Pages

Thursday, July 17, 2014

දළයි ලාමාට "බෞද්ධයන්" මතක්‌ වීම

ටිබෙට්‌ අධ්‍යාත්මික නායක දළයි ලාමාතුමා සිය 79 වැනි උපන් දිනය පසුගිය දිනක සැමරීය. 79 වැනි උපන් දිනය වෙනුවෙන් ලාමාට සුභ පැතීම සඳහා එතුමාගේ ප්‍රබල අනුගාමිකයකු වන හොලිවුඩ් නළු රිචඩ් ගියර්ද ලඩාන් වෙත පැමිණ සිටියේය. හදිසියේම අපට දළයි ලාමාතුමා මතක්‌ වූයේ එතුමානන්ගේ 79 වැනි උපන් දිනය නිසා නම් නොවේ. එය ටිබෙට්‌ බෞද්ධයන්ට නම් විශේෂ වැදගත්කමක්‌ ඇත. නමුත් අපට වැදගත්වන්නේ එතුමාණන් සිය උපන් දිනයේදී පැවැත්වූ කථාවේදී ශ්‍රී ලංකා හා බුරුම බෞද්ධයන්ට විශේෂ පණිවුඩයක්‌ ලබාදී තිබුණු නිසාය. ටිබෙට්‌ අධ්‍යාත්මික නායකයා ලඩාක්‌ නුවරදී ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ හා බුරුමයේ බෞද්ධ බහුතරය මුස්‌ලිම්වරුන්ට හිරිහැර කිරීම වහාම නවත්වා දැමිය යුතු බවයි. බෞද්ධයන් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වීමට පෙර බුදුහිමියන්ගේ රූපය සිහිකළ යුතු බවයි. "බුදුන් වහන්සේ දේශනා කළේ මෛත්‍රිය හා කරුණාවයි. ඇත්තෙන්ම මේ ගැටුම් අවස්‌ථාවල බුදුන් වහන්සේ හිටියානම් උන්වහන්සේ, මුස්‌ලිම්වරු බෞද්ධයන්ගේ ප්‍රහාරවලින් බේරා ගන්නා බව මගේ විශ්වාසය"යෑයි යනුවෙන් දළයි ලාමා ප්‍රකාශ කර තිබිණි.

බුදුන් වහන්සේ කිසිවිටක සිය දහම පැතිරවීම පිණිස ප්‍රචණ්‌ඩත්වය භාවිත කරන්නැයි උපදෙස්‌ දී නැහැ. ඉතිහාසය පුරාම ප්‍රහාරයට ලක්‌වූයේ බෞද්ධයන් මිස සෙසු ආගමිකයන් නම් නොවේ. බටහිර ආක්‍රමණිකයන් පෙරදිග ලෝකයට පැමිණියේ එක්‌ අතකින් බයිබලයත් අනෙක්‌ අතින් බයිනෙත්තුවත් රැගෙන බව ප්‍රකට කරුණකි. මුස්‌ලිම් ආක්‍රමණිකයන් නිසා මධ්‍යම ආසියාවෙන් හා ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම බුදුදහම අතුගෑවිණි. භක්‌තියාර් ඛල්ජිගේ අශ්වාරෝහක හමුදාව නාලන්දා විශ්වවිද්‍යාලයේ සිටි භික්‍ෂූන් පන්දහසක්‌ මරාදමා එය ගිනිතැබූ ආකාරය යළි සිහිකළ යුතු නැත.

වසර 2600 ක ඉතිහාසය තුළ බෞද්ධයාගේ අත්වල ලේ ගෑවී නැත. නමුත් අනෙකුත් ආගම් ගැන අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් දළයි ලාමා තුමා හදිසියේම ථෙරවාදි බෞද්ධයන්ට එරෙහිව හඬනගන්නේ කවර හේතුවක්‌ නිසාද? බුරුමයේත් ශ්‍රී ලංකාවේත් ඇතිවූයේ සුළු සිද්ධීන්ය. බුරුමයේ රෝහිත්යා මුස්‌ලිම්වරුන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාර ගැන සැලකීමේදී අළුත්ගම හා බේරුවල ඇතිවූයේ ඒ හා සාපේක්‍ෂව සුළු සිද්ධියකි. නයිජීරියාවේ මුස්‌ලිම් අන්තවාදී බොකෝහාරම් සාමාජිකයන් එරට ක්‍රිස්‌තියානින් සිය ගණනින් ඝාතනය කරති. දේවමෙහෙයන්ට සහභාගිවූවන් වෙඩි තබා මරති. ඒ ගැටුම් හා සාපේක්‍ෂව බුරුමයේ හා ලංකාවේ ඇතිවූයේ කවර ප්‍රචණ්‌ඩත්වයක්‌ද? දළයි ලාමා තුමා කිසිම විටක මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව වචනයක්‌වත් ප්‍රකාශ කර නැත. බුරුම භික්‍ෂූන් වහන්සේලා ජිහාඩ් අන්තවාදයට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලමින් පෙළපාලි යන අයුරු දළයි ලාමාතුමා දැක නැත. බංගලාදේශයේ බෞද්ධ පන්සල් විස්‌සකට අධික ප්‍රමාණයක්‌ ගිනිතබමින් බෞද්ධ නිවාස සියගණනක්‌ මීට වසර දෙකකට පෙර විනාශ කළ අවස්‌ථාවේදී නම් දළයි ලාමා තුමා කිසිම ප්‍රකාශයක්‌ නිකුත් කළේ නැත. එතුමාට බෞද්ධ කඳුළු පෙනෙන්නේ නැතිද? ටිබෙට්‌ බෞද්ධයන්ටද ප්‍රශ්න ඇත. ථෙරවාදි බෞද්ධයන්ටද ප්‍රශ්න ඇත.

ටිබෙට්‌ අධ්‍යාත්මික නායකයා බංගලාදේශ බෞද්ධයාට වූ ප්‍රහාර ගැන කිසිවක්‌ නොකියා සිටියේ වංචාව නිසාද? 2013 ජුලි 07 වැනිදා සකළ ලෝකවාසි බෞද්ධයන්ගේ අතිමහත් පූජනීයත්වයට පත්වූ බුද්ධගයාවට ප්‍රහාරයක්‌ එල්ල විය. මෙය එල්ල කරනු ලැබුවේ ඉන්දියන් මුජහඩීන් නම් මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම විසිනි. ඔවුන් බුද්ධගයාවේ ටිබෙට්‌ පන්සලකටත් බෝම්බයක්‌ තබා තිබිණි. එහෙත් මේ ප්‍රහාර හෙළා දැකීම සඳහා දළයි ලාමාතුමා උත්සුක වූ අයුරු අප දුටුවේ නැත. මේ දෙබිඩි ස්‌වභාවය ථෙරවාදි බෞද්ධයන් කලකිරවන්නකි. මුස්‌ලිම් අන්තවාදීන් ටිබෙට්‌ බෞද්ධයන්ට එරෙහිව ක්‍රියා නොකරන්නේ යෑයි දළයි ලාමා තුමා සිතා සිටින්නේද? මෙය අපට නම් උභතෝකෝටිකයකි. මුස්‌ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල වන විටදී බුදුන් වහන්සේ ගන්නේ මුස්‌ලිම්වරුන්ගේ පැත්ත බව ටිබෙට්‌ අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර තිබිණි. එසේ නම් බුද්ධගයාවේ බෝම්බ පුපුරද්දී ඒ සම්බන්ධව බුදුන්වහන්සේ කවර ස්‌ථාවරයක්‌ අනුගමනය කරයිද යන්න ගැන ලාමාතුමා කිසිවක්‌ නොකියයි.

මීට පෙර 2013 වසරේ මැයි මාසයේදී ඇමරිකාවේ මේරිලැන්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක්‌ පවත්වමින් ලාමාතුමා මුස්‌ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල නොකරන ලෙස බුරුම හා ශ්‍රී ලංකා බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් 2013 ජුලි මාසයේදී බුද්ධගයාවට එල්ලවූ ප්‍රහාරය ගැන ටිබෙට්‌ නායකයා කිසිම තැනකදී විශේෂ සඳහනක්‌ කළ බව අපට දැනගන්නට ලැබුණේ නැත. නිරන්තරව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පෙනී සිටින ලාමාතුමා බුද්ධගයා ප්‍රහාරය හෙළා දකිමින් නිවේදන නිකුත් කිරීමට උනන්දු නොවූවේ මන්ද? එතුමා බාමියන් බුදුපිළිම විනාශ කිරීම හෙළා දැක්‌කේද යන්නත් අපට ප්‍රශ්නයකි. එතුමා බෞද්ධ තලෙබාන්වරු ගැන භීතිකාවක්‌ ඇති කරද්දී සැබෑ තලෙබාන්වරු හා අල්ඛයිඩාව ගැන කිසිවක්‌ ප්‍රකාශ නොකරයි. බෞද්ධයන් වශයෙන් මෛත්‍රිය හා කරුණාව පැතිරවිය යුතුය. අන් ආගමිකයන් කෙරෙහි සෑමවිටම මෛත්‍රිය හා කරුණාව පැතිරවූයේ බෞද්ධයා මිස අනෙකකු නොවේ. බෞද්ධයන්ගේ බෙල්ලට පිහිය තබද්දීත් මෛත්‍රිය කරුණාව පැතිරවිය නොහැක. එසේ නම් රහත්වී සිටිය යුතුය.

ශ්‍රී ලංකා සහ බුරුම බෞද්ධයන්ට මෛත්‍රිය හා කරුණාව පතුරුවන්නැයි උපදෙස්‌ දුන් දළයි ලාමා තුමාට අශ්වින් විරතු හිමියන් ඉතා හොඳ උත්තරයක්‌ ලබාදී ඇත. එහි සිංහල පරිවර්තනයක්‌ අන්තර්ජාලයේ පළවී තිබිණි. එය මෙසේ උපුටා දක්‌වමි.

සියලුදෙනා ඉවසීම හා කරුණාව අපේක්‍ෂා කරන්නේ බෞද්ධයන්ගෙන් පමණි. ලොව වැඩිම ප්‍රමාණයක්‌ ත්‍රස්‌තවාදි ක්‍රියා සිදුකරන්නේ බෞද්ධයන්ද? ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය, ලාඕසය හා කාම්බෝජය ලොව ඉතිරිවී ඇති ථෙරවාදි බෞද්ධ රටවල්ය. අතීතයේදී බෞද්ධයන්ගේ ඉවසීම ප්‍රයෝජනයට ගත් අන්තවාදීන් භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කොට පකිස්‌තානය, ඇෆ්ගනිස්‌ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව වැනි රටවලින් බුදුදහම අතුගා දැමූහ. ලොව වැඩිම කාලයක්‌ බුදුදහම රැකගත් ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ භික්‍ෂුන් වහන්සේලා ඉදිරියටත් බුදුදහම රැකගැනීමට නායකත්වය දෙනු ඇත. ඔබ වහන්සේ ථෙරවාදි බෞද්ධයන්ට උපදෙස්‌ දීමට පෙර බටහිර ගැති ක්‍රියාපිළිවෙත නවත්වා චීනය තුළ ටිබෙට්‌ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක්‌ උදාකරදීමට ක්‍රියාකරන්නේ නම් එය වඩාත් යහපත්වනු ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/07/13/feature10.html

Pic Source

0 comments: