Pages

Monday, November 18, 2013

සමුගැනීම හැඟීම්බරය - විශිෂ්ටයෙකුගේ (ක්‍රිකට්‌ පිටියෙන්) සමුගැනීම

සමුගැනීම හැඟීම්බරය. ඒ සමුගැනීමේ අවසානය වෙනුවෙන් රුපියල් බිලියන ගණන්වලින් ඔට්‌ටු වැටිණි. ඒ ඔට්‌ටුවලින් ඇතැමුන් පොහොසතුන් වූහ. තවත් එවුන් හිඟන්නන් බවට පත්වන්නට ඇත. අවසානයේ ලෝකයේ සුපිරිම ක්‍රිකට්‌ තරුවක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියෙන් නිවී යයි. මේ සුපිරිම වීරයා සචින් ටෙන්ඩුල්කාර්ය. ඉන්දියානු ක්‍රිකට්‌ රසිකයන් ඇදහූ දෙවියා මොහුය.

1973 අප්‍රේල් මස 24 වැනිදා ඉන්දියාවේ මුම්බායි හී ඉපදුන මේ වාසනාවන්ත ක්‍රිකට්‌ ක්‍රීඩකයා සිය දෙමව්පියන්ට පමණක්‌ නොව සමස්‌ත ඉන්දියාවටම වාසනාව ගෙන ඒමට සමත් විය. එපමණක්‌ද නොව ලෝක ක්‍රිකට්‌ පිටියේ සුපිරිම තාරකාව ලෙස බැබලෙන්නට තරම් හේ වාසනාවන්ත විය. ඒ වාසනාව කොතෙක්‌දැයි කිවහොත් සචින් ටෙන්ඩුල්කාර් පිහිට වූ ක්‍රිකට්‌ වාර්තා බිඳීමට හැකි තවත් ජගතෙකු බිහිවේදැයි යන්නද සිහිනයකි.

ලෝක ක්‍රිකට්‌ පිටියේ පළමු වරට ටෙස්‌ට්‌ තරග 200 කට සහභාගි වූ ක්‍රීඩකයා වීමේ දුලබ වාර්තාව සමගින් සචින් ටෙන්ඩුල්කාර් ක්‍රිකට්‌ දිවියෙන් සමුගත්තේය. සචින් සිය 200 වැනි ටෙස්‌ට්‌ තරගයට සහභාගි වීමට පෙර ටෙස්‌ට්‌ ශතක 51 ක්‌ සහ අර්ධ ශතක 67 ක්‌ සමගින් ටෙස්‌ට්‌ ලකුණු 15847 ක්‌ ලබා ඇත. එක්‌දින තරග 463 කදී ශතක 49 ක්‌ සහ අර්ධ ශතක 96 ක්‌ සමග ලකුණු 18426 ක්‌ ලබා තිබේ. එම දත්ත ලෝක වාර්තා පොතේ ඉහළින්ම ලියෑවේ. සමස්‌ත ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියේ සචින් ක්‍රීඩා කළ තරග (ටෙස්‌ට්‌ 200, එක්‌දින 463, 20-20 තරග 1 යි) 663 කදී 34373 ක්‌ (අවසන් ටෙස්‌ට්‌ තරගයේ ලකුණු ඇතුළත් විය යුතුය) ලබා තිබේ. ඊට ශතක 100 ක්‌ සහ අර්ධ ශතක 163 ක්‌ ඇතුළත් වේ.

සචින් ටෙන්ඩුල්කාර් සුපිරි පිතිකරුවකු වුවද ඔහු දක්‍ෂ නායකයකු නොවීය. ඉන්දියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 25 කට නායකත්වය ලබාදුන් සචින් එහිදී තරග හතරක්‌ ජය ගෙන තරග 9 ක්‌ පරාජය වී තරග 12 ක්‌ විසඳුමකින් තොරව අවසන් කර තිබේ. එක්‌දින තරග 73 කදී තරග 23 ක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවූ ඔහු තරග 43 ක්‌ පරාජයට පත්විය. එබැවින් නායකයකු ලෙස ඔහු අසාර්ථකත්වයට පත්විය.

මෙම සටහනේ ප්‍රධාන තේමාව ලොවක්‌ වසඟ කළ අපූරු ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ වාර්තා සටහන් කිරීම නොව. ඔහු ජාතික කණ්‌ඩායමට පැමිණීමේ කඩඉම ජයගැනීමේ අභියෝගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව සටහන් කිරීමය.

පාසල් කාලයේදී විනෝද් කම්බ්ලි සහ සචින්
පළමුව පාසල් කාලයේදී වේග පන්දු යවන්නෙක්‌ ලෙස සචින් ටෙන්ඩුල්කාර් ක්‍රිකට්‌ පිටියට පා තැබීය. නමුත් ඔහුගේ උස අඩුකමින් ඔහුට වේග පන්දුවෙන් තැනක්‌ නොලැබිණි. අනතුරුව පිතිකරුවෙකු ලෙස සිය දක්‍ෂතාව මුවහත් කිරීමට ටෙන්ඩුල්කාර්ට හැකිවිය. එහිදී සහරා දහස්‌ රාම් විද්‍යාමන්දීර් පාසලේ සිට ඔහුගේ ක්‍රිකට්‌ දිවිය පියවරෙන් පියවර මුවහත් වීම ඇරඹිණි. පසුකාලීනව ඉන්දියාව නියෝජනය කළ විනෝද් කම්බ්ලි, සචින්ගේ සමකාලීනයෙක්‌ විය. මොවුන් දෙදෙනා පාසල් යුගයේ දිගට හරට ලකුණු රැස්‌ කර පාසල් ක්‍රිකට්‌ පොතේ නව පිටුවක්‌ පෙරළීමට සමත් වූහ.

පාසලේ ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ සුපිරි හපන්කම් හේතුවෙන් සචින්ට මුබ්බායි ක්‍රීඩා සමාජයේ ස්‌ථානයක්‌ ලැබිණි. ඒ 1988 දීය. එවිට සචින්ගේ වයස අවුරුදු 15 කි. එවකට මුම්බායි ක්‍රීඩා සමාජයේ තේරීම් කමිටු සාමාජිකයන් වූ නරේන් තම්හානි, රම්කන්ට්‌ ඩෙසී, සුදීර් නයික්‌ සහ මිලින්ග් රෙග් එකතු වී සචින් පළමු වරට ඉන්දියාවේ ප්‍රධානම ක්‍රිකට්‌ තරගාවලිය වන රංජි කුසලාන තරගයකට නම් කළේය. ඒ ගුජරාට්‌ ප්‍රාන්ත කණ්‌ඩායමට එරෙහිව පැවැති තරගයේදීය.

මුම්බායි ක්‍රීඩා සමාජයේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනකු වූ ලාල්චන්ධි රාඡ්පූර් සහ ඇලන් සිප්පි පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේදී තේරීම් කමිටු සාමාජිකයන් කතිකාවක යෙදිණි. ඒ මුම්බායි ක්‍රීඩා සමාජයේ ලකුණු තත්ත්වය හොඳ මට්‌ටමක තිබෙන බැවින් ඔවුන් දෙදෙනාගෙන් එක්‌ අයකු දැවී ගියහොත් ලාබාල ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ව අංක හතර පිතිකරු ලෙස ක්‍රීඩාංගණයට යෑවීමටය. එහි අරමුණ වූයේ අත්දැකීම් පිරි ක්‍රීඩකයකු සමග ක්‍රීඩා කිරීමෙන් සචින්ගේ බය නැති කිරීමය.

රාඡ්පූර් ලකුණු 99 කට දැවී යාමත් සමග හුරු බුහුටි ක්‍රීඩකයා ක්‍රීඩාංගණයට පැමිණියේය. අනික්‌ අන්තයේ සිටියේ ඇලන් සිප්පිය. ඇලන් සිප්පි තරගයට පෙර සිය පියාට පවසා තිබුණේ සචින් කියල පොඩි එක්‌කෙනෙක්‌ අද තරගයට ගහනවා. හැබැයි එයාව පිම්බුවට ඇති දෙයක්‌ නැහැ යනුවෙනි. සචින් මුහුණ දුන් තෙවැනි පන්දුවටම හතරේ පහරක්‌ එල්ල කළේය. පසුව සචින් සිය පළමු රංජි කුසලාන තරගයේදීම ශතකයකින් ගුජරාට්‌ පන්දු යවන්නන්ට සංග්‍රහ කිරීමට වග බලා ගත්තේය.

තරගයෙන් පසුව සචින් සමග කඩුලු සබඳතාව පිහිටු වූ ඇලන් සිප්පි ගෙදර ගියේය. ඔහුගේ පියා සිප්පි ළඟට ඇවිත් ඇසුවේ, "ඔයා කියපු පොඩි එකා වැඩක්‌ නැහැ කිව්වට සියයක්‌ ගැහුවා. දැන් මොකද කියන්නෙ." එවිට සිප්පි, 'එයා වෙනත් ග්‍රහලෝකයකින් ආපු එක්‌කෙනෙක්‌ ' යනුවෙන් පිළිතුරු සැපයීය. වර්තමානයේ 51 වැනි වියේ පසුවන ඇලන් සිප්පි සචින්ගේ සමුගැනීමේ තරගයට මෙම අදහස මාධ්‍ය වෙත පවසා තිබේ.

සචින් සිය පළමු රංජි කුසලාන තරගාවලියේදී දැක්‌වූ දක්‍ෂතාව හේතුවෙන් ඊළඟ වසරේදී ඔහුට වයස 17 ක්‌ වන විටම ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීණි. 1989 නොවැම්බර් 15 වැනිදා පාකිස්‌තානයට එරෙහිව සිය පළමු ටෙස්‌ට්‌ තරගයට සචින් සහභාගි විය. එතැන් සිට සිය පළමු ජාත්‍යන්තර එක්‌දින ශතකය ලබා ගැනීමට සචින්ට වසර 5 ක්‌ බලා සිටීමට සිදුවිය. තමා සහභාගි වූ 70 වැනි එක්‌දින තරගයේදී පළමු එක්‌දින ශතකයත් සිය 15 වැනි ටෙස්‌ට්‌ තරගයේදී පළමු ටෙස්‌ට්‌ ශතකයක්‌ ලබා ගැනීමට හේ සමත් විය.

ක්‍රිකට්‌ පිටියට සමුදුන් සචින් රමේෂ් ටෙන්ඩුල්කාර් ගේ ක්‍රිකට්‌ දිවියේ වාර්තා ලිවීමට පොත් දුසිමක්‌ තිබුණද නොසෑහේ. එහෙත් ඔහු ක්‍රිකට්‌ පිටියේ පෑ පෙළහර වෙනුවෙන් ඉන්දියාවෙන් පිදෙන ඉහළම සම්මාන වන පද්ම විභූෂණ, රජීව් ගාන්ධි, සර් ගාෆිල්ඩ් සෝබර්ස්‌, ඉන්දියානු රාජ සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉන්දියානු ගුවන් හමුදා ගෲප් කපිතාන් ලෙසින් නිල පට්‌ටම් රාශියක්‌ සචින්ගේ නම ඉදිරියේ ලියෑවී තිබේ. සමුගැනීමෙන් පසු සචින්ගේ ඊළඟ ඉනිම ඉදිරියේදී දියත් වනු ඇත. එය පුහුණුකරුවෙක්‌ ලෙසද, විස්‌තර විචාරකයෙක්‌ ලෙසද තරග තීරකවරයෙක්‌ ලෙසද යන්න ඉදිරියේදී ඔහු තීරණය කරනු ඇත. 'මගේ ප්‍රේක්‍ෂකයන්ට මා හැම විටම ආදරෙයි' සචින් සිය සමුගැනීම තීරණය කරමින් පැවසීය. මේ ලෝක පූජිත ක්‍රිකට්‌ ක්‍රීඩකයා වෙනුවෙන් මාස්‌ටර් බ්ලාස්‌ටර්, ලිට්‌ල් මාස්‌ටර් (පොඩි මහත්තයා) සහ ටෙන්ඩ්ලි යනුවෙන් සුරතල් නම් පට බැඳී තිබේ. ක්‍රිකට්‌ වාර්තා මෙන්ම ඒ ආදර නාමයද හෙටත් සචින් ටෙන්ඩුල්කාර්ට වලංගුය.

අසේල විතාන
http://www.divaina.com/2013/11/17/sports05.html

0 comments: