Pages

Thursday, July 17, 2014

ශ්‍රී ලංකාවේ එකම බටහිර ඖෂධ කම්හලත් අහිමි වීමේ අවදානමක්!

රුපියල් කෝටි හතළිහක ආයෝජනයකින් අන්තර්ජාතික ප්‍රමිතියට ඉදිකර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට එන්නත් නිෂ්පාදනය සඳහා අනුමැතිය නොදීම නිසා එම කර්මාන්ත ශාලාව මෙරටට අහිමි වීමේ අවදානමක්‌ මතුවී තිබේ.

ශ්‍රී ලාංකිකයකුට තනි අයිතිය හිමි මෙම කර්මාන්ත ශාලාව කටුනායක පිහිටා ඇති අතර බටහිර එන්නත් නිෂ්පාදනය සඳහා ඖෂධ පාලන අධිකාරිය මෙතෙක්‌ අවසර දී නැත. දෙවසරකට පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති නමුත් එන්නත් නිෂ්පාදනය සඳහා ඖෂධ පාලන අධිකාරියේ අවසරය නොලැබීම නිසාම කර්මාන්ත ශාලාව වෙනත් රටකට ගෙන යැමට හිමිකරු මේ වන විට තීරණය කර ඇත. කම්හල ඉදිකිරීම අධීක්‍ෂණය කර ඇත්තේ ස්‌විට්‌සර්ලන්ත ඉංජිනේරුවන් හා උපදේශකයන් වන අතර නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර ඖෂධ තත්ත්ව පරීක්‍ෂණ උපකරණ ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය ඇතුළු යුරෝපා රටවල නිෂ්පාදිත ඉතාම ඉහළ තත්ත්වයේ ඒවාය.

සියලුම වර්ගයේ පිළිකා නාශක එන්නත් නිෂ්පාදන සහ ජෛව තාක්‍ෂණය මගින් සියලුම එන්නත් නිෂ්පාදන හැකියාව සිය කර්මාන්ත ශාලාව සතු බව හිමිකරු සඳහන් කරයි. මෙවැනි තාක්‍ෂණික හැකියාව සහිත ඖෂධ නිෂ්පාදන කම්හලක්‌ දකුණු ආසියාවේම නැතැයි ද සති දෙකක්‌ වැනි කාලයක්‌ ඇතුළත ශ්‍රී ලංකාවටම අවශ්‍ය සේලයින් ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි යෑයි ද හිමිකරු ප්‍රකාශ කරයි.

ඖෂධ පාලන අධිකාරිය පසුගිය අගෝස්‌තු මාසයේ මෙම කම්හලේ භාණ්‌ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කර එම වාර්තාව නිකුත් කිරීම මාස තුනක්‌ ප්‍රමාද කර ඇත. වාර්තාව කඩිනමින් ලබා ගැනීම සඳහා සතියකට කිහිප වාරයක්‌ ඖෂධ පාලන අධිකාරියට යැමට සිදුවූ බවද අවසානයේ නිකුත් වූ වාර්තාවෙන් කම්හල එන්නත් නිෂ්පාදනයට නුසුදුසු බව හෝ පවතින අඩුපාඩු පිළිබඳ තාක්‍ෂණිකව ඔප්පු කර නැතැයි ද හිමිකරු තවදුරටත් අනාවරණය කරයි.

වෛද්‍ය සැපයීම් අංශය පසුගිය වසරේ ප්‍රංශයෙන් ආනයනය කළ ජීව රසායන කට්‌ටල තත්ත්වයෙන් බාල වීම නිසා ඉවත දමන ලද අතර එම ජීව රසායන කට්‌ටල ආනයන මිලෙන් තුනෙන් දෙකකට අඩුවෙන් දින තුනක්‌ ඇතුළත නිෂ්පාදනය කර සැපයීමට මෙම කර්මාන්තශාලාවට හැකි වී තිබේ.

බටහිර එන්නත් නිෂ්පාදනය සඳහා අනුමැතිය නොලැබෙන්නේ නම් කම්හල වෙනත් රටකට ගෙන යැම හැර වෙනත් විකල්පයක්‌ නැතැයිද හිමිකරු අවධාරණය කරයි.

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2014/07/13/news04.html

Pic Source

0 comments: