Pages

Wednesday, July 2, 2014

කැලණි විහාරයේ ඓතිහාසික සිතුවම් ඡායාරූපගත කෙරේ

අතීතයේ ඓතිහාසික යුගයන්හිදී ලාංකීය කලාව පෝෂණය කරන ලද විවිධ ශෛලීන්ගේ කලාකෘති ලංකාවේ විවිධ ප්‍රදේශවල දක්‌නට ලැබේ. ඒ අතුරින් සිතුවම්වලට විශේෂ ස්‌ථානයක්‌ හිමි වේ. සිගිරි චිත්‍ර, කැලණි විහාරයේ සිතුවම්, තිවංක පිළිම ගේ සිතුවම්, පොලොන්නරුව ගල් විහාරයේ සිතුවම්, අභයගිරිය, ඡේතවනය සහ මිහින්තලය කන්ඨක චෛත්‍යයේ ධාතු ගර්භවල සිතුවම්, දෙගල්දොරුව, හිඳගල, මුල්කිරිගල, නුවර, දඹදෙණි යුගවල සිතුවම් ආදිය සිතුවම් කලාවට නව අරුතක්‌ එක්‌ කරන ලද සිතුවම් වේ. මේවා කාලයත් සමග විනාශ වීම සහ හායනයට ලක්‌වීම නොවැළැක්‌විය හැකි හේතුවකි. එනිසා සියලුම ඓතිහාසික සිතුවම් අනාගතයේදී යමකුට නැවත ඇඳීමට අධ්‍යයනය කිරීමේ පහසුවට හෝ දැක ගැනීම සඳහා දැනට පවතින තත්ත්වය ඡායාරූප මගින් වාර්තාගත කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

එම දීර්ඝකාලීන වැඩසටහනේ මුල් පියවර ලෙස කැලණි විහාරයේ බිතු සිතුවම් ඡායාරූප වාර්තාගත කිරීම මේ වන විට සිදුකරමින් පවතී. කැලණි විහාරයේ බිතු සිතුවම් තුළින්, මහනුවර යුගයේ මෙන්ම නූතන කලාවේ හැරවුම් ලක්‌ෂයක්‌ ලෙස හැඳින්විය හැකි සෝලියස්‌ මෙන්දිස්‌ගේ සිතුවම්වල සුවිශේෂිත්වය විද්‍යමාන වේ.

දීපව්‍යාප්ත පුරාවිද්‍යා ස්‌ථානවල මෙවන් වැඩසටහනක්‌ දියත් කරන පළමු අවස්‌ථාව මෙය වන අතර මෙම ඡායාරූප ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් නියමිත විද්‍යානුකූල ක්‍රමවේද යටතේ සිතුවම්වලට හානියක්‌ නොවී දැනට පවතින තත්ත්වය වාර්තාගත කෙරෙන බැවින් දිගු කාලයක්‌ ගතවන බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

වාසල සේනාරත්න
http://www.divaina.com/2014/07/02/provin01.html

0 comments: