.com/sinhala/foreign-news/119830/

0 comments: