Pages

Tuesday, July 22, 2014

සතොස ලොක්කෝ යුනිලීවර්ට විකිණේ. රටසවාරි සහ මුදල් ත්‍යාග!

මෙරට ක‍්‍රියාත්මක ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගමේ භාණ්ඩ විකිණීමට ප්‍රමුඛත්වය ලබා ගැනීම සඳහා සතොස ආයතනයේ කළමණාකාර නිළධාරීන්ට මුල්‍යමය ත්‍යාග හා අල්ලස් දී ඇතැයි පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය චෝදනා කරයි.

මීට එරෙහිව එම සන්ධානය විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඊයේ දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.

එහිදී අදහස් දැක්වූ පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මල්ලවආරච්චි මහතා -

සම්පූර්ණයෙන් රජයට අයත් ලක් සතොස ආයතනයේ කළමණාකාර නිළධාරීන්ට රට තූල ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගම මගින් එම සමාගමේ භාණ්ඩ විකිණීමට ප්‍රමුඛත්වය ලබා ගැනීම සඳහා මූල්‍යමය ත්‍යාග සහ විදේශ සංචාර අල්ලස් වශයෙන් ලබා දීමට එරෙහිව අපි අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට සහ සහ පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරියට පෙත්සම් දෙකක් බාරදුන්නා.

අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙ සභාපතිතූමා අපේ පැමිණිල්ල බාරගන්න අවා. ඒත් කියන්න කණගාටුයි පාරිභෝගික යහපත වෙනුවෙන් ඉන්නවයි කියන පාරිභෝගික සේවා අධිකාරියෙ කිසිම වගකිවයුතූ නිළධාරියෙක් ආවෙ නැහැ. හැමෝම මීටින් වල. අපේ පාරිභෝගිකයා රැකගන්න එයාල මීටින් තියනව. මෙහේ රාජ්‍ය ආයතන බහුජාතික සමාගම් එක්ක රටසවාරි යනව.

සතොස ආයතනය වක්‍රාකාරයෙන් බහුජාතික සමාගමට නතූ කරගන්න ඇතිකරගත් මේ එකඟතාවය නම් කරල තියෙන්නෙ සතොස සූරයෝ කියල. අපි කියනව සතොස සුරයෝ නෙමෙයි ජනතාවගෙ මාරයෝ කරන්නයි මේ හදන්නෙ. මේ එකඟතාවයෙ තියෙනව එක් එක් ප්‍රාදේශීය කළමණාකරුවන්, වෙළඳසැල් කළමණාකරුවන් කල යුතූ ඉලක්කය. ඉලක්ක ගත විකූණුම් ප්‍රමාණය අපේ රටේ අහිංසක පාරිභෝගිකය අන්දලා විකූණුවම එයාලට යුනිලීවර් සමාගම රටසවාරි සහ මුදල් ත්‍යාග දෙනව. මේක සාහසික වංචාවක් නෙමෙයිද ?

අපේ රටේ මිනිස්සු සතොස ට යන්නෙ කීයක්හරි අඩුවෙන් හොඳ භාණ්ඩ ලබාගන්න. රැවටිලිකාරයන්ගෙන් පිරුණු අපේ වෙළඳපලේ විශ්වාසවන්තයි කියල හිතල තමයි සතොසට යන්නෙ, මෙන්න සතොස මිනිස්සුන්ව වංචා කරන හැටි ?

මෙහිදී විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයක් මේ වගේ බහුජාතික සමාගමක් සමග එකඟතාවයකට එළඹ තිබීම නීතිවිරෝධීයි. ඒ වගේම දේශීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අලෙවි කීරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් වඩාත් ගූණාත්මක භාණ්ඩ පාරිභෝගිකයාට ලබා දීම අරමුණු කරගෙන පිහිටවූ සතොස ආයතනය අද කරන්නෙ බහු ජාතික සමාගම්වලින් සන්තෝෂම් ලබාගෙන ඔවුන්ගේ භාණ්ඩ අපේ පාරිභෝගිකයාට විකිණීම. මේකද සතොස කල යුතූ වන්නේ ?

වර්තමාන ආණ්ඩුවෙ උත්සාහය වෙන්නෙ දේශීය නිෂ්පාදකයා ප්‍රවර්ධනය කිරීම උනත් රජය පිහිටවපු සතොස ආයතනය රජයට පටහැණී විදියට කටයුතූ කරනව. පාරිභෝගික කටයුතූ අමාත්‍යංශය යටතේ පවතින මෙම ආයතනය සම්පූර්ණයෙන් මේ කරන්නෙ රාජ්‍ය විරෝධී ඒ වගේම නීති විරෝධී වැඩක්. ඒ නිසා අපි අල්ලස් දූෂණ කොමිසමේ සභාපති තූමාගෙන් ඉල්ලනව මේ පිළිබඳ විධිමත් පරික්‍ෂණයක් තියල මේ වගේ රාජ්‍ය ආයතනයක් බහුජතික සමාගමකට විකූණපු ඒ නිළධාරීන්ට දඩුවම් දෙන්න කියල.

මෙහිදී රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් පී. හේවාගමගේ මහතාද, සන්ධානයේ නීති උපදේශක උපාලි ලොකූමරක්කල මහතාද අදහස් දක්වන ලදි.

මෙම අවස්ථාව සඳහා සන්ධානයට අයත්, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ලේකම්, ශී්‍ර ලංකා හරිත පක්‍ෂයේ ලේකම්, ගොවි අයිතීන් සුරැකීමේ එකමුතූවේ සභාපති අරුණ කරණායක මහතා, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති, දැයේ දිවිය සංවිධානයේ ලේකම්, සමස්ත ලංකා ගෘහණියන්ගේ සංගමයේ ජාතික සංවිධායිකා ඇතූලු සන්ධානයේ නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

http://lankacnews.com/sinhala/news/119430/

0 comments: