Pages

Monday, July 28, 2014

මාතලේ කැරැල්ලේ පළමු ගිනි පුපුර දැල්වුණු වාරියපොළ කෝපිවත්ත

වාරියපොල' කී විට මේ සිහළ රටේ වාරියපොල ග්‍රාමයන් හෝ නාගරික පෙදෙස්‌ නම් කොපමණ ඇතිද? කුරුණෑගල - වාරියපොල, ඌවේ- වාරියපොල, මාතලේ - වාරියපොල ඉන් කිහිපයකි. අදට වසර 166 කට පෙර හෙළ දිවට සෙනහස දැක්‌වූ දෑ හිතකාමි පිරිස්‌ එක්‌ව ජීවත්වීමේ අරගලය උදෙසා කැරලි ගසන්නට අරඇද්දේ මාතලේ වාරියපොල දී ය. එය අද අප සිහිකළ යුත්තේ ඊට මුහුණදුන් සැබෑ මිනිසුන්ගේ නාමයෙනි. සුද්දන්ට හැකි තරම් ගැතිකම් කළද හෙළයා එදා එක්‌ ජාලයක්‌ ලෙස තනි වචනයට කටයුතු කළ බවක්‌ පසක්‌ වන්නේ අවි ආයුධ සූදානමක්‌ නොමැතිව තම අතලු දොර පොල්ල වුවද ගෙන පෙරට පැන තම ජාතිය රැක ගැනීමට වෙහෙසීමෙනි. බොහෝ විද්වතුන් 1848 කැරැල්ල දකින්නේ තකතීරුකමක්‌ හැටියටය. ඊට හේතු ලෙස ඔවුන් දක්‌වන්නේ එදා ලෝකයේ බලගතුම රාජ්‍යයක්‌ වන ඉංග්‍රීසින් මෙලක පාලනය කරන සමයේ පෙර සූදානමකින් තොරව හෙළයා පෙරට ඇදි සටනක්‌ ඇරඹිම නුසුදුසු බවයි. 

සිංහලේ සටන් අප දකින්නේ කැරැල්ලක්‌ ලෙසය. 1815 උඩරට කැරැල්ල, 1848 මාතලේ කැරැල්ල ආදි වශයෙන් ප්‍රකට එබැවිනි. සියලු කැරැල්ලන්හි මූලික අරමුණ වූයේ සිංහලයේ අයිතිය රැකගැනීමයි. ඉංග්‍රීසින්ට යටත් වුවද මිනිසාගේ ජීවත්වීමේ අයිතිය රැක ගැනිමයි. 

මීට වසර 166 කට පෙර හෙලයින් බොහෝ සන්තාප සිත් ඇතිව ජීවත් වූයේ යෑයි කියන මාතලේ වාරියපොල සොයා අප ගියේ ඉකුත් දිනෙකය. 1847, 1848 කාලවල උඩරට කඳුකරයේ බොහෝ පෙදෙස්‌ සශ්‍රීක කෝපි වගාවෙන් නිල්ල ගසා තිබූ බව අසා තිබුණි. සිංහලයාගෙන් කොල්ලකා ගත් මේ භූමියේ වැවිලි රාජ්‍යය තුළ යුරෝපීය වැවිලිකරුවෝ මහා රජවරුන් සේ වැජඹුනහ. ඊට උදවු සැපයූයේ ඉංග්‍රීසින්ය. 

මේ අතීත ආවර්ජනය නිතර දෙවේලේ මනසට ඉදිකටු තුඩින් ඇන ඇන අවදිකරුවන්නේ එහි ගොස්‌ අද තරම දැකගැන්මයි. දෑස මානයේ සැබෑවක්‌ කොට ගනිමින්, එහි ගියෙමි. මාතලේ කොහොඹිලිවෙලින් වාරියපොල දෙසට හැරෙන තැනම ඇත්තේ එදා සුද්දා සිටවූ තැපැල් පෙට්‌ටියයි. එය වරින්වර අලුත් පැහැ ගැන්වෙමින් අතීතයේ සිහි ගන්වන යකඩ කණුවෙහි රැදෙමින් තිබේ. අසලම විශාල නුග ගසෙකි. වසර 166 කට පෙර මෙහි පැද්දි පැද්දි හාත්පස වියරු කෙරෑවේ මළ මිනිස්‌ සිරුරය. 

'මේ ගහ ගැන දන්නවාද? 

අසල හුන් මැදිවියේ අයකුගෙන් විමසන විට 'නෑ ඇයි' කිය.

අරුමයකි. මේ සා ඉතිහාසයක තතු සඟවා සිටින අතුපතර විහිදුවා පෙදෙසම අඩ අඳුරේ රඳවමින් අද්භූත ලෙසින් වැජඹි සිටින නුගය නොදන්නෙක්‌ මේ පෙදෙසේ විසීමත් අරුමයක්‌ය.

ගසත් තැපැල් කණුවත් පසු කොට මාතලේ දෙසට පා තැබිය යුත්තේ අඩි කිහිපයකි. 'වීර පුරන් අප්පු ස්‌මාරකය'... පාර අද්දර කණුවෙන් එපිට වැට මායිමේ කලුගල් කැබැල්ලක්‌ සේ පොලොව මත දරා සිටි. 

පුරන්අප්පු යළි අවදිව මෙහි පැමිණියද එය ඔහුට හෝ සොයා ගත නොහැකිය. අතීත සැමරුම එපරිදිය. එහි අගය පොතට පතට අපට පමණක්‌ විය හැකිය. සාමාන්‍ය ජනයා පුරන් අප්පු සිහි කරමින් ස්‌මාරක තනමින් හිඳ වේලක්‌ පිරිමසා ගන්නද? එහෙයින් සාමාන්‍ය ජනතාව සමග අතීතය ගනුදෙනු නොකොට වාරියපොල දෙසට ගියෙමි. 

1815 සහ 1818 කාලවකවානුව තුළ කන්ද උඩරට සිදුවූයේ ඉතිහාසයේ ගලක කෙටු මතකයන් ඉතිරි කරන සිද්ධීන් ය. 1819 වන විට කන්ද උඩරට විසූ ප්‍රභූ පවුල්වල හෝ ජන නායකත්වය දැරූවන් අතරින් කිසිවෙකුත් ජිවතුන් අතර නොවීය. ඒ බැව් ලෝරිගේ Gazette of the Central Province of Ceylon කෘතියෙන් මොනවට පැහැදිලි වෙයි. 

1848 ජුලි 28 වෙනිදා මාතලේ පෙදෙසම මූසල පාළුවකින් වෙලි ගියේය. වාරියපොල කෝපිවත්තේ පොලොව සිංහලයන්ගේ මළ සිරුරුවලින් ගලාගිය ලෙයින් තෙත්වී ගියේය. ඒ අතීත වත යළි යළිත් මා කම්පනය කරමින් ඇත්තේය. මාතලේ බස්‌ පාරෙන් අතුරු පාරට වැටී දුම්රිය මාර්ගය හරහා කන්දට පිවිසෙත්ම ඇඟ කිලිපොලා ගියේය. මේ වැලිකැට ගාණේ ශේෂව ඇත්තේ අතීත විරුවන්ගේ පණනලය. ඔවුන්ගේ හුස්‌මෙන්ද වාතලයට මුසුවන කළ ඇට මස්‌ ලේ නහර මේ බිම්කඩ වසා දිනෙන් දින පොළෝ තලයට උරාගන්නට ඇත. අද මා මේ පා තබා යන්නේ ඒ බිමෙහිය. 

1872, 1882, 1892 කාලවල වාරියපොල තත්වය ලොරි ඔහුගේ තෙවැනි කෘතියෙන් දක්‌වා තිබුණි. 'මාතලේ නගරයෙන් වරකාමුර පාර හි සැතැප්මක්‌ පමණ ගිය කළ වැටි ඇත්තේ වාරියපොල කෝපිවත්තේ මායිමය.' ඔහු ලියා තිබුණි. 

මාතලේ දකුණු කොටසේ මැදසියපත්තුව ග්‍රාමයේ පිහිටි වාරියපොල වසම් දෙකකින් සමන්විතව තිබි ඇත්තේ 1871 දිය. ඒ තිබ්බටුමුල්ල සහ දුඹුකොළ ලෙසයි. 1848 ගණන්වල වාරියපොල කෝපිවත්තේ සිදු වූ ඝාතන ගිනි තැබීම ඇතුළු අනෙක්‌විධ ව්‍යසන හේතුවෙන් දශක කහිපයක්‌ පුරාම ජනයා සිය ජනාවාස ඇති කරගැනීමට උනන්දුවක්‌ දක්‌වා නැති බැව් පතපොතින් කියවා දැනගත හැකිය. 1881 වන විට වාරියපොල ජනගහනය 208 දෙනෙකි. අක්‌කර පනස්‌ හතරක භූමියක්‌ සඳහා ජලය ලබා ගෙන ඇත්තේ පෝරු කොට අමුණෙනි. 

පට්‌ටවෙල, වෙල්ලාල, හන්නයෝ, බජන්දුරයෝ මුවාමන් සහ දෙමළ යන ජන කොට එකල වාරියපොල ජිවත්ව ඇත. 

මෙය 1848 ගණන්වල ඊට හාත්පසින් වෙනස්‌ ස්‌වරූපයක්‌ ගෙන තිබුණි. 
ආසියාවේ තිබු සරුසාර බවින් පිරිපුන් කෝපිවත්ත පිහිටියේ වාරියපොලය. එය මාතලේ සිට වත්තේගම දක්‌වා හෙක්‌ටයාර් 4000 ත් 6000 ත් අතර, වපසරියක පැතිරි තිබිණි. හෙට්‌ටිහේවාගේ හීරලගේ, හම්පටගේ මුහන්දිරම්, වාරියපොල උන්නාන්සේ මෙම පෙදෙසේ ජීවත් වූ අතරම කෝපිවතුවල සේවයේ යෙදුනේ සිංහලයින්ය. 

සුද්දා කෝපි වත්ත මධ්‍යයේ වූ බංගලාවේ සිට වත්ත පාලනය කරමින් ලාභය රැජිනට සපයමින් යෙහෙන් වැජඹිණි. 

අද ඒ බැව් සනාථ වන සලකුණක්‌ හෝ දක්‌නට නැත. සිංහල ජවය එකාවන්ව තෙරපෙමින් 1948 කෝපිවත්තට තැබූ ගින්න මේ වසර 166 පුරාම දැවෙමින් අළුවෙමින් පැවත ආ සෙයකි. අද මේ බිමෙහි ඇත්තේ, නව ඉදිකිරිම්ය. රබර් වතුය. මිශ්‍ර වගාය. මිනිස්‌ ජනාවසය. 

කෝපි වත්තක්‌ තිබූ බවක්‌ දන්නෝද නැති තරම්ය. සිටියේ තිදෙනෙකි. එක්‌ අයෙක්‌ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන විඡේකෝන් මහතාය. පන්සලේ හාමුදුරුවෝය. සරත් මහතාය. 

ඒ ඉතිහාසය පිළිබඳව දරුණු වේදනාවකින් පිපාසයකින් සේම සැබෑම අභිමානයෙන් වෙසෙන අතලොස්‌ස අතරින්ද සැබෑ මිනිසුන්ය. 1833 සිට පාලනය බදු අය කිරිම් හා අධීකරණ කටයුතු ද එකම නීති සම්ප්‍රදායක්‌ තුළට යොමුකිරීමෙන් ප්‍රශ්නය ඔඩු දිව්වේය. වීරපුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්‌ඩා, වීදිපැලැල්ලේ බණ්‌ඩා ආදින් කුපිත වූයේ මහජනයා බදු බරින් පිඩිත වූ නිසාය. ඉන් මිදිමට ඔවුහු නොකළ දෙයක්‌ නැත. උඩරට සිංහල ගැමියෝ තම ගැමි නායකයින් සමඟ ගොස්‌ මධ්‍යම පළාත කරවන දිසාපති බුලර් හමුවූහ. මුහුදු බඩ හා පහතරට පළාත්වල වැසියෝද තම තමන්ගේ නායකයින් හමුවී දුක කීය. විරෝධය පළ කළහ. ඒ අනුව 1848 ජුලි 26 කොළඹ හංවැල්ල පානදුර ආදි පෙදෙස්‌වලින් පැමිණි 5000 ක සෙනගක්‌රැස්‌වී බදු අහෝසි කරන ලෙස ඉල්ලූහ. 

මේ විරෝධතාවල පලක්‌ නොලද බැවින් පුරන්අප්පු, කරෝඅප්පු හා දිනිස්‌ යන තිදෙනාගේ මෙහෙයවීමෙන් හා සැලැස්‌මෙන් ගරිල්ලා ක්‍රමයේ සටනක්‌ සැලසුම් කළේය. එතෙක්‌ ඉංග්‍රීසින්ගේ තුවක්‌කු පතරොම් ආදි ගිනි බලයෙන් සිංහලයා පසු බැස්‌සේය. 

වාරියපොල සරුවට වැඩුණු කෝපි වතු වලට කෝපි ගබඩාවට පහර දී වතුකාරයින් පලවා හැර සියතට පත් කොට ගත්හ.

ඉන් නොනැවතිනි. මහනුවරින් පිටත් වූ සේනාංක දෙකක පිරිස මාතලේට පැමිණ වාරියපොල වත්තේ සටන් ඇරඹිය. මූලිකත්වය ගත්තේ කැප්ටන් ලිලී සහ කැප්ටන් වොට්‌සන්ය. 

ඒ අතීතය ස්‌මරණය කරන්නට වාරියපොල ඉහළ කොටස දැනුදුද අවකාශ සපයයි. පේන නොපෙනන භූමිය පුරා සැරිසරන ගුප්ත බව අන්ධකාරය වසර 166 ක අතීතය මතකයට කැඳවයි. 

එහෙත් මෙහි වෙසෙන, මේ පොළොව සාරය ලබන ජනයා මේ පොළොවේ අරුත නොදනි. 

අරුත දනවන්නට ඇප කැප වන්නෝද නැත්තා සේය. 

ඉදින් එදා ආසියාවේ නිල්ල ගැසු කෝපිවත්ත තවත් වසර කිහිපයකින් මිනිස්‌ මතකයෙන් ඈතට නික්‌ම ඡායාවක හෝ නොරැඳුනහොත් එහි අභාග්‍යය ඉතිහාසයටද? වර්තමානයටද? අනාගතයටද? නොදනිමි. 

මුතුමාලි මුතුබණ්‌ඩාර
http://www.divaina.com/2014/07/27/feature03.html

0 comments: