Pages

Friday, July 4, 2014

ඓතිහාසික දිඹුලාගල රක්‌ෂිතයේ පුරාවස්‌තු සොයා කැණීම් කරලා

ඓතිහාසික දිඹුලාගල රක්‌ෂිතයේ පිහිටි නාමල්පොකුණ වැව ඉස්‌මත්තේ කිසියම් පිරිසක්‌ විසින් පුරාවස්‌තු සෙවීමේ අරමුණින් විශාල කැණීමක්‌ සිදුකොට ඇත.

පොළොන්නරුව පුරාවස්‌තු ආරක්‌ෂණ පොලිස්‌ ඒකකයේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පෙරේදා (02 දා) එම ස්‌ථානය වටලන අවස්‌ථාවේ එම කැණීමට සම්බන්ධ පුද්ගලයෝ පලාගොස්‌ ඇති බව කියති.

එම ස්‌ථානයෙහි අඩි 30 ක්‌ පමණ ගැඹුරැති විශාල වළක්‌ හාරා තිබූ බවත් එහි දිග සහ පළල අඩි 7 බැගින් පමණ වන බවත් පොලිසිය කියයි.

මෙම විශාල වළ කැණීම සඳහා උපයෝගී කරගත් බව කියන උදලු, අලවංගු, වතුර පොම්ප දෙකක්‌, ජල නළ, වෙඩි බෙහෙත්, ගල් පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර්, මල් පහන්, බුලත්, පූජාවට්‌ටි යනාදිය ද එම ස්‌ථානයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරන බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ කළහ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොළොන්නරුව පුරාවස්‌තු ආරක්‌ෂණ විශේෂ පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඊ. එම්. එදිරිසිංහ මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ සිදුකරති.

කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/07/04/provin02.html

Pic Source

0 comments: