Pages

Friday, July 18, 2014

පළාත් සභා ලේකම්වරියට බලපෑම් කරන්නට මහ ඇමතිට බෑ. චක්‍රලේඛය වහාම අවලංගු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය

උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය අමාත්‍යවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ගමන් බිමන්, රාජකාරි වශයෙන් මධ්‍යම රජය සමග පවත්වන සම්බන්ධතා ඇතුළු කටයුතු පාලනය කෙරෙන උපදෙස්‌ මාලාවක්‌ ඇතුළත් උතුරු පළාත් මහ ඇමැති නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කර ගත් බව ඒ සියලු දෙනාම නිල වශයෙන් දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මහ ඇමැතිට උපදෙස්‌ දුන්නේය.

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා නිකුත් කළ එම චක්‍රලේඛය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයට එළඹියේ එම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විජයලක්‍ෂමී රමේෂ් මහත්මිය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුරටත් සලකා බැලූ අවස්‌ථාවේදීය. එම පෙත්සම සලකා බැලූ මුල් දවසේම උතුරු පළාත් මහ ඇමැතිට එවැනි චක්‍රලේඛයක්‌ නිකුත් කිරීමට බැලු බැල්මට බලයක්‌ නැති බව පෙනී යන බව පවසමින් චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරන ලදී.

උතුරු පළාත් මහ ඇමැති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනග්ඡ්ඊශ්වරන් මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ මහ ඇමැති නිකුත් කර තිබූ චක්‍රලේඛය මේ වන විටත් අස්‌කරගෙන ඇති බවය. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති දිවුරුම් පෙත්සමක ද ඒ බව සඳහන් කර ඇතැයි ද ඔහු කීය.

මෙහි පෙත්සම්කාරිය වන ප්‍රධාන ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා මේ අවස්‌ථාවේදී පැවසුවේ චක්‍රලේඛය ඉල්ලා අස්‌කර ගත් බව ඇයට නිල වශයෙන් දැනුම් දීමක්‌ නැති බවයි.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තනතුරට පෙත්සම්කාරිය පත් කරනු ලැබුවේ ජනාධිපති බවත් ඇගේ කටයුතු පාලනය කිරීමට රාජ්‍ය සේවා කොමිසමට හැර පළාත් සභාවට හෝ මහ ඇමැතිට කිසිදු නීතිමය බලයක්‌ නැති බවද ඔහු කීය.

ප්‍රධාන ලේකම්වරියට යෑවූ චක්‍රලේඛය ඉල්ලා අස්‌කර ගෙන ඇත්නම් ඇයට පමණක්‌ නොව චක්‍රලේඛය බලපාන සියලු දෙනාටම ඒ බව නිල වශයෙන් ලිතව දැනුම් දීමක්‌ කළ යුතු යෑයි අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා පැවසීය.

ප්‍රධාන ලේකම්වරිය තනතුරින් ඉවත් කිරීමට තර්ජනාත්මකව බලපෑම් කරන බවට ඇගේ පෙත්සමෙන් එල්ල කර ඇති චෝදනාවද පිළිබඳව ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

මහ ඇමැති විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් සඳහන් කළේ ප්‍රධාන ලේකම්වරියට දේශපාලන උවමනාවන් උඩ හිරිහැර බලපෑම් කරන බවට නගන චෝදනාවේ කිසිදු සත්‍යයක්‌ නොමැති බවයි.

මේ අවස්‌ථාවේදී අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා දෙපාර්ශවයම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ මෙය සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගත යුතු ප්‍රශ්නයක්‌ බව තමාට පෙනී යන බවයි. 

මහ ඇමැති හා ලේකම්වරිය අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීම පළාත් සභාවේ යහ පාලනයට බාධාවක්‌ වන බැවින් අදාළ සියලුම පාර්ශවයන් එක්‌ව සුහදව සාකච්ඡා කොට ගනු ලබන තීරණය ඊළඟ නඩු දිනයේදී උසාවියට ඉදිරිපත් කරන ලෙසද අගවිනිසුරුවරයා නීතිඥවරුන්ට දැනුම් දුන්නේය. 

අගවිනිසුරු, රෝහිණී මාරසිංහ හා බුවනෙක අළුවිහාරේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බලන ලදී. ලබන 28 දා පෙත්සම යළි කැඳවනු ඇත.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නෙරින් පුල්ලේ මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

සරත් ධර්මසේන 
http://www.divaina.com/2014/07/15/news23.html

Pic Source

0 comments: