Pages

Monday, July 7, 2014

අවුරුදු එකසිය අසු දෙකකට පෙර රැජිණගේ පණිවුඩ රැගෙන නුවර සිට කොළඹට ආ තැපැල් අශ්ව කෝච්චියේ ඉතිහාසය

අසුන් බැන්ද කණුව post වූ අතර ම තැපෑල mail විය. මේ post mail toji Royal mail වීය. රාජකීයත්වය පිළිබඳව ගැඹුරින්ම පිළිගැනුනු 18 වන ශත වර්ෂයේ මෙලක සුවිශේෂි සංධිස්‌ථානයක්‌ සටහන් කරමින් අදටත් උචිත අදටත් ඔබින පණිවුඩ හුවමාරුව හෙවත් සන්නිවේදනය ඇරඹියේ එකල විසූ ලක්‌දනන් අමන්දානන්දයට පත් කරමිනි.

වසර 1832 ජූලි 02 වන දින අදට හරියටම වසර 182 කට පෙර බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රාජකීය පණිවුඩ රැගෙන අසුන් බැ`දි කරත්තය කොළඹ ආවේය. ගලවිදි හන්දිය පසු කරමින් අසුන් දෙදෙනාට කොළඹට එන්නට හෝරා දොළහක්‌ ගත වීය. තැපැල් අශ්ව කරත්තය සතියකට දින තුනක්‌ ගලවිදි තැන පසු කළේය. ආසියාවේ ප්‍රථම වතාවට අශ්ව රථ මගින් තැපැල් ප්‍රවාහනය කිරීම සිදුවූයේ කොළඹ සහ මහනුවර අතරය. දෙවනුව කොළඹ සහ ගාල්ල අතරය. එංගලන්තයේ තැපැල් හුවමාරුව සිද්ධ වූයේ යම් සේද එපරිදිම සිරිලංකාවේද තැපැල් අශ්ව කරත්තය බ්‍රිතාන්‍ය නීති රීති පද්ධතියට යටත්ව ධාවනය වීය. තැපෑල අශ්ව කරත්තය හරහා ක්‍රියාත්මක වීමට වසර තිස්‌හයකට පෙර තැපැල් ප්‍රවාහනය සිරිලක ආරම්භ විය.

පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම් ලිපි භාර ගැනීමේ කාර්යාලයක්‌ කොළොම්පුරෙහි ආරම්භ කෙරිණි. ඒ වසර 1796 දීය. කැප්ටන් ඒ. කෙනඩි මෙසිරිලක පළමු පෝස්‌ට්‌ මාස්‌ටර් ජෙනරාල්වරයා ලෙස පත්කරමින් තැපැල් දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූයේ 1798 ඔක්‌තොම්බර් 12 වන දිනයේදීය. තැපෑලට ගාස්‌තුවක්‌ සහ නීති රීති මාලාවක්‌ හඳුන්වා දුන්නේ 1799 දීය. පැන්ස 6 ක වටිනාකමකින් යුත් ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කළේ 1857 අප්‍රේල් 01 දාය. එහි වූයේ වික්‌ටෝරියා රැජිණගේ හිසෙහි අනුරුවය. 

මිනිසාගේ නව සොයාගැනීම් සඳහා කාලය සියුම් ලෙස සහාය වෙයි. තැපෑල හෙවත් පණිවුඩ හුවමාරුව ද කාලය සමග සටන් කොට ජය ගැනීමකි. 1858 න් පසු ඉදිරි දශකයේ තැපෑල කාලය ජය ගනු ලැබීය. ඒ ඉන්දියාව සමග එක එල්ලේ පණිවුඩ හුවමාරු කළ විදුලි පණිවුඩ හුවමාරුව සමගය. කොළඹ ගාල්ල මහනුවර ත්‍රිකුණාමලය දක්‌වාම විදුලි පණිවුඩ සේවාව ව්‍යාප්ත වූයේ හීයක වේගයකිනි. ඒ බැව් සනාථ කරමින් 1865 දී යුරෝපයේ සිට කොළඹට විදුලි පණිවුඩයක්‌ ලැබිණි. 1866 අගෝස්‌තු 12 වනදා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ සිට කොළඹට එවූ විදුලි පණිවුඩයද ලැබී ඇත.

ඉන් නොනැවතී නිර්මාණශීලී මිනිසුන් සහිත ලෝකයත් සමග තැපෑලත් ඉදිරියට ගියේය. සබ්මැරින් කේබලයක්‌ ම`ගින් ලංකාව ප්‍රථම වරට විදේශ රටවල් සමග සම්බන්ධ වූයේ, 1870 දීය. 1872 ජනවාරි 01 වන දින සිට ශ්‍රි ලංකාවේ මුදල් භාවිතය රුපියල් ශත වලින් ආරම්භ විය. එය තැපැල් සේවාවේ මුදල් ඇණවුම් සේවාවට අත් පොත් තබන්නට ඉවහල් වු කරුණක්‌ද විය. 1877 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාව විශ්ව තැපැල් සංගමයට බ`දවා ගනු ලැබීය. ඉතිරි කිරීමේ බැංකුව තැපෑල තුළට ආවේද මෙම වකවානුවේදීය.

මෙකල වනවිට ජනතාව තැපැල් සේවාව පිළිබඳ කුකුසක්‌ නැති විශ්වාසයක්‌ තබා තිබිණි. බ්‍රිතාන්‍යයන් කිසි විටකත් නව සොයාගැනීම් වලට හෝ නව ඉදිකිරීම් වලට තිත තැබුවේ නැත. ඔවුහු දිනෙන් දින තම රටට සැපයිය යුතු මූල්‍යමය පදනම තිර කිරීමට කටයුතු යෙදුවා මිස විවේක සුවයෙන් කල් ගෙවුයේ නැත. එහි තවත් ප්‍රතිඵලයකි දුම්රිය මාර්ගය තැනීම. මාර්ග හා මං මාවත් ඉදිවීම මත තැපෑලට නව පණක්‌ ලැබිණි. 

දුම්රිය මගින් තැපැල් ප්‍රවාහනය කොළඹ සිට පේරාදෙණිය අතර ධාවනය වූයේ 1892 දීය. එය 1928 දී මහනුවර දක්‌වාත් 1929 දී බදුල්ල දක්‌වාත් දීර්ඝ කෙරිණි. රුපියල් ශත වලින් වටිනාකම දැක්‌වෙන තැපැල් මුද්දරය නිකුත් කෙරුණේ 1893 පෙබරවාරි 1 දිනය. පළමු මුද්දරයේ වටිනාකම ශත 2 කි.

වසර 1832 දී අශ්ව කරත්තයෙන් රැගෙන ගියේ රැජිනගේ හෝ බ්‍රිතාන්‍ය බලවතුන්ගේ පණිවුඩ පමණක්‌ වුවද, 1900 වන විට එය මුලුමනින්ම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගෙන තිබිණි. සාමාන්‍ය ජනතාව බොහොමයක්‌ සේවා ලබා ගත්තේ තැපෑල හරහායි. එවකට සිරිලක සිසාරා ව්‍යාප්තව තිබූ තැපැල් කාර්යාල සංඛ්‍යාව 147 කි. ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුම් සංඛ්‍යාව 51887 කි. උප තැපැල් කාර්යාල, ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාල පිහිටුවමින් ගුවන් ලිපි සේවාවද ඇරඹි තැපෑල ලොව දියුණු රටවල මෙන් ගෙයින් ගෙට යමින් තැපැල් බෙදීම ආරම්භ කළේය.

ජාත්‍යන්තර අධිවේගි තැපැල් සේවය (EMS) ඇරඹියේ 1989ය. ඉන් වසරක්‌ ගෙවුණු තැන දේශීය අධිවේගී තැපෑල (speed post) ආරම්භ කෙරිණි. එයද එළැඹෙන ඉදිරි දිනට හරියටම වසර දාහතරක්‌ සපුරාලයි. 1990 ජූලි 02 වන දා ඇරඹි අධිවේගී තැපෑල කාලය සමග උරනුර ගැටෙමින් විජයග්‍රහණය අත්පත් කරගත්තේ, මහනුවර සිට කොළඹ දක්‌වා ශ්‍රී ලංකා තැපැල් එක්‌දින බෙදීම් සේවය හෙවත් Sri lanka Speed Post Courier ඉකුත්දා ආරම්භ කිරීමත් සමගය.

අද අත්‍යාවශ්‍ය හදිසි ලිපියක්‌ පැය තුනක්‌ වැනි කෙටි කලකින් මහනුවර සිට කොළඹට යෑවිය හැකිය. කොළඹ සිට මහනුවර ට යෑවිය හැකිය. එය සිදු වන්නේ විශේෂිත වෑන් රථ මගිනි. පෙරවරු 10 ට නුවරින් පිටත්වන ශීඝ්‍රගාමී සේවාව ඕනෑම අයෙකුට ලබා ගැනීමේ අවස්‌ථාව තිබේ.

වර්තමානයේ කුමන මට්‌ටමක අධිවේගී සන්නිවේදන මාර්ග තිබුණත් තැපැල් සේවාව තරම් සාක්‌ෂි ඉතිරි වන නීත්‍යානුකූල පණිවුඩ හුවමාරු ක්‍රමයක්‌ ලොව නැත්තේය. සිරිලක පුරා අද වන විට ප්‍රධාන තැපැල් කාර්යාල 636 ක්‌ උප තැපැල් කාර්යාල 3440 ක්‌ ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 158 ක්‌ සහ පෞද්ගලික නියෝජිත තැපැල් කාර්යාල 397 ක්‌ ක්‍රියාත්මක වේ. ලියුම් පෙට්‌ටි 15302 ක්‌ මහජනතාවගේ පහසුව තකා සවි කොට ඇති අතර තැපැල් කරුවන් 7278 ක්‌ සේවයේ යෙදී සිටිති.

එදා අශ්ව කරත්තයෙන් ලිපි ගෙන ගිය තැපැල්කරුවන් දෙදෙනා වෙනුවට අද හත් දහස ඉක්‌ම වූ තැපැල්කරුවන් සිරිලක පුරා සේවය කිරීම සැබෑම දියුණුවකි. විසිපන්දහසක්‌ පමණ මුළු සේවක පිරිසක්‌ මේ වන විට තැපෑලේ යෙදී සිටින්නේ සුද්දා පෙන්වූ මගෙහි අප පා නැගි නිසාය.

වසර දෙසීයකට ආසන්න මතකයක්‌ අප අද ස්‌මරණය කරන්නේද එහෙයිනි.

මුතුමාලි මුතුබණ්‌ඩාර 
http://www.divaina.com/2014/07/06/feature04.html

0 comments: