Pages

Tuesday, July 8, 2014

සිංහල බෞද්ධයා උතුම් ගුණාංගවලින් පිරිපුන්, ඉහළ ගුණාංග තම ජීවිත පරමාදර්ශය බවට පත් කරගත්, අධ්‍යාත්මික ශික්‍ෂණයක් ඇති පිරිසක් - රවී කුමාර්

දෙමළ බෞද්ධ සංගමය සක‍්‍රිීය කර දෙමළ ජනතාව බෞද්ධයන් කිරීමටත් ඔවුන්ගේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමටත් වෙහෙස නොබලා කටයුතු කරන්නේ දෙමළ බෞද්ධ සංගමයේ වත්මන් සභාපති ඒ. රවීකුමාර් මහතායි. ඔහුත් සමග මුරගල ජාතික මාසික සගරාව කළ සංවාදයේ සටහන මෙසේ පළකරමු.

ඔබ සමග පළමු සම්මුඛ සාකච්ඡාව කරනු ලැබුවේ දෙමළ බෞද්ධ සංගමය ලෙස ඔබ යාපනයේ කදුරුගොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන දහම් පාසල සම්බන්ධවයි. අපි හිතනවා අද වන විට එදාට වඩා යම් දියුණුවක් ලබලා ඇතැයි කියා.

නැහැ! ඔබ නිවැරදි නැහැ. අපි ඉතා වෙහෙස මහන්සියෙන් පටන්ගත් දහම් පාසල තවදුරටත් කරගෙන යන්න නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා කියා කියන්නේ ඉතා කනගාටුවෙන්. දෙමළ බෞද්ධ පවුල් හාරසීයකගේ දරුවන් යොදාගෙන කදුරුගොඩ ප‍්‍රදේශයේ මා පවත්වාගෙන ගිය ළමුන් 80ක් පමණ සිටි දහම් පාසල අද වසා දමන තත්ත්වයට පත්වෙලා.

ඔබ පවසන කාරණය ඇසීමට සිදුවීම පවා වේදනාවට කරුණක්. මෙවැන්නක් සිදු වීමට බලපෑ කාරණය කුමක්ද?

කාරණා කිහිපයක් බලපෑවා. දහම් පාසලේ ඉගෙන ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව 80ක් දක්වා වර්ධනය කර ගන්නට අපට පුළුවන් වුණා. ඒ වගේම දෙමළ භාෂාව කතා කරන පවුල් 400ක් පමණ බෞද්ධයන් බවට පත් කිරීමට හැකියාව ලැබුණා. එහෙත් ගිහියකු ලෙස බෞද්ධ පවුල් 400කගේ පමණ ආගමික අවශ්‍යතාවයන් සපුරාලීමට මට පුළුවන්කමක් නැහැ. දෙමළෙන් බුදු දහම දේශනා කළ හැකි ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේට වැඩ සිටීමට ආවාසයක්, විහාර ගෙයක්, බෝධියක් ආදී සියලූ දේ අවශ්‍ය වෙනවා. මේවා ලබා දීමට කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නැහැ. මුරගල සගරාවේත් සී නිව්ස් ප‍්‍රමුඛ වෙනත් වෙබ් අඩවිවලත් මා සමග කළ සම්මුඛ සාකච්ඡාව පළ වූ පසු ඉතා විශාල පිරිසක් ආධාර දෙන්නට කතා කළා. නමුත් ඒවා වචනවලට සීමා වූවා.

ඔබ හිතන්නේ ඔබට කතා කළ උදවිය ඔබව රවටන්නට මූනිච්ඡාවට කතා කළා කියලද?

නැහැ! මම එවැනි චෝදනාවක් කිසිසේත් එල්ල කරන්නේ නැහැ. ඔවුන් ඇත්තටම ආධාර දෙන්නටයි කතා කළේ. නමුත් ඔවුන් දෙන මුදල් හෝ වෙනත් ආධාර එලෙස මට භාර ගත නොහැකියි. දෙමළ බෞද්ධයන් සුරැකීමේ සංවිධානයක් නිර්මාණය කර ඒ මගින් දෙමළ බෞද්ධයන්ගේ උන්නතියට වැඩ කළ යුතුයි. ඒ සඳහා බහුතර බෞද්ධයන් සිටින ප‍්‍රදේශවල සැබෑ බෞද්ධයන් මූලික වී කටයුතු කළ යුතුයි. ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් ඒ වෙනුවෙන් මූලික වෙනවා නම් ඉතා වැදගත්.

එවැන්නක් සිදුවනතෙක් කිසිවක්ම කළ නොහැකිද යාපනයේ දෙමළ බෞද්ධයා   රැක ගැනීමට?

නැහැ! තාවකාලිකව කළ හැකි දේවල් තිබෙනවා. දෙමළෙන් බුදුබණ දේශනා කළ හැකි බෞද්ධ හිමිවරු සිටිනවා. උන්වහන්සේලා දකුණේ ඈත පළාත්වල වැඩසිටින්නේ. ඉතින් උන්වහන්සේලා යාපනයට වැඩමවා මසකට වරක් හෝ ධර්ම දේශනාවක් හෝ වෙනත් ආගමික කටයුත්තක් මෙහෙයවීමට හැකි නම් එය අපේ බෞද්ධයන්ට මහත් සේ උපකාරී වෙනවා. එවැන්නක් කිරීමට නොහැකිව ඇත්තේ අපට උන්වහන්සේලා වැඩමවන්නට දරන්නට වන අත්‍යාවශ්‍ය බර පැන යෙදවීමට තරම් වත් කමක් නැති වීමයි. හිමි නමක් යාපනයට දකුණේ සිට වැඩමවා ධර්ම දේශනාවක් සංවිධානය කිරීමට අඩුම තරමින් රුපියල් 15,000ක් වත් වැය වෙනවා. එවැනි බරපැනක් දරන්නට හැකියාව ඇති බෞද්ධයෝ දකුණේ  ඕනෑතරම් සිටිනවා. එවැනි ධර්මදේශනාවලට උද්යෝගයෙන් සහභාගීවන ස්වාමීන්වහන්සේලා  ඕනෑතරම් ඉන්නවා. හැබැයි දෙමළ බෞද්ධයාගේ අවශ්‍යතාවය, හැකියාව තිබෙන සිංහල බෞද්ධයන්ට දැනෙන්නේ නැහැ. බලන්නෟ වෙසක් කලාප කීයක් කොළඹ ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැත්වූවාද? කොතරම් මුදලක් අනවශ්‍ය ප‍්‍රදර්ශනාත්මක වැඩ වෙනුවෙන් වැය කළාද? බුදුන්වහන්සේගේ තෙමගුල සිහිපත් කරන්න එපා නොවෙයි මේ කියන්නේ. නමුත් ඒවා පවා අර්ථවත්ව ප‍්‍රයෝජනවත්ව කළොත් කොයිතරම් අගනේද? වෙසක් කලාප එකකට වැය වන මුදලින් දෙමළ බෞද්ධයන් වෙනුවෙන් මාස ගණනක් ධර්ම දේශනා පැවැත්විය හැකියි. දෙමළ දහම් පාසලට පොත් පත්, ඇඳුම් පැළඳුම් රැගෙන දිය හැකියි.

අද වන විට දකුණේ පවා පන්සල් වැසී යනවා. ඉතිං යාපනයට ස්වාමීන්වහන්සේලා දකුණෙන් වැඩමවා ගැනීම අසීරුයි නේද?

ඔව්! පන්සල් වැසී යනවා. ගම්පහ ප‍්‍රදේශයේ පවා පන්සල් වැසී ගොස් ඇති බව වාර්තා වන බව එක් ස්වාමීන් වහන්සේ නමක් පැවසූවා. අනිත් අතට ළගදී දවසක මට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කටුනායක ගුවන්තොටුපළේදී හමු වූවා. උන් වහන්සේ මැලේසියාවට වැඩම කරමිනුයි සිටියේ. මම ඇහුවා ‘‘ඔබ වහන්සේ මැලේසියාවට වැඩම කරන්නේ ඇයි?’’ කියා. උන් වහන්සේ කියනවා, ‘‘මම ඉංග‍්‍රීසියෙන් බණ කියන පැත්තට යොමු වෙලා තියෙන්නේ, මැලේසියාවට ගියොත් මට ඒ පැත්ත දියුණු කර ගත හැකියි’’ කියලා. උන් වහන්සේ තවදුරටත් පවසා සිටියේ මැලේසියාවේ තිබෙන පන්සල් තුනක උන්වහන්සේ වැනි ශ‍්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා එකසිය පනස්නමක් වැඩ සිටිනවාය කියා. අනේ උන් වහන්සේලා දෙමළෙන් බණ කියන පැත්තට යොමු වුණා නම් මේ රටේ දෙමළ මිනිසුන්ට කොතරම් අධ්‍යාත්මික සහනයක් ලැබෙනවාද? දෙමළගෙ උළුඳු වඩයයි, මසාලා තෝසයයි වළඳන්න හිත හදාගන්නවා නම් මැලේසියාවට ගිහින් ඉංග‍්‍රීසියෙන් බුදු බණ දේශනා කරනවාට වඩා කොයි තරම් මේ රටට වැඩදායකද? මැලේසියාවේ බෞද්ධයන්ගේ පැවැත්ම ගැන හිතන්න එපා කියා නොවෙයි මම කියන්නේ. අපේ සියලූ දේ අභාවයට යන්නට දී අප ගොඩනැගිය යුතු දේ වල් වදින්නට ඉඩ දී වෙනත් රටකට ගොස් ධර්මදුත සේවයේ යෙදීමේ හරය මට නම් තේරෙන්නේ නැහැ. බුදු දහමට ඉල්ලූමක් ලොව පුරා ඇති වෙමින් තිබෙනවා. ඒක ඇත්තෟ ඒත් අපේ රටේ බුදු දහමට ඇති වී තිබෙන ඉල්ලූම, අපේ රටේ ප‍්‍රශ්නවලට බුදු දහමෙන් දියහැකි විසඳුම් සම්බන්ධව තැකීමක් නොකර මැලේසියාව ඇතුළු වෙනත් රටවල ධර්ම දූත සේවයේ යෙදීමේ අරුත මට නම් තේරෙන්නේ නැහැ.

ඔබ කියන්නේ සිංහල බෞද්ධයා ආත්මාර්ථකාමියකු යැයි කියාද?

නැහැ! මම එවැන්නක් කිසි විටකවත් පවසන්නේ නැහැ. සිංහල බෞද්ධයා උතුම් ගුණාංගවලින් පිරිපුන් මිනිසෙක්. දෙමළ මිනිසුන් තුළ නැති ඉතා ඉහළ ගුණාංග තම ජීවිත පරමාදර්ශය බවට පත් කර ගනිමින් ඉතාම ආදර්ශවත් ජීවිත ඔවුන් ගත කරනවා. නමුත් සිංහල බෞද්ධයා තමන් සතු සාරධර්ම තමන්ගේ අසල්වැසියා තුළ, තම රටේම දරුණු යුද්ධයකින් පසු වික්‍ෂිප්තව මානසිකව කඩා වැටුණු දෙමළ ජනයාගේ උන්නතිය වෙනුවෙන් දායක කළ යුතුයි කියා හිතන්නේ නැහැ. ඔවුන් හිතන්නේ එසේ කිරීමට තැත් කිරීම ආක‍්‍රමණකාරියි කියා. සිංහල බෞද්ධයා ආගමික සහජීවනය ඉතා ඉහළින් ලෝකයට පෙන්වූ ජාතියක්. මම එහෙම කියන්නේ අනුරාධපුර යුගයේ සඳකඩ පහනේ සිටි ගවයා පොලොන්නරු යුගයේ සඳකඩ පහනින් ඉවත් කරන්නේ දෙමළ හින්දූන්ගේ බලපෑමට අනුවයි. ඔවුන් එතරම් සහනශීලියි. ඒ සහනශීලීත්වය, ඒ සහජීවනය මූලධර්මවාදී ක‍්‍රිස්තියානි පල්ලිය දෙමළ ජනයා මංමුලා කිරීමට රිසි සේ භාවිතා කරනවා. දෙමළ හින්දුන්ගේ සංස්කෘතිය සභ්‍යත්වය සමග කිසිවිටකත් නොපෑහෙන මූලධර්මවාදී ක‍්‍රිස්තියානි ආගම දෙමළ හින්දු සමාජය තුළ උත්කෘෂ්ටත්වයට පත් කරනවා. දැන් එළඹ තිබෙන්නේ සිංහල බෞද්ධයා තුළ දෙමළා කෙරෙහි තිබෙන අවංක ආදරය පෙන්විය යුතුම කාලයයි. ඒ සඳහා හොඳම මෙවලම දෙමළ ජනයා වැඩි වැඩියෙන් බෞද්ධයන් කිරීමට වෙහෙස නොබලා කටයුතු කිරීමයි. එයයි අප ජාතියක් ලෙස මුහුණ දෙන සියලූ ප‍්‍රශ්න විසඳා ගැනීමට කළ යුතු හොඳම මූලිකම කාර්යය.

ඔබ දෙමළ ජාතිකයකු වුවත් යම් පමණකට දෙමළ විරෝධියෙක් කියා මට හැගෙනවා.

නැහැ! කොහෙත්ම නැහැ. මම දෙමළ වීම නිසාම දෙමළ සමාජය තුළ සියලූ සංස්කෘතික මූලයන්, ඒවායේ හරයන් මා හොඳින් දන්නවා. මම දෙමළ සභ්‍යත්වය තුළ හැදී වැඩුණා. ඒ වගේම වාසනාවකට මට මගේ තාත්තා පොලිස් නිලධාරියකු වූ නිසාම සිංහල බහුතරය ජීවත් වන ප‍්‍රදේශවල ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා. ඒ නිසා මට තේරෙනවා අපේ සංස්කෘතීන් දෙක අතර එකිනෙක පෝෂණය වූ දේ මොනවාද කියා. මම, සිංහල බෞද්ධ සමාජය තුළ තිබෙන අතිශය උසස් ගුණාංග දෙමළ ජනයා බෞද්ධයන් කිරීම තුළින් ලබා දෙන්නටයි උත්සාහ කරන්නේ. ඔබ දන්නවා කීර්තිමත් සිංහල චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ මහත්මයාව. ඒ මහතා දෙමළ සමාජය විනිවිද දැක චිත‍්‍රපටයක් නිර්මාණය කළා. එහි නම ‘‘පොන්මනී’’. එම චිත‍්‍රපටය තුළ කතා නායකයා තමන්ගේ නංගිව කසාද බන්දලා දෙන්න අවශ්‍ය දෑවැද්ද හොයා ගන්න, ලොකු දෑවැද්දක් තමා කසාද බඳින්නට ඉන්න ගැහැණු ළමයාගේ පාර්ශ්වයෙන් ඉල්ලනවා. ඒක තමයි දෙමළ සමාජයේ තරුණිය වෙලාගත් ශාපය. පතිරාජ මහත්මයා එතරම් හොඳට දෙමළ තරුණියගේ ගැටලූව දුටුවේ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ශික්‍ෂණය වුණු නිසයි. මට අවශ්‍ය මගේ සහෝදර දෙමළ ජනයාත් එවැනි ඉහළ සංස්කෘතික ශික්‍ෂණයක් බුක්තිවිඳින ජන කොටසක් බවට පත් කරන්නටයි. එවිට පමණයි ශ‍්‍රී ලංකාව තුළ ජීවත් වන ජනයා එක මවකගේ දරුවෝ බවට පත්වන්නේ. අපට වෙනම රටක් එපා. නමුත් ඔබලා භුක්ති විඳින සිංහල බෞද්ධ සංස්කෘතිය අපටත් නොඅඩුව භුක්ති විඳිමට අවස්ථාව දෙන්න.

ඔබ කෙටියෙන් පවසන්නේ සිංහල බෞද්ධයා ලෝකයේ සියලූම ජාතීන්ට වඩා මානව ගුණාංගවලින් පිරිපුන්, නමුත් ඒ ගුණාංග දෙමළ ජනයා අතරට කාන්දු කළ හැකි බුදු දහම දෙමළ ජනයා වෙත ගෙනයාමට උත්සුක වන්නේ නැහැ කියාද?

සිංහලයා බෞද්ධයකු වීම නිසා, මම නැවත අවධාරණය කරනවා සිංහලයා බෞද්ධයකු වීම නිසා ලෝකයේ කිසිදු ජනකොටසක් තුළ නැති අධ්‍යාත්මික ශික්‍ෂණයක් උරුම කර ගත්තා. එහෙත් ඒ උරුමය දෙමළ අපටත් ලබා දීමට උට්ඨාන වීර්යයෙන් යුතුව කටයුතු කිරීමට සිංහල බෞද්ධයා කටයුතු කරන්නේ නැහැ. ඒ ගැන මට කනගාටුයි.

උතුරේ දෙමළ ජනයාට දැන් ඔවුන්ටම කියා පළාත් සභාවක් ලැබිලා තිබෙනවා. ඒ ගැන දෙමළ ජනයා සතුටුවෙනවාද?

උතුරේ පළාත් සභාව පිහිටුවීමට පෙර අපි උසාවියට ගිහින් කිව්වේ ටී. එන්. ඒ. සංවිධානයේ ප‍්‍ර‍්‍රකාශ රට බෙදීමට උඩගෙඩි දෙන ප‍්‍රකාශ බවත් එවැනි ප‍්‍රකාශ කිරීම තහනම් කරන්නට උසාවිය කටයුතු කරන්න කියායි. ඒ සඳහා රටේ ජාතික සංවිධාන මැදිහත් වුණා. එදා උද්දාමය පත්ව ටී. එන්. ඒ. එකට ඡන්දය දුන් දෙමළ ජනතාවට අද ලැබුණු කිසිවක් නැහැ. ලැබිලා තිබෙන්නේ ඉහළ ගිය අපරාධ විතරයි. පසුගිය දිනක පුවත්පත් වාර්තා කළා, යාපනය දිස්ත‍්‍රික්කයේ එක සතියකට අපරාධ 46ක් සිදුවෙලා කියලා. මේවා අපි කලින්ම දැක්ක නිසයි කිව්වේ දැන්ම උතුරෙන් යුද හමුදාව ඉවත් කරන්න එපා කියලා. තිස් අවුරුදු කොටි පාලනයකට මුහුණ දුන් ජනතාවක් යාපනයේ ඉන්නේ. ඔවුන්ගේ ඥාතීන් වැඩි පිරිසක් ඉන්නේ බටහිර රටවල. ඒ රටවල ඩොලර් යාපනයේ ඉන්න තරුණයෝ අතරට එනවා. ඒ ආවහම එක ඩොලරයකට රුපියල් 125ක් තරුණයෝ අතට ලැබෙනවා. මේ අසීමිත මුදල  පරිහරණය කරන්න තරුණයන්ට තේරෙන්නේ නැහැ. මෝටර් බයිසිකල්වල නැගී රංචු ගැසෙන ඔවුන් සෙල්ලක්කාර ජීවිත ගත කරනවා. ඒ අනුව ඔවුන් අපරාධ සාමාන්‍යකරණය කර තිබෙනවා. පොලීසියට මේවා වැළැක්වීමට අපහසුයි. නමුත් යුද හමුදාව සිටියා නම් රස්තියාදුකාර දෙමළ තරුණයා හිතුමතේ දගලන්නේ නැහැ.

ඔබගේ ප‍්‍රකාශ දෙමළ විරෝධී ප‍්‍රකාශ යැයි කෙනෙක් පැවසුවහොත් . . .

කටේ කිරි සුවඳ ගිය නැති දෙමළ කොලූ පැටව් අරක්කු සිගරට් බිබී නන්නත්තාර ගැහැණු ඇසුරු කරමින් ජීවිත කාලකණ්නි කරගන්න එක නවත්වන්න විදියක් හොයන එක සැබෑ දෙමළෙක් වුණු මගේ වගකීමයි. වල් බූරු නිදහස දීලා දෙමළ දරු පැටවු විනාශ කරන්න ඉඩ දීලා මට බලන් ඉන්න බැහැ. ඒක නැවැත්විය යුතුයි. එය නැවැත්වීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ රජයට, පොලීසියට, හමුදාවට. ටී. එන්. ඒ. පාලනය සහිත පළාත් සභාවකින් රටටත් මුළුමහත් දෙමළ ජාතියටත් වන හානිය අඩුම තරමින් වැළකී සිටින්නේ ආණ්ඩුකාරවරයා විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියෙක් වූ නිසයි. රජයට පොලීසිය ඉවත් කරලා හමුදාව යාපනයේ පාලනයට යොදා ගන්නට බැරිනම් අඩුම තරමේ ජී. ඒ. චන්ද්‍රසිරි මහත්මයාව ආණ්ඩුකාර පදවියෙන් ඉවත් කිරීමවත් නැවැත් විය යුතුයි.

A. Ravikumar,
429,  Alady, Uduvila, Chunnakam.
Tel. 0711277373, 0212256217.

සංවාද සටහන - ජීවන්ත ජයතිස්ස - jeewanthaj@yahoo.com

http://lankacnews.com/sinhala/main-news/118634/

1 comments:

Deepika Weerakoon said...

Thank you for having the courage to voice your honest thoughts.. it is sad to see that we are on the verge of destroying the hopes of reconciliation, articles like this will help Sri Lanka to promote the true nature of the people living in Sri Lanka.