Pages

Monday, July 7, 2014

අධිරාජ්‍යවාදයට නොබියව මුහුණ දුන් වීර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌

ජාතික වීර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ විරුවාණන්ගේ 99 වැනි ගුණ සමරුව ජුලි 07 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

බ්‍රිතාන්‍යයන්ගේ අධිරාජ්‍යවාදයට ලංකාව නතු වී තිබිය දී ඒ වෙනුවෙන් අභිතව හඬ නඟන්නට ඉදිරිපත් වූයේ අතළොස්‌සකි. බොහෝ දෙනා බ්‍රිතාන්‍යයන්ගේ නොයෙකුත් වරදානයන්ට ගිජු වී තම රටත් ජාතියත් ආගමත් පාවා දුන්හ. මෙවන් සමයක අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව හඬ නඟමින් හා ක්‍රියා කරමින් ක්‍රියා කළ විරුවන් අතර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ යන නාමය සදානුස්‌මරණීය වේ.

ගාල්ලේ දන්ගෙදර සුප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයකු වූ ඩී. ඩී. පේද්‍රිස්‌ මහතාට හා මල්ලිනෝ පේද්‍රිස්‌ මහත්මියට දාව 1888 අගෝස්‌තු මස 16 වැනි දින දී ඔහු ජන්ම ලාභය ලැබීය. ගාල්ලේ දන්ගෙදරින් කොළඹ කොල්ලුපිටියට පැමිණි පේද්‍රිස්‌ පවුල පදිංචි වූයේ කොල්ලුපිටියේ "විමල්විලා" නම් නිවසේය. අනතුරුව පේද්‍රිස්‌ මහතා අධ්‍යාපනය ලබාදීම සඳහා එවකට කොළඹ ඇකඩමිය නමින් හැඳින්වූ රාජකීය විද්‍යාලයට තම පුතණුවන් ඇතුළත් කළ අතර එහි දී එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ ඉගෙනීමට මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවට ද සමත්කම් දැක්‌වීය.

තම පුතුට ඉහළ අධ්‍යාපනයක්‌ ලබා දී තම ව්‍යාපාරික කටයුතු පැවරීමට ඩී. ඩී. පේද්‍රිස්‌ මහතා උත්සාහ කළ ද හෙන්රි පේද්‍රිස්‌ගේ අවධානය යොමු වූයේ වෙනත් පැතිකඩකටය. එනම් නගරා රක්‍ෂක හමුදාව දෙසට ය. බ්‍රිතාන්‍යයන් රටටත් ජාතියටත් සිදු කරන ව්‍යසනය දුටු හෙන්රි පේද්‍රිස්‌ ස්‌වේච්ඡා භටයකු ලෙස කොළඹ නගරාරක්‍ෂක බලකායට එක්‌ විය. හෙන්රි පේද්‍රිස්‌ගේ දක්‍ෂකම් නිසා ම නොබෝ දිනකින් කපිතාන් තනතුරකට පත් වී අනතුරුව එහි අණදෙන නිලධාරියා බවට ද පත් විය. මෙකල බ්‍රිතාන්‍යයෝ සිංහලයන් හා භික්‌ෂුන් වහන්සේලා කෙරෙහි වැරදි චිත්‍රයක්‌ මවා ගෙන හුන් හ. එසේ ම ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කරන පිරිසක්‌ ලෙසටද බ්‍රිතාන්‍යයන් විසින් හඳුනාගෙන තිබිණි. මේ නිසා ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නට අවස්‌ථාවක්‌ පැමිණෙන තුරු බලා සිටි බ්‍රිතාන්‍යයන්ට කදිම අවස්‌ථාවක්‌ පැමිණුනේය. එනම් 1915 දී ගම්පොල දී බෞද්ධ පෙරහැරකට මුස්‌ලිම්වරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයයි. මෙම ගැටුම් ගම්පොලින් ආරම්භ වූව ද ක්‍රම ක්‍රමයෙන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලට ද පැතිරී ගියේය. කොළඹටද පැතිරී ආ මේ ගැටුම අතරතුර නොයෙකුත් කටකතා රාශියක්‌ ශීඝ්‍රයෙන් පැතිරුණි. එනම් සිංහලයන් විසින් මුස්‌ලිම්වරුන්ගේ කඩසාප්පු කඩා මංකොල්ල කමින් ගිනි තබන බවත් මුස්‌ලිම්වරුන් විසින් සිංහලයන්ගේ කඩසාප්පු මංකොල්ල කමින් පන්සල් ද ගිනිබත් කරන බවයි. 

සිංහල නායකයන්ට එරෙහිව කටයුතු කරන්නට අවස්‌ථාවක්‌ පැමිණෙන තුරු බලා සිටි බ්‍රිතාන්‍යයන්ට මෙය කදිම අවස්‌ථාවක්‌ විය. ඒ අනුව මෙම ගැටුම මුවාවෙන් අභූත චෝදනා නඟමින් බ්‍රිතාන්‍යයන් විසින් සිංහල නායකයෝ රැසක්‌ අත්අඩංගුවට ගනු ලැබූහ. නගරාරක්‍ෂක හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ හෙන්රි පේද්‍රිස්‌ට මෙම කෝලාහලය මැඩපැවැත්වීමට කටයුතු කිරීමට සිදු වූ අතර පෑලියගොඩ දෙස සිට කොළඹට පැමිණෙමින් සිටි පිරිසක්‌ වික්‌ටෝරියා පාලම අසල දී ඔහු විසින් සාර්ථක ව මැඩ පවත්වනු ලැබූහ. එහෙත් එම කාර්යය ඇගයීම වෙනුවට බ්‍රිතාන්‍යයන් විසින් ඔහු ද සිරභාරයට ගන්නා ලදී. එහිදී ඔහුට එල්ල කළ චෝදනාව වූයේ අසුපිට නැඟී කැරලිකරුවන්ට අනුබල දුන්නා යන්නයි. සැබවින් ම සුද්දන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කාලයක්‌ තිස්‌සේ ඔවුන් සතු වූ සැලසුමක්‌ අනුවය. එනම් බ්‍රිතාන්‍යයන් හා ජර්මනිය යුද වදින සමයේ හෙන්රි පේද්‍රිස්‌ගේ පියා ජර්මනියෙන් නිමි ඇඳුම් ආනයනය කිරීමයි. මෙය බ්‍රිතාන්‍යයන් සැලකුවේ ඔවුන්ට කරන මදිපුංචිකමක්‌ ලෙසයි. එසේම හෙන්රි පේද්‍රිස්‌ සතු වූ අශ්වයා තමන් සතු කරගැනීමට කිහිප වරක්‌ උත්සාහ කළත් පේද්‍රිස්‌ පවුල එයට එරෙහි වීම බ්‍රිතාන්‍යයන්ගේ වෛරය දියුණුවීමට බලපෑ තවත් හේතුවක්‌ විය. පේද්‍රිස්‌ පවුලේ ධනවත්කම ද ඔවුන්ට ඉවසුම් නොදෙන්නක්‌ විය.

බ්‍රිතාන්‍යයන්ගේ සිරභාරයට පත් හෙන්රි පේද්‍රිස්‌ ව නිදහස්‌ කරගැනීම සඳහා ඔහුගේ පියා මෙන්ම සිංහල නායකයන් කිහිප දෙනකුම උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. අනතුරු ව ඔහුට වෙඩි තබා මරණයට පත් කිරීමට බ්‍රිතාන්‍යයන් තීන්දු කළ අතර එය දඩයකට වෙනස්‌ කර ගැනීමට ඔහුගේ දෙමාපියන් සේම ශ්‍රීමත් හෙක්‌ටර්, පොන්නම්බලම් හා ඩග්ලස්‌ සේරම් යන අය උත්සාහ කළහ. හෙන්රි පේද්‍රිස්‌ගේ පියා බ්‍රිතාන්‍යයන්ට තම පුතාගේ බරට රත්‍රං දීමට ද සූදානම් වූ අතර ඒ සෑම උත්සාහයක්‌ම ව්‍යර්ථ කරමින් 1915 ජුලි මස 07 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ දී ඔහුට වෙඩි තබා මරණයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කරන ලදී. මරණ දඬුවම පිළිබඳව දැනගත් හෙන්රි පේද්‍රිස්‌ කිසිදු බියක්‌ හෝ චකිතයක්‌ ඇති කර නොගෙන සුද්දන්ගේ වෙඩි උණ්‌ඩයට මුහුණ දීමට සූදානම් විය. ඊට පෙර කරුණු 05 ක්‌ ඉටු කර දෙන ලෙස බ්‍රිතාන්‍යයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය. එනම් වෙඩි උණ්‌ඩයට පෙර මහාසංඝරත්නයට අටපිරිකර පූජාකොට ආගමික වතාවත් ඉටුකිරීම, තම දෙමාපියන් මුණගැසීම, සුද්දන් ලවා නොව පංජාබ් සෙබළුන් ලවා වෙඩි තැබ්බවීම, තම හමුදා නිලධාරීන්ට තේ පැන් සංග්‍රහයක්‌ පැවැත්වීම හා තම මළ සිරුර පවුලේ සුසාන භූමියේ තැන්පත් කිරීම එම ඉල්ලීම්ය.

එම ඉල්ලීම් ඉටු කර ගැනීමෙන් අනතුරුව තමා සම්පූර්ණයෙන් ම නිර්දෝෂි බව පැවැසූ මේ වීරයා සුද්දන් තම දෑස ලේන්සුවකින් ආවරණය කිරීමට සූදානම් වූ විට "එපා, මට උඹලා වෙඩි තියන හැටි බලන්න ඕනෑ. යනුවෙන් පැවැසීය. අනතුරුව ලේන්සුවකින් තම දෑස ආවරණය කරගත් ඔහුගේ පපුව සුළු වෙලාවකින් පංජාබ් සෙබළුන්ගේ වෙඩි හඬින් නිහඬ විය.

තම පුතුගේ අකල් වියෝව දරා ගත නොහැකි වූ පේද්‍රිස්‌ යුවළ තම පුතු බේරා ගැනීම සඳහා වියදම් කිරීමට සැලසුම් කළ සියලු මුදල් යොදවා කොළඹ හැව්ලොක්‌ටවුමේ ඉසිපතනාරාමය දැකුම්කලු, අංගසම්පූර්ණ විහාර සංකීර්ණයක්‌ බවට පත් කරන ලදී. එය ජාතික වීර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ විරුවාගේ නාමය වෙනුවෙන් සිදු කළ සදානුස්‌මරණීය සිහිවටනයකි.

හැව්ලොක්‌ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිකාරි, ශාස්‌ත්‍රපති වග විජිතවංශ හිමි
http://www.divaina.com/2014/07/07/feature02.html

සබැඳි ලිපි -
[1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html
]

0 comments: