Pages

Monday, November 18, 2013

කැමරන් කියන යුද අපරාධ විමර්ශණය කරන්නේ කවුද ?

ලංකාවේ පැවැත්වුණු චෝගම් සමුළුව කඩාකප්පල් කිරීමට බලගතු පාර්ශ්ව කිහිපයක්‌ම කුමන්ත්‍රණය කළ බව අපි දනිමු. මුලින්ම උත්සාහ කරන ලද්දේ චෝගම් 2013 සමුළුව ලංකාවේ නොපවත්වා වෙන රටක පැවැත්වීමටය. එය ව්‍යර්ථ වූ තැන කොළඹ පැවැත්වෙන මේ සමුළුව වර්ජනය කරවීමට උත්සාහයක්‌ තිබිණි. එයද අසාර්ථක වූ තැන මේ සමුළුව සඳහා විවිධ රටවල් ලංකාවට එවන නියෝජිතයන්ගේ මට්‌ටම පහත දමා ගැනීමට හෝ උත්සාහයන් පැවතුණි. නමුත් මේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ලංකාවේ පැවැති චෝගම් 2013 සමුළුව අතිසාර්ථක රාජ්‍ය නායක රැස්‌වීමක්‌ බවට පත්වූ බව කිවයුතුය. මා දන්නා තරමට මේ තරම් අභියෝග මධ්‍යයේ කිසිදු රටක්‌ ප්‍රධාන පෙළේ රාජ්‍ය නායක එකතුවක්‌ කිසිදාක සංවිධානය කොට නැත.

කොළඹ පැවැති චෝගම් 2013 සමුළුවට දකුණු අප්‍රිකාවේ, ගයානාවේ, නාවුරු රාජ්‍යයේ, සයිප්‍රසයේ, ටැන්සානියාවේ, නැමීබියාවේ, රුවන්ඩාවේ, සීෂෙල්ස්‌ රාජ්‍යයේ හා ලංකාවේ ජනාධිපතිවරුන් සහභාගි වූ අතර බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයාද, ටුවාලු රාජ්‍යයේ අග්‍රාණ්‌ඩුකාරවරයාද සහභාගී වූහ. සැම්බියාව, ඝානාව, උගන්ඩාව, නයිජීරියාව හා මලාවි යන රටවල් නියෝජනය වූයේ ඒ රටවල උප ජනාධිපතිවරු විසින්ය. සැමෝවා, ස්‌වාසිලන්තය, ටොන්ගා, ශාන්ත කිට්‌ දූපත්, වනුඅටු, මෝල්ටා, ලෙසතෝ, සොලමන් දූපත්, බහාමාස්‌, මලයාසියාව, පකිස්‌තානය, බංගලාදේශය, සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය, ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය නියෝජනය වූයේ ඒ රටවල අගමැතිවරු විසින්ය. පැපුවා නිව්ගිනියාවෙන් පැමිණියේ උප අගමැතිවරයාය. සියාරාලියොන්, බෙලීස්‌, ජැමෙයිකා, කෙන්යා, බාබඩෝස්‌, මොසැම්බික්‌, ටි්‍රනිඩැඩ් සහ බොබෑගෝ ඉන්දියාව, මුරුසි දූපත්, කැමරූන්, සාන්ත ලුසියා දූපත් හා බොට්‌ස්‌වානාව නියෝජනය වූයේ ඔවුන්ගේ විදේශ ඇමැතිවරුන් නැතිනම් මුදල් ඇමැතිවරුන් විසින්ය. කැනඩාව ඒ රටේ නියෝජ්‍ය විදේශ ඇමැති විසින් නියෝජනය වූ අතර ඇන්ටිගුආව, ඩොමිනිකාව හා සාන්ත වින්සන්ට්‌ දූපත් නියෝජනය වූයේ තානාපතිවරුන් විසින්ය.

සමුළුවට සහභාගි වූ විවිධ රටවල නියෝජිතයන්ගේ තරාතිරම අනුව බැලුවොත් චෝගම් 2013 සමුළුව ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නගරයේ පැවැති චෝගම් 2011 සමුළුව සමඟ සැසඳෙන්නේ කෙසේදැයි සොයා බැලීම වටී. ඕස්‌ටේ්‍රලියාවේ පැවැති චෝගම් 2011 සමුළුවට ජනාධිපතිවරුන් හා රාජ්‍ය නායකයන් 15 දෙනෙක්‌ද අගමැතිවරුන් 20 දෙනෙක්‌ද උප ජනාධිපතිවරුන් 5 දෙනෙක්‌ද විදේශ ඇමැතිවරුන් 9 දෙනෙක්‌ද තානාපතිවරුන් දෙදෙනෙක්‌ද විවිධ රටවල කණ්‌ඩායම් ප්‍රධානීන් හැටියට සහභාගී වූහ. මීට සාපේක්‍ෂව බලන විට කොළඹ පැවැති චෝගම් 2013 සමුළුවට ජනාධිපතිවරුන් හා රාජ්‍ය නායකයන් 11 දෙනෙක්‌ද අගමැතිවරුන් 17 දෙනෙක්‌ද උප ජනාධිපතිවරුන් 5 දෙනෙක්‌ද විදේශ හෝ මුදල් ඇමැතිවරුන් 12 දෙනෙක්‌ද තානාපතිවරුන් 3 දෙනෙක්‌ද තම රටවල කණ්‌ඩායම් නායකයන් හැටියට සහභාගී වූහ.

ඕස්‌ටේ්‍රලියාවේ පැවැති චෝගම් 2011 සමුළුවට වඩා කොළඹ පැවැති චෝගම් සමුළුවට සහභාගී වන රටවල් දෙක තුනක්‌ අඩුබව කිව යුතුය. උදාහරණයක්‌ වශයෙන් 2011 චෝගම් සමුළුවට සහභාගී වූ ගැම්බියාව මේ වනවිට පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වී ඇත. එමෙන්ම 2011 සමුළුවට සහභාගි වූ මාලදිවයින ඒ රටේ පැවති දේශපාලන අස්‌ථාවරභාවය හේතුවෙන් කොළඹ සමුළුවට සහභාගි වූයේ නැත. ඒ රටේ ජනාධිපතිවරණය පැවැත්වුණේ කොළඹ චෝගම් සමුළුව පැවැත්වෙන අතරතුරදීය. ඉන්පසු කුඩා දූපත් රාජ්‍යයන් දෙකක්‌ වන ග්‍රෙනේඩා හා කිරිබති 2011 සමුළුවට සහභාගී වුවත් මෙවර කොළඹ සමුළුවට පැමිණියේ නැත. නමුත් 2011 ඔස්‌ටේ්‍රලියාවේ පැවැති චෝගම් සමුළුවට සහභාගි නොවූ ඩොමිනිකා රාජ්‍යය හා ජැමෙයිකාව චෝගම් 2013 සමුළුවට සහභාගි විය. මේ අනුව කොළඹ පැවැති චෝගම් සමුළුවට සහභාගි වූ නියෝජිතයන්ගේ තරාතිරම අනුවද එය ඔස්‌ටේ්‍රලියාවේ පැවැති චෝගම් 2011 සමුළුවට නොදෙවනි මට්‌ටමක පැවැති බව කිව යුතුය.

එමනිසා මෙය මෑත කාලයේදී ලංකාවට ජාත්‍යන්තර තලයේ ලැබූ විශාලතම දේශපාලන ජයග්‍රහණයද වන්නේය. නමුත් මේ සමුළුව ආවරණය කිරීමට චැනල් 4 නාළිකාවට ලංකාවට පැමිණීමට ඉඩදීම ඉතාමත්ම අදුරදර්ශී තීන්දුවක්‌ වූ බව මෙහිදී කිව යුතුය. 1976 න් පසු මේ රටේ පැවැත්වෙන විශාලම රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතරවාරයේදී ඒ සමුළුවෙන් වෙන පැත්තකට අවධානය යොමුවීම කිසිසේත්ම සිදු නොවි යුතුව තිබුණු දෙයකි. චැනල් 4 නාලිකාවේ කණ්‌ඩායම ලංකාවට පැමිණි මොහොතේ සිටම හැම තැනම කලබලය. ඔවුන් පැමිණෙන අවස්‌ථාවේදී ගුවන්තොටුපළේද චැනල් 4 විරෝධී උද්ඝෝෂණයකි. ඔවුන් නැවතී සිටි හෝටලය අසලත් උද්ඝෝෂණයකි. ඔවුන් යාපනයට ගමන් කරන දුම්රිය නැවැත්වීමට තවත් දහස්‌ ගණනක සෙනගකි.

චෝගම් සමුළුව සඳහා රාජ්‍ය නායකයන් පැමිණීමට පෙර සිදුවූ ව්‍යාපාරික සමුළුව, තරුණ සමුළුව හා රාජ්‍ය නොවන සංවිධාන සමුළුව සිදුවන අතරතුර මුළු රටේම අවධානය තිබුණේ ඒ කෙරෙහි නොව චැනල් 4 කණ්‌ඩායම ඇසුරෙන් සිදුවන නරිනාටක කෙරෙහිය. ඔවුන් යන යන තැන උද්aඝෝෂණය. අවසානයේදී සිදුවූයේ චෝගම් සමුළුව සඳහා පැමිණි මොනම රාජ්‍ය නායකයකු සම්බන්ධයෙන් වත් නොතිබුණු අවධානයක්‌ චැනල් 4 කණ්‌ඩායම වෙත යොමුවීමයි. චාල්ස්‌ කුමාරයාටවත් මේ රට තුළ චැනල් 4 කණ්‌ඩායමට තරම් "පබ්ලිසිටියක්‌" ලැබුණේ නැත. රාජ්‍ය නායක සමුළුව ආරම්භ වූ 15 වැනිදා චැනල් 4 කණ්‌ඩායම චෝගම් මාධ්‍ය ශාලාවට පැමිණි අවස්‌ථාවේදී එක්‌තරා රූපවාහිනි කණ්‌ඩායමක්‌ සමුළුව පසෙක තබා චැනල් 4 නිෂ්පාදක කැලම් මැක්‌රේ පසුපස ප්‍රශ්න අසමින් හඹායන දර්ශන අපි දුටුවෙමු. චැනල් 4 කණ්‌ඩායම ලංකාවේ සිටීම චෝගම් සමුළුව පවතින අතරතුර මර්වින් සිල්වා සෙල්ලම් පෙන්වීම වැනි කාරණයක්‌ විය.

චැනල් 4 කණ්‌ඩායම සම්බන්ධයෙන් සිදුවූ බොහෝ දේවල් හුදෙක්‌ම ගොන්පාට්‌ රසයක්‌ ජනිත කරවන දේවල් පමණක්‌ වූවද ඔවුන්ගේ පැමිණීම නිසා රටට මහත් හානිකර දෙයක්‌ද සිදුවූ බව කිව යුතුය. ඒ ඔවුන් එජාප මූලස්‌ථානය වන සිරිකොත මන්දිරය තුළ සිටිනවාය යන ආරංචිය නිසා ආණ්‌ඩු පාක්‍ෂික උද්ඝෝෂණකරුවන් සිරිකොත මන්දිරය දවස්‌ දෙකක්‌ පිටපිට වට කිරීමේ සිද්ධියයි. එවිට චෝගම් සමුළුව සඳහා මේ රටට පැමිණි තරුණයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නායකයන් හා නිලධාරීන් යන සියලු දෙනාම දුටුවේ රටේ ප්‍රධාන විපක්‍ෂයේ මූලස්‌ථානය ආණ්‌ඩු පාක්‍ෂික උද්ඝෝෂණකරුවන් විසින් වටකර තිබෙන දර්ශනයකි. මේ උද්ඝෝෂණ ප්‍රචණ්‌ඩ නොවූවද ගල්මුල් කීපයක්‌ විසිකරනු ලැබූ අතර සිරිකොත මන්දිරයේ ගේට්‌ටුවට පයින් ගැසීම, රනිල් වික්‍රමසිංහ මහතාගේ වාහනයට අතුල් පහරවල් ගැසීම වැනි සිද්ධීන්ද සිදුවිය. මේ සියල්ල බලාසිටින විදේශ අමුත්තන් සිතන්නේ මේවා මර්දනකාරී ආණ්‌ඩුවක්‌ විසින් විපක්‍ෂයට එල්ල කරන අඩන්තේට්‌ටම් බවය. ප්‍රධාන පෙළේ රාජ්‍ය නායක සමුළුවක්‌ අතරතුර තත්ත්වය මෙබඳුනම් සාමාන්‍ය තත්ත්වය කෙබඳු දැයි ඔවුන් සිතනු ඇත.

සිරිකොත මන්දිරය අවට ආණ්‌ඩු පාක්‍ෂික පිරිස්‌ උද්ඝෝෂණ කිරීම අතිශයින්ම අසාමාන්‍ය දෙයක්‌ බවත්, රාජපක්‍ෂ ආණ්‌ඩුව පැමිණ පසු එවැන්නක්‌ සිදුවූ පළමු අවස්‌ථාව මෙය බවත් ලංකාවට පැමිණ සිටි විදේශීය අමුත්තන්ට කීවත් ඔවුන් එය විශ්වාස කරන්නේ නැත. 2005 සිට අද දක්‌වා සිරිකොත මන්දිරය සාමාන්‍යයෙන් වටකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීමට මාන බලන යූඇන්පී කාරයන්ම පමණක්‌ම බව කීවත් මොනම විදේශිකයකුවත් එය විශ්වාස කරන්නේ නැත. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්‌වෙන්න යෑයි කියමින් යූඇන්පී කාරයන් සිරිකොත වැටලූ අවස්‌ථා වලදී එක්‌කෝ මාර්ගය අවහිර කිරීමෙන් නැතිනම් පොලිස්‌ බලඇණි යෙදවීමෙන් ඔහුව හැම අවස්‌ථාවකදීම බේරාගන්නේ මේ ආණ්‌ඩුව බව යෑයිද විදේශීය අමුත්තන්ට කීවත් එයද ඔවුන් විශ්වාස කරන්නේ නැත. ඔවුන් විශ්වාස කරන්නේ එජාපය දිනපතාම ආණ්‌ඩුවෙන් එල්ලවන මහා පීඩනයක්‌ මැද්දේ ජීවත් වන බවයි.

මෙයින් පෙන්නුම් කෙරුණේ පෙන්වීමට වාර්තා වැඩසටහනක්‌ නැතුව වුවත් හුදෙක්‌ම තම මුහුණු පෙන්වීමෙන් පමණක්‌ චැනල් 4 කණ්‌ඩායමට ලංකාව අපහසුතාවයට පත් කිරීමට ඇති ගුප්ත බලයයි. චැනල් 4 කණ්‌ඩායම එදා සිරිකොත මන්දිරයට නොගියේ නම් ආණ්‌ඩුපාක්‍ෂික උද්ඝෝෂණකරුවන් කිසිදාක සිරිකොත මන්දිරය වට කරන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා හෝ මංගල සමරවීර මහතා හෝ මොනදේ කීවත්, කළත්, ආණ්‌ඩුව සාමාන්‍යයෙන් මොනම ප්‍රතිචාරයක්‌වත් දක්‌වන්නේ නැත. ඔවුන් දෙදෙනා කරන කියන දේවල්වලට ප්‍රතිචාර දක්‌වන්නේත් කලබල කරන්නේත් එජාපයේම පිරිස්‌ පමණි. චැනල් 4 කණ්‌ඩායම සිරිකොතට ගෙන්වා ගැනීම ආණ්‌ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක්‌ කැඳවා ගැනීමට මංගල සමරවීර මහතා උවමනාවෙන්ම කළ දෙයක්‌ බව මගේ විශ්වාසයයි. එය ඉතාමත්ම දක්‍ෂ දේශපාලන පියවරක්‌ බවද කිව යුතුය. මේ අවස්‌ථාවේදී එ.ජා.ප.යට (විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට) ඇති ප්‍රබලම අභියෝගය වන්නේ තමුන්ගේ ආණ්‌ඩු විරෝධී භාවය රටට පෙන්වීමයි. තම පක්‍ෂ නායකත්වය රැක ගැනීමට ආණ්‌ඩුවෙන් උදව් පදවු ලබාගැනීම උදෙසා ඔහු ආණ්‌ඩුව සමග හොර ගනුදෙනුවක සිටින බව එජාපයේම සිටින ප්‍රබල පිරිස්‌ එළිපිටම චෝදනා කර සිටී. එ.ජා.ප. යේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා චෝගම් සමුළුවට අදාළ ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් කරනවා යෑයි එක්‌තරා රූපවාහිනී නාලිකාවක්‌ විසින් කරන ලද චෝදනාවද වික්‍රමසිංහ පාර්ශ්වයට මහත් හානියක්‌ ගෙන දුන් කාරණයක්‌ විය.

නමුත් චැනල් 4 කණ්‌ඩායම සිරිකොත මන්දිරයට පැමිණීමත් සමග ආණ්‌ඩුවේ උද්ඝෝෂණකරුවන් එය වටකර දින දෙකක්‌ පිට පිට කරන ලද කලබල නිසා රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණු සියලු මඩ මොහොතකට හෝ සේදී ගියේය. එ.ජා.ප.ය යළිත් රැඩිකල් ආණ්‌ඩු විරෝධී බලවේගයක්‌ හැටියට නැවත ඉස්‌මතු විය. එළියේ උද්ඝෝෂණ තිබියදීත් ඔවුන් සිරිකොත මන්දිරය තුළ තමන්ගේ වැඩකටයුතු දිගටම කරගෙන ගියේය. බොදු බල සේනාව ඔවුන්ගේ භූමිය තුළට පැමිණි විට ඔවුන්ට පහරදී පන්නා දැමුවේය. එයින් නව රැඩිකල් බවක්‌ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට ආරූඪ වූයේය.

මෙයින් රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වයෙන් පැන්නීමට උත්සාහ දරන ප්‍රතිසංස්‌කරණවාදීන්ට ඇතිවූයේ මහත් පසුබෑමකි. නමුත් එ.ජා.ප. යට හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ මාධ්‍ය ආයතන විසින් ඉතා දක්‍ෂ ලෙස මේ තත්ත්වය අනෙක්‌ පැත්තට කරකැවූ බව කිව යුතුය. ආණ්‌ඩු පාක්‍ෂික උද්ඝෝෂණකරුවන් සිරිකොත වට කිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ශක්‌තිමත් වන බව දැනගත් ඔවුන් කළේ උද්ඝෝෂණකරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම නොව ඒ උද්ඝෝෂණයට හේතුවූ කාරණා ගැන අවධානය යොමු කිරීමය. චැනල් 4 කණ්‌ඩායම සිරිකොත මන්දිරයට ගියදා සිටම එ.ජා.ප.යට හිතවත් නමුත් රනිල්ට එරෙහි මේ මාධ්‍ය ආයතන බෙරිහන් දීමට පටන් ගත්තේ රටට වින කරන චැනල් 4 කණ්‌ඩායම මංගල සමරවීර විසින් සිරිකොතට ගෙන්වා මුළු එ.ජා.ප.යේම ප්‍රතිරූපයට හානි කළ බව කියමිනි. එයත් සමගම එ.ජා.ප.යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රබලයින් චැනල් 4 කණ්‌ඩායම සිsරිකොතට ගෙන්වීමෙන් පමණක්‌ නොව කොටි සංවිධානයට හිතවත් ප්‍රදර්ශනයක්‌ එ.ජා.ප. මූලස්‌ථාන භූමියේ පැවැත්වීමට ඉඩදීමෙන් සිංහල බෞද්ධ ජනයා තවත් එ.ජා.ප.යෙන් ඈත් කරවීමට මංගල සමරවීර ඇතුළු පාර්ශ්වය කටයුතු කර ඇති බව තැන් තැන්වල මැසිවිලි නැගීමට පටන් ගත්තේය. දැන් අපට එ.ජා.ප.යට හිතවත් මාධ්‍ය ආයතන වලින් පවා ඇසෙන්නේ ඒ හඬ පමණි. එම නිසා චැනල් 4 කණ්‌ඩායම සිරිකොතට ගෙන්වීමත් සමග ඇතිවූ තත්ත්වයෙන් එ.ජා.ප.යේ රනිල් පාර්ශ්වයට ලැබුණු තාවකාලික වාසිය වාෂ්ප වී යැමට ඉඩ ඇත.

චැනල් 4 කණ්‌ඩායම පසුව චෝගම් 2013 සමුළුව ඇසුරෙන් වැඩිම ආන්දොaලනයක්‌ ඇති කරන අනෙක්‌ පුද්ගලයා වූයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ය. ලංකාව පිsළිගත හැකි යුද අපරාධ විමර්ශනයක්‌ නොකරන්නේ නම් 2014 මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටින බව කැමරන් මහතා කීවේය. ඕනෑම කෙනකුට ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කළ හැක. නමුත් යුද අපරාධ විමර්ශනය කරන්නේ කවුද යන්න වෙනම කතාවකි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යුද අපරාධ විමර්ශනයක්‌ කළ නොහැක. එවැනි බලයක්‌ ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට පමණි. ආරක්‍ෂක මණ්‌ඩලයට ද එවැනි විමර්ශනයක්‌ ආරම්භ කිරීමට ඇත්තේ ක්‍රම දෙකක්‌ පමණි. ඉන් පළමුවැන්න, යුගෝස්‌ලාවියාව හා රුවන්ඩාව සම්බන්ධයෙන් ඇති කරන ලද විශේෂ යුද අපරාධ උසාවි වැනි අළුත් ආයතනයක්‌ පිහිටුවීමෙනි. නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යම් කාරණයක්‌ යොමු කිරීමෙනි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේද යම් විමර්ශනයක්‌ ආරම්භ කිරීමට ක්‍රම තුනක්‌ ඇත. ඉන් එක ක්‍රමයක්‌ වන්නේ පෙර කී පරිදි එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයෙන් ලැබෙන නිර්දේශයක්‌ පරිදිය. දෙවැන්න වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්‌ විසින් තවත් සාමාජික රටක අවධානය යොමුවිය යුතු තත්ත්වයක්‌ උද්ගත වී ඇති බව පැවසීමෙනි. ඊළඟ ක්‍රමය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පරිචෝදකට යම් සාමාජික රටක අවධානයට යොමුවිය යුතු තත්ත්වයක්‌ උද්ගතවී ඇති බව හැඟුණොත්ය. නමුත් මේ අවසන් ක්‍රම දෙකට විමර්ශනයක්‌ ආරම්භ කිරීමට නම් අදාළ රට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයෙක්‌ විය යුතුය. ලංකාව එම අධිකරණයේ සාමාජික රටක්‌ නොවන නිසා ලංකාවට එරෙහිව එවැනි විමර්ශනයක්‌ ආරම්භ කළ නොහැක. එමෙන්ම චීනය හා රුසියාව ලංකාව පැත්තට සිටින නිසා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය විසින් ද ලංකාවට එරෙහිව එවැනි විමර්ශනයක්‌ ආරම්භ කරන්නේ නැත. එසේ නම් කැමරන් මහතා කියන මේ විමර්ශනය කරන්නේ කවුද යන්න ගැන අපි උනන්දුවෙන් බලා සිටිමු.

වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම 
http://www.divaina.com/2013/11/18/feature01.html

සබැඳි ලිපි -
[
බොදුබලය, එජාපය සහ මංගලhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_17.html
‘චැනල් 4’ සිරිකොතට ගෙන්වීම කුමන්ත‍්‍රණයක් - සජිත්http://denethharinna.blogspot.com/2013/11/4_6534.htmlජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7665.html
]

0 comments: