Pages

Monday, July 7, 2014

රජත ජයන්ති පිච්ච මල් පූජාවට ජන ගඟක්‌

රටටත් ජනතාවටත් සෙත් පතා ශාන්ති පදනම විසිපස්‌වැනි වරටත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා සංවිධානය කළ පිච්ච මල් පූජා රජත ජයන්ති පුණ්‍ය මහෝත්සවය නන්දෙසින් පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරේදා (05දා) පැවැත්විණි.

පිච්ච මල් රැගත් පූජා පෙරහැර පෙරේදා (05දා) සවස 1.00 ට පමණ ථූපාරාමය අසලින් ආරම්භ වී ස්‌වර්ණමාලී මහ සෑය පෙත්මග පසුකොට බුදුගුණ ගයමින් අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩවසන බෝමළුවට ළඟාවෙත්ම එතෙක්‌ මහ මෙව්නා උයන සිසාරා පැවැති දැඩි හිරු රශ්මිය පහව ගොස්‌ බෝ සමිඳුන්ගේ ආශ්චර්යය යළිත් ලොවටම විදහා පාමින් මහ මෙව්නා උයනේ ඉහළ අහස වැහි වළාකුළු වලින් වැසී ගොස්‌ සෞම්‍ය කාලගුණික විපර්යාසයක්‌ සිදුවිය.

අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ ස්‌වර්ණමාලී චෛත්‍ය රාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත ශාන්ති පදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ මූලිකත්වය හා මඟ පෙන්වීමෙන් මෙම පිංකම සංවිධානය කොට තිබිණි.

මෙම මහෝත්සවයට පෙර වසර වලට වඩා වැඩි බැතිමතුන් පිරිසක්‌ සහභාගී වී සිටි අතර, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන් සහ නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්වරුද ඒ අතර වූහ.

රන් ආලේපිත පාත්‍ර සහ කූඩවල තැන්පත් කොට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා බැතිමතුන්ගේ සාදු හඬ මධ්‍යයේ පෙරහැරින් පිච්චමල් රැගෙන ආ අවස්‌ථාවේ මහ මෙව්නා උයනම පිච්චමල් සුවඳ සමඟ මුසුවූ සිල් සුවඳින් සුවඳවත් විය.

මේ අතර පිච්ච මල් පෙරහැර ගමන් ගත් මාර්ගයේ උඩු ගුවනේ සිට හෙලිකොප්ටර් යානා දෙකක්‌ මගින් පෙරහැරට විවිධ මල් සහ මල්පෙති විසුරුවා හැර පූජෝපහාර දැක්‌වූහ.

පෙරහැර ජය ශ්‍රී මහා බෝධිය වෙත ළඟාවීමෙන් පසු බෝ සමිඳුන් අබියසට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බෝ සමිඳුන්ට සිවුරක්‌ පූජා කොට පඬුරක්‌ ගැට ගසා ආශිර්වාද ලබා ගත්තේය.

පසුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරු මහා සංඝරත්නය සමඟ බෝ සමිඳු පාමුල එළා තිබූ පළසක්‌ මත පිච්ච මල් ඇතිරිල්ලක්‌ සේ අතුරා බෝ සමිඳුන්ට පූජා කරනු ලැබූහ.

පෙරේදා රාත්‍රී ස්‌වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසදී පැවැති දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාවෙන් සහ ඊයේ දවල් මහා සංඝරත්නය විෂයයෙහි පැවැති සපිරිකර සංඝගත දක්‍ෂිණාවකින් පිච්ච මල් පූජා පිංකම නිමාවට පත්විය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2014/07/07/news02.html

0 comments: