Pages

Monday, July 7, 2014

හදවත පැලී මිය යන්නට හේතුව

පපුව පැළිලා මැරිලා... ඇතැම් පුද්ගලයන් හදිසියේ මිය ගිය විට එසේ පවසති. සමහරුනට දුක දරාගන්න බැරිව පපුව පැලී යයි. තවත් අයට සතුට දරාගන්න බැරිව පපුව පැලී යයි. මේ අතර ඇතැම් දෙනාට අධික වෙහෙස දරාගන්න බැරිවත් පපුව පැලී යයි. ඇත්තටම මොකක්‌ද මේ පපුව පැලී මිය යැම කියා කියන්නේ කියා අපි විමසා බලමු.

පපුව පැලී යැම කියා සාමාන්‍ය ව්‍යවහාරයේදී අප පවසන්නේ හෘදයාබාධයක්‌ ඇතිවීමටය. මෙම හෘදයාබාධය ඇතිවන්නේ හදවතේ ක්‍රියාකාරිත්වය අධිකවූ විටදීය. එනම් හදවතට දරාගත නොහැකි තරම් හෘද ස්‌පන්දනයක්‌ ඇතිවූ විටදීය.

මැරතන් ධාවනයේදී තරගය අතර මගදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු හෘදයාබාධවලට ලක්‌ව මිය ගිය සිද්ධීන් කිහිපයක්‌ පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි. තම පුතුගේ හෝ දියණියගේ දුකක්‌ කරදරයක්‌ අසා එය දරා ගත නොහැකිව මිය ගිය පුද්ගලයන් පිළිබඳවත් පුතුගේ දියණියගේ විභාග ප්‍රතිඵල අසා සතුටට පත්ව හෘදයාබාධයකට ලක්‌ව මිය ගිය දෙමාපියන් ගැනත් පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි.

මේ සෑම අවස්‌ථාවකදීම සිදුව ඇත්තේ හෘදයේ ස්‌පන්දන වේගය හදවතට දරාගත නොහැකි තරම් අගයක්‌ ගැනීමය.

හෘදයේ ස්‌පන්ධන අගය

ජීවත්වන අප සෑම පුද්ගලයකුගේම හදවතේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ ස්‌වයංක්‍රීයවය. එසේ ස්‌වයංක්‍රීයව ක්‍රියාකරන හදවතේ ස්‌පන්දනය අවම වශයෙන් මිනිත්තුවකට 72 වාරයක්‌ සිදුවිය යුතුය.

උපරිම ස්‌පන්දනය මිනිත්තුවකට 220 කි. නමුත් මෙම ස්‌පන්දන වේගය පවතින්නේ මවුකුසින් බිහිවූ දා පමණි. ඉන් පසු මෙම වේගය වයසත් සමග අඩුවන්නට පටන් ගනී. එනිසා නීරෝගී පුද්ගලයකුගේ තිබිය යුතු සාමාන්‍ය හෘද ස්‌පන්දන වේගය මිනිත්තුවකට 65-70 අතර අගයකි. උපරිම අගය වයසට අනුව අඩුවේ.

සාමාන්‍ය හෘද ස්‌පන්දන වේගය සාමාන්‍ය හෘද ස්‌පන්දන වේගය අපට ඉතා පහසුවෙන් ගණනය කළ හැක්‌කේ උදෑසන අවදිවූ විටදීය. අතේ හෝ බෙල්ලේ රුධිර නාළයක්‌ මත ඇඟිලි තුඩු තබා පරීක්‍ෂා කිරීමෙන් එය හඳුනාගත හැකිය. මෙයට අපි නාඩි වැටෙන අගය පරීක්‍ෂා කිරීම ලෙසද පවසන්නෙමු.

මෙම සාමාන්‍ය හෘද ස්‌පන්දන වේගය මිනින්තුවකට 65 ට අඩුවී යාම යනු හදවතේ ක්‍රියාකාරිත්වයද දුර්වලවීමය. එවිට කිසියම් අවස්‌ථාවකදී අධික ලෙස වෙහෙස හදවතේ ක්‍රියා කාරිත්වය වැඩිවුවහොත් එය හදවතට දරාගැනීමට නොහැකිවේ.

හෘද ස්‌පන්දන වේගය මිනිත්තුවකට 75 ට වැඩිවීමද හිතකර නැත. එවිට හදවතේ ක්‍රියාකාරිත්වය ඉතා වේගවත්ය. එවැනි පුද්ගලයන්ගේ හදවතේ උපරිම වේගය ඉතා සුළුÊවෙහෙසක දී වුව ඇතිවිය හැකිය. එනිසා එවැනි අයකු දුකකට පත්වූ විට හෝ සතුටට පත්වූ විට හෝ ක්‍රීඩාකිරීම හෝ ශරීරය වෙහෙසවීම කටයුත්තක්‌ නිසා අධික වෙහෙසට පත්වූ විට පහසුවෙන්ම හෘදයාබාධයකට ලක්‌විය හැකිය.

උපරිම හෘද ස්‌පන්දනය

මවුකුසින් බිහිවූ මොහොතේ දරුවකුගේ හදවතේ උපරිම හෘද ස්‌පන්දන වේගය මිනිත්තුවකට වාර 220 ක්‌ දක්‌වා වුවත් එය වයස අනුව වෙනස්‌වන බැවින් පළමුව අප අපගේ වයස අනුව උපරිම හෘද ස්‌පන්දන අගය හඳුනාගත යුතුය. ඒ සඳහා අපගේ වයස 220 න් අඩු කළ විට ලබාගත හැකිය. උදාහරණයක්‌ ලෙස වයස අවුරුදු 20 තරුණයකුගේ උපරිම හෘද ස්‌පන්දන අගය මිනිත්තුවකට වාර 200 කි. (220-20=200) වයස අවුරුදු 40 පුද්ගලයකුගේ මිනිත්තුවකට උපරිම හෘද ස්‌පන්දන අගය 180 කි.

(220-40=180) අපට වයසට යැම පාලනය කළ නොහැකිය. දිනෙන් දින මොහොතින් මොහොත එය සිදුවේ. එය සෑම මොහොතකදීම අපගේ උපරිම හෘද ස්‌පන්දන වේගයද අඩුවේ. එනිසා අප හෘදයේ ස්‌පන්දන වේගය නිසි අයුරින් පවත්වාගෙන යැමට පියවර ගත යුතුය. හදවතේ සාමාන්‍ය ස්‌පන්දන අගයත් උපරිම ස්‌පන්දන අගයත් මනා පාලනයකින් යුක්‌තව තබාගත යුතුය. එවිට හෘද ස්‌පන්දන වේගය හදවතට දරාගත හැකි පරතරයක පවත්වා ගත හැකිය.

හදවතේ ස්‌පන්දනය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යැම

හදවතේ සාමාන්‍ය ස්‌පන්දන අගය මිනිත්තුවකට 65 ත් 75 ත් අතර අගයක පවත්වාගෙන යැමට නම් අප දිනපතා ව්‍යායාම්වල යෙදිය යුතුය. සිරුරට අධික ලෙස කොලෙස්‌ටරෝල් සහ පිෂ්ඨය තැන්පත්වන ආහාර පාන නොගත යුතුය. දිනකට පැය 06 ක්‌ වත් නිදාගත යුතුය.

මෙහිදී ව්‍යායාමවල යෙදීමට පෙර අපගේ හෘදයේ සාමාන්‍ය ස්‌පන්දන අගය පරීක්‍ෂාවට ලක්‌ කරගෙන නිසි වෛද්‍ය උපදෙස්‌ ව්‍යායාම සහ ක්‍රීඩා කටයුතුවල යෙදිය යුතුය.

එසේම හදවතේ උපරිම ස්‌පන්දන අගය හඳුනාගෙන එම ස්‌පන්දනයට වඩා වෙහෙස නොවීමට පියවර ගතයුතුය. දුකක්‌ හෝ සතුටක්‌ ඇතිවූ විට එය පාලනය කර ගැනීමට පියවර ගත යුතුය. මානසික පීඩාවක්‌ ඇතිවූ විට වහාම එය නැතිකර ගැනීමට අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීමට සහ ඊට අදාළ ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය.

මැරතන් ධාවනයේ යෙදෙන අයෙක්‌ නම් තමා දිවිය යුතු වේගය සහ ධාවනය කළ හැකි දුර ප්‍රමාණය හෘදයේ සාමාන්‍ය ස්‌පන්දන අගය සහ උපරිම ස්‌පන්දන අගය අනුව තම පුහුණුකරුගෙන් හෝ වෛද්‍යවරයාගෙන් දැනගත හැකිය. ඒ අනුව නියමිත වේගයෙන් සහ නියමිත දුර ප්‍රමාණයක්‌ ධාවනය කිරීමෙන් අධික වෙහෙසක්‌ ඇති නොවේ.

අප අධික ලෙස සතුටට පත්වූ විටදී හෝ අධික ලෙස කෝපයට හෝ දුකට පත්වූ විටදී හදවතේ ස්‌පන්දන වේගය ඉහළ යයි. මෙම හෘදස්‌පන්දන වේගය හදවත දරාගත නොහැකිවූ විටදී හෘදයාබාධයට පත්වේ. එනිසා අධික කෝපය සහ අධික සතුට පාලනය කරගත යුතුය.

රුධිර නාළ තුළ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම, රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළයැම නිසා දියවැඩියා රෝගයට ගොදුරුවීම හෘද ස්‌පන්දන වේගය පාලනය කර ගැනීමට බාධා මතුකරයි. එනිසා මෙම රෝගවලින් පාලනය වීමටද අවධානය යොමු කළ යුතුය.

මෙලෙස නිසි ව්‍යායාම්වල යෙදෙමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කළහොත් අපගේ අත මිට මෙලවූ විට පවතින ප්‍රමාණය තරම් වූ හදවත හදිසියේ පැලී යැමට නොදී ආරක්‍ෂා කරගත හැකිය.

උපදෙස්‌ එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මානව චාලක ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංක විජයරත්න

උපාලි ද සේරම්
http://www.divaina.com/2014/07/06/feature06.html

0 comments: