Pages

Friday, July 18, 2014

මහේල ටෙස්‌ට්‌ - 149. තව දෙමසක් ඉඳල 150 ගහලම යමු!

හම රැලි වැටෙන තුරු ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ වාර්තාව තිබෙන්නේ සුද්දන්ගේ නම ඉදිරියේය. ඒ 1930 දශකයේදීය. එකල එංගලන්තයේ විල්ෆර්ඩ් රෝඩ්ස්‌ ටෙස්‌ට්‌ පිටියට සමුදෙන විට වයස අවුරුදු 52 යි දින 165 කි. ඔස්‌ටේ්‍රලියාවේ බර්ට්‌ ඉරන්මෝන්ගර් වයස අවුරුදු 50 යි දින 327 දීත් එංගලන්තයේ ඩබ්ලිව්. ජී. ග්‍රෙසි අවුරුදු 50 දින 320 දීත් සහ ජෝඡ් ගන් අවුරුදු 50 යි දින 303 දීත් ටෙස්‌ට්‌ පිටියට සමුදී තිබේ. දැන් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සමුගැනීමේ ක්‍රමය වෙනස්‌ය. එහිදී සුපිරි වාර්තා ලාභීහු ටෙස්‌ට්‌ පිටියට සමුදෙන්නේ තවත් ශතක හෝ ද්විත්ව ශතක පෙනි පෙනීය.

ඒ නව පරම්පරාවේ 'නම්බුකාර' සමුගැනීමේ ක්‍රමවේදයයි. එහි අලුත්ම තරුව මහේල ජයවර්ධනය. ඔහු දැන් සමුගැනීම තීරණය කර හමාරය. ඒ තීරණය ගැනීමට පෙර මහේලට පොඩි දෙයක්‌ අමතකවී ගොසිනි. ඒ අමතකවීම නිවැරදි වූවානම් එය මහේලට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලටද මහ ලොකු ආඩම්බරයකි.

කණ්‌ඩායමේ ජයග්‍රහණය රටට වටිනවා සේම ක්‍රීඩකයා ලබා ගන්නා වාර්තාවද රටට වටී. එබැවින් මහේල සමුගන්නේ 150 වැනි ටෙස්‌ට්‌ තරගයට සහභාගි වීමට පෙරය. ඔහුට ඒ කඩඉම පෙනෙන්නට තිබේ. නමුත් දැන් මහේල ඉස්‌සර වී අවසන්ය. කළ යුත්ත පිළිබඳව ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධානියා දැනුවත්ය. ඒ මහේලගෙන් ඉතිරි ටෙස්‌ට්‌ තරගයත් ක්‍රීඩා කරමින් 150 වැනි ටෙස්‌ට්‌ තරග වාර්තාව තමා සතු කරගන්නා ලෙසය. එහෙත් ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස ඒ පිළිබඳව කිසිදු හැල හොල්මනක්‌ නොමැත. ලේකම් නිශාන්ත රණතුංගද එසේය. අදාළ බලධාරීන්ව අවදි කරන 'මුක්‌කුවක්‌' සේ අපි මේ සටහන ඉදිරිපත් කරමු. 

ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ටෙස්‌ට්‌ තරග 150 සීමාව පසු කළ ක්‍රීඩකයන් බිහිව තිබෙන්නේ හත් දෙනකු පමණි. ඔවුන් සියලු දෙනාම මේ වන විට ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියට සමුදී සිටිති.

එහිදී සචින් ටෙන්ඩුල්කාර් ටෙස්‌ට්‌ තරග 200 ක්‌ ක්‍රීඩා කරමින් යළි කිසිවකුට බිඳ හෙළිය නොහැකි වාර්තාවක්‌ පිහිටුවා තිබේ. සචින් දෙසීය වැනි ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 40 ඉක්‌මවා තිබුණි. එහෙත් අදාළ ඓතිහාසික වාර්තාව ඇඳිරිය ලැබී ඇති මොහොතේ හෝ සඵල කර ගැනීමට ඒ ශ්‍රේෂ්ඨ පිතිකරුවා කල්පනා කළේය. 

සචින්ට පසු රිකී පොන්ටින් (168), ස්‌ටීව් වෝ (168), ජැක්‌ කලීස්‌ (166), රාහුල් ඩ්‍රාවිඩ් (164), ඇලන් බෝඩර් (156) සහ ෂිවනරියන් චන්ද්‍රපෝල් (156) ලොව වැඩිම ටෙස්‌ට්‌ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්‌තුවේ පසුවේ. ඒ ලැයිස්‌තුවට ශ්‍රී ලංකාවෙන් ඇතුල්වීමට සිටින එකම ක්‍රීඩකයා මහේල ජයවර්ධනය. කුමාර් සංගක්‌කාරට එම සීමාවට පැමිණීමට තවත් වසර දෙක තුනක්‌ ටෙස්‌aට්‌ පිටියේ රැදී සිටීමට සිදුවනු ඇත. ඒ සංගක්‌කාර මේ වන විට ක්‍රීඩා කරමින් සිටින්නේ 125 වැනි ටෙස්‌ට්‌ තරගය නිසාවෙනි.

මහේලට තවම වයස 37 කි. ඔහුට තව අවුරුදු ගණන් 150 වැනි ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කිරීමට බලා සිටිය යුතු නැත. බලා සිටිය යුත්තේ මාස තුනක්‌ පමණි. මෙම වාර්තාව මහේලට අමතක වූ හැටි සහ ක්‍රිකට්‌ සභාපතිතුමාට මතක්‌ කළ හැටිත් අපි මෙසේ සටහන් කරමු.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව සමස්‌ත දේශය පුරාම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ජනප්‍රිය කරවීමට අපමණ දුක්‌ විඳි ඒ ප්‍රතාපවත් කට හඩට මහේල ළං වන වාර්තාව සිහිපත් විය. ඔහු පාලිත පෙරේරාය. මහේලගේ පියා වන සෙනරත් ජයවර්ධන පාලිත පෙරේරාගේ ගජ මිතුරෙකි. පාලිත පෙරේරාගේ දෙවැනි පුත්‍රයා සහ මහේල එකම පංතියේ සගයන්ය. ඒ සබැඳියාව හේතුවෙන් මහේලගේ සමුගැනීම දැනගත් සැණින් පාලිත මහේලගේ පියා අමතනු ලැබීය.

පසුව මහේලට අදාළ වාර්තාව පිළිබඳව පාලිත පෙරේරා විසින් දැනුවත් කර තිබේ. ක්‍රිකට්‌ විශ්වකෝෂයක්‌ බඳු පාලිත පෙරේරා ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස අමතමින් මේ වාර්තාව පැහැදිලි කර දුන්නේය. පසුව ධර්මදාස මහතාද අපි මහේලගෙන් ඉල්ලීමක්‌ කරමින් ඔහුව 150 වැනි ටෙස්‌ට්‌ තරගයට සහභාගි කරවන බව පවසා ඇත. ඒ ඉල්ලීම ක්‍රිකට්‌ ආයතනය විසින් මේ සුපිරි ක්‍රීඩකයාගෙන් මෙම සටහන තබන මොහොතක වන විටත් ඉල්ලා නොතිබුණි.

මහේල ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමට සැරසෙන්නෙ ලබන අගෝස්‌තු මස පාකිස්‌තානය සමග ටෙස්‌ට්‌ තරගයෙන් පසුවය. ඊට පසුව ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වන්නේ දෙසැම්බර් මස නවසීලන්තය සමග නවසීලන්තයේදීය. එම ටෙස්‌ට්‌ තරග දෙකට ක්‍රීඩා කිරීමට මහේල හැකි වුවහොත් ලෝක කුසලාන තරගාවලියට පෙර නවසීලන්තයේදී ඔහුට එම තණතීරුවල පදම් වීමට තවත් අවස්‌ථාවක්‌ සැලසේ. එපමණක්‌ නොව නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට යළිත් ටෙස්‌ට්‌ තරගාවලි ජය ගැනීමටද එමගින් වැඩි අවස්‌ථාවක්‌ හිමිවනු ඇත. 

සනත් ජයසූරිය ටෙස්‌ට්‌ පිටියෙන් සමුගැනීමෙන් පසු ක්‍රිකට්‌ ආයතනය විසින් ලද ඉල්ලීමක්‌ අනුව යළිත් ටෙස්‌ට්‌ තරගවලට සහභාගි විය. ඩී.එස්‌. ද සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්‌ට්‌ පිටියට සමුදෙන විට වයස අවුරුදු 42 කි. ඔහු ටෙස්‌ට්‌ වරම් ලැබුවේද වයස අවුරුදු 39 දීය. ලෝක ටෙස්‌ට්‌ පිටියට වයස අවුරුදු 40 ඉක්‌මවා සමුදුන් ක්‍රීඩකයන් 99 ක්‌ සිටිති. ඉතින් මහේලට වයස ප්‍රශ්නයක්‌ නොමැත. ඔහුට තවම 37 කි. ඔහු ඉවසිය යුත්තේ මාස 2 කි. 

ලෝකයේ වැඩිම ටෙස්‌ට්‌ ලකුණු ලාභීන් අතර පළමු දහ දෙනා අතර චිරාත් කාලයක්‌ වැජඹීමට මහේල දැනටමත් සමත්ව තිබේ. 

ලෝකයේ වැඩිම ද්විත්ව ශතක ලාභීන් අතර මහේල පස්‌වැනි ස්‌ථානයේ පසුවේ. ලෝකයේ ටෙස්‌ට්‌ උඩපන්දු දෙසීයක්‌ රැකගත් තෙවැනි ක්‍රීඩකයා වීමට මහේලට ඊයේ වන විට අවශ්‍යව තිබුණේ තව උඩ පන්දු දෙකක්‌ පමණි. ලොව දකුණත් පිතිකරුවකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව (374) මහේලගේ නම ඉදිරියේ සටහන් වේ. මහේල විසින් ක්‍රිකට්‌ පිටියේ සටහන් කළ වාර්තා එක්‌ ඡේදයකට ගොනු කළ නොහැක. ඒ අතරට ටෙස්‌ට්‌ තරග 150 ක්‌ ගහපු අපේ 'කොල්ලෙක්‌' ඉතිහාසගත වුවහොත් එය අනාගත 'කොල්ලන්ට' ආඩම්බරයකි. 

අසේල විතාන
http://www.divaina.com/2014/07/18/sports04.html

Pic Source

0 comments: