
බුදුන් වැඩ නොසිටියත්, සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවත එන බුද්ධ පුත්‍රයෙක් ගැනය.
බුදුන් වදාළ දහමට අනුව යමින් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස සේවයේ යෙදී සිටින, බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි, ලෙනදොර, අලුත්ගම, සේරුදණ්‌ඩාපොල, ශ්‍රී පාරමිතා පූජා සේනාසනාධිපති පූජ්‍ය මුල්ලේගම අමිතානන්ද හිමියෝ. මව්පිය සෙනෙහස නොලද දරුවන් දාහත් දෙනකු මහණ කර සසරින් එතෙර කිරීමට වෙර දරන පූජ්‍ය මුල්ලේගම අමිතානන්ද හිමියන්ගේ මතු බලාපොරොත්තුව මතු බුදුවීමය.
නැසෙන කයක් තුළ ජීවිතය තුළ සිදුකළ යුතු වගකීම හා යුතුකම බුදුන් වහන්සේගේ පෙන්වාදීම තුළින් මේ පවතින කෙටි කාලය තුළ සිය වගකීම් ඉටුකිරීම පූජ්‍ය අමිතානන්ද හිමියන්ගේ අරමුණ වී ඇත.
දෙමාපියන්ගේ සෙනෙහස නොලත් දරුවන් දාහත් දෙදනකුට මව්පියන්වී ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීම අමිතානන්ද හිමියන් සිදුකරන අයුරු දුටු විට හද කම්පා වෙන්නේය. මේ දරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ මාතලේ කලුදෑවල පවුලක දරුවන් හතර දෙනකු මහණ කර තිබීම විශේෂ සිදුවීමකි.
මාතලේ කලුදැවල පවුලේ සහෝදරයන් හතර දෙනා දෙමාපියන්ට රැකබලා ගැනීමට නොහැකිව අසරණව පරිවාස භාරයට පත් කිරීමට යන විට එම දරුවන්ගේ භාරකාරත්වය තමන් අතට ගෙන මහණ කර තිබේ. එම මහණ කළ සාමනේරයන් අතරින් බාලයාගේ වයස අවුරුදු තුනකි. කලුදැවල උපනන්ද (03) සාමණේර නම හා වැඩිමලා කලුදැවල ෙ€මානන්ද (10), කලුදැවල චූලානන්ද (8), කලුදැවල සාරානන්ද (06) ලෙස නාමකරණය කර තිබේ.
මුල්ලේගම අමිතානන්ද හිමියන්ගේ පියා සහ මව වන්නේ මහනුවර, මුල්ලේගම පදිංචිව සිටි ආර්. එම්. කුඩාබණ්‌ඩාර සහ එච්. එම්. සිරියාවතී කුමාරිහාමිය. කුඩා බණ්‌ඩාර මහතාට දරුවන් පස් දෙනකු සිටින අතර සිය දරුවන් ගොවිතැන්බත් කරමින් හදාවඩා ඇත. කුඩාබණ්‌ඩාර මහතා මීට අමතරව මුල්ලේගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයෙකි. පසුව කුඩාබණ්‌ඩාර මහතා 1979 වර්ෂයේදී මහණදම් පුරා සේරුදණ්‌ඩපොල ශ්‍රී පාරමිතා පූජා සේනාසනයේ වැඩ සිට ඇත.
සිය පියා මහණව සිටියත් කුඩා කල සිටම තමන්ටද මහණවීමට දැඩි ආසාවක් සිත තුළ ඇතිවී වයස අවුරුදු එකොළහේදී කොළඹ දෙහිවල නැදිමාල, දෙකඳුවල භාවනා මධ්‍යස්‌ථානයේ මහණ වී භාවනා යෝගීව උන් බව අමිතානන්ද හිමි අප සමඟ ප්‍රකාශ කළේය.
"මගේ පියා මහණ වී මුල්ලේගම ධම්මානන්ද හිමි ලෙස සේරුදණ්‌ඩාවෙල සේනාසනයේ වැඩ වාසය කළා. මම මහන වෙනවට මගේ මව කැමැති වුණේ නැහැ. නමුත් මගේ කුඩා කල සිට තිබුණ බලාපොරොත්තුව මත මා වයස අවුරුදු එකොළහේදී මහණ වුණා. ඒ කාලය තුළ මා භාවනා යෝගීව සිටියා. පසුව මගේ පියා වන මුල්ලේගම ධම්මානන්ද හිමි මට සේරුදණ්‌ඩාපොළට වඩින ලෙස දන්වා සිටියා. ඒ වනවිට ධම්මානන්ද හිමි වයස්‌ගතව ගිලන්ව ඔත්පලවී සිටියා. එහි පැමිණි මට "බුද්ධ ශාසනය රැකීමට සංඝ පරම්පරාවක් ඕන නිසා ශිෂ්‍ය පිරිසක් හදා ගන්න" කියලා ඉල්ලීමක් කළා. ගිලන්ව සිටි ධම්මානන්ද හිමි මගේ ඔඩොක්‌කුවේම අපවත්වුණා. ධම්මානන්ද හිමි අපවත් වී හත් දවසේ දානය දවසට කළ ඉල්ලීම අනුව මා ගඟසිරිගම ධම්මානන්ද පොඩි හාමුදුරුවන් ප්‍රථමයා ලෙස මහණ කළා. පසුව අසරණව සිටි දරුවන් සොයා දාසය දෙනකු මහණ කර උගන්වමින් ඉතා කරුණාවෙන් ඉතා ආරක්‌ෂාකාරීව මා ඔවුන්ව රැක බලා ගන්නවා.
සේරුදණ්‌ඩාපොල ශ්‍රී පාරමිතා පූජා සේනාසනය ඉතාම අඩු පහසුකම්වලින් යුතු පිංබිමකි. එහි පදිංචි ගැමියන් විසින් මෙම පූජා භූමිය නඩත්තු කරන අතර එහි දැනට දාන ශාලාවක් නොමැත. වැසිකිළි පද්ධතියක්‌ද අවශ්‍ය වී තිබේ. සාමණේරයන් වහන්සේලාට සැතපීමට අවශ්‍ය ඇඳන්ද එහි නොමැත. දහසක් අඩුපාඩු මැද බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා සාමණේරයන් ඇති දැඩි කරමින් දහම් අධ්‍යාපනය ලබා දෙමින් මේ සිදුකරගෙන යන උතුම් කටයුත්ත පිළිබඳව බෞද්ධයන් වශයෙන් අපි සැම සිතා බලා යමක් කළ යුතුව තිබේ.

දුප්පත්කම නිසාම අසරණ වන දරුවන් දෙමාපිය කැමැත්ත මත භාරගෙන පැවිදි කර අවශ්‍ය සෞඛ්‍ය හා අධ්‍යාපනය ලබා දෙමින් සාමණේරයන් වහන්සේලා නිවැරදි පැත්තටම ධර්මානුකූලව, විනයානුකූලව ළඟම තබාගෙන පූජ්‍ය මුල්ලේගම අමිතානන්ද හිමියන් මේ සිදුකරගෙන යන ශාසනික උතුම් කටයුත්තට බුද්ධාලම්භන හිත් ඇති ඔබටත් උදව් කිරීමට හැකි නම් 077 - 1778677 අමතා අවශ්‍ය විස්‌තර ලබා ගන්න.
සුදත් ඒකනායක, කැකිරාව
http://www.divaina.com/2014/07/20/feature03.html
0 comments:
Post a Comment