Pages

Tuesday, November 26, 2013

පාරිසරික සංතුලනයේ සුවිශේෂී වැදගත්කම

මිනිසා වූ කලී පරිසරයේම තවත් එක්‌ කොටසකි. ඔහුගේ මුළු පැවැත්ම තහවුරු වන්නේ මෙම පරිසරය මතයි. මිනිසා වටා පවතින මෙම පාරිසරික පද්ධතිය යහපත් වූ තරමට මානවයාගේ පැවැත්මට එය යහදායක වනු නිසැකය. ග්‍රීකයන් පරිසරය හැඳින්වූයේ ධසංes (ඔයිකස්‌) ලෙසය. එහි සරලම අර්ථය තමා ජීවත්වන වටපිටාව යන තේමාවයි. පරිසරය යනු කුමක්‌දැයි අවබෝධ කර ගත යුතු කරුණකි. එසේම පරිසරයේ පවතින සංවේදීතාවය, පරිසරයේ පවතින විවිධත්වය, පාරිසරික සමතුලිතතාවය, පාරිසරික අවශ්‍යතා, පාරිසරික නිර්මාණ, පරිසර ආරක්‍ෂණ පිළිවෙත්, පාරිසරික සෞන්දර්යත්වය සහ පාරිසරික ප්‍රයෝජන පිළිබඳ අවබෝධය මූලික වශයෙන් මිනිසා විසින් අවබෝධයේ තබා ගත යුතු ඉතා වැදගත් සාධක කිහිපයකි. මේ සඳහා ඉහළ අධ්‍යාපනික සුදුසුකමක්‌ අවශ්‍ය නොවන අතර ප්‍රායෝගිකව අපට ලද හැකි දැනුම් සම්භාරය ඉහත තේමාවන් විෂයෙහිලා අවබෝධයක්‌ ඇති කර ගැනීමට ඉතාම ප්‍රයෝජනවත්ය.

අතීතයේ ලංකාව වැනි රටවල මෙම පාරිසරික සන්නිවේදනය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමවිධි ඔස්‌සේ සිදුවූ අතර එමඟින් සිය ගෝත්‍රිකයන් දැනුවත් කිරීම සිදුවිය. ගසක්‌ කපා දැමීමට නම් ඊට පළමුව පැළ කිහිපයක්‌ සිටුවීම පැරැන්නන්ගේ රීතිගත සම්ප්‍රදාය බවට පත්විය. ඔවුහු පාරිසරික වත් පිළිවෙත් පවා සිදු කරන්නට යෙදුණේ මෙම හේතුව නිසාවෙනි. තම ග්‍රාමීය වටපිටාව පෝෂණය කරනු ලබන්නේ දිය උල්පත් සුරක්‍ෂිත කර ගැනීමට ඔවුන් සිය ගෝත්‍රය තුළින් ඒකමතිකව එකඟතාවය තහවුරු කරගැනීමෙනි. (වැදි ජනතාව මෙහිදී සුවිශේෂී වෙයි.) දියනාන තොටුපළ, ගංඉවුර, කෘෂිකාර්මික ජල පෝෂිත ප්‍රදේශ, ගල් වැටි ආදිය මෙම පාරිසරික සන්නිවේදනය තුළ ලද, ප්‍රායෝගික ව්‍යාප්තීන්ය. ඔවුහු සිය සීමා සහිත ක්‍රම උපායන් තුළ පාරිසරික ආරක්‍ෂණය දියත් කළ අතර එය මිනිසාට මෙන්ම සතුන්ට ද හිතකර තත්ත්වයක්‌ ඇතිවීමට අවැසි පරිසරයක්‌ නිර්මාණය කිරීමට සමත් විය. එදා වාරි ශිෂ්ටාචාරය, පන්සල සහ ආගමික වටපිටාව තුළ දිවිගෙවූ මානුෂීය වටපිටාව නූතනයේ සංකීර්ණ වී තිබේ. අප විසින් හිමිකර ගත් දැ ඉතා අතළොස්‌සක්‌ වී ඇති අතර අහිමිකර ගත් දැ බොහොමයකි. මේ දේවල් අතර පාරිසරික පද්ධතිය ඉතා ඉහළ අගයක්‌ ගනී. සාම්ප්‍රදායික කෘෂි ක්‍ෂේත්‍රයේ සියලු ඵලදායී ප්‍රතිඵල පාරිසරිකව මිනිසා ලද ජයග්‍රහණයේම ප්‍රතිඵලයකි.

මිනිස්‌ අවශ්‍යතා වර්ධනය විය. ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය විය. සංවර්ධනය කඩිනම් විය. එසේ වුවද, පාරිසරික පැවැත්ම පිළිබඳව රටවැසියා සතු සංවේදීතාව දුරස්‌ථ විය. ගොඩනැඟිලි, සුඛෝපභෝගී රථවාහන, සහ බලශක්‌ති ක්‍රියාවලිය මත පමණක්‌ යෑපීමට ලාංකිකයන් හුරු වූයේ ඉතා කඩිනමිනි. විවෘත ආර්ථිකයේ ඔඩු දුවන ප්‍රතිඵල තුළ කාර්මික වීමේ අත්‍යාවශ්‍යතාවය හමුවේ පාරිසරික ආරක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් ඔවුනට වලංගු නොවීය. මේ සඳහා නීතිපත් සහ රෙගුලාසි පද්ධතියක්‌ නිර්මාණය කරලීමට පැවැති රජයන්ට සිදු විය. අමාත්‍යාංශ, අධිකාරි, ආයතන සහ සමාගම් ස්‌ථාපිත වීම මේ යටතේ සිදු විය. අණ පනත්, නීති රීති, රෙගුලාසි, චක්‍රලේඛ ඒ සඳහා අන්තර් ග්‍රහණය කරන ලදී. නිලධාරීන් පත් කිරීම සිදුවිය. දඬුවම් ක්‍රම, බදු, දඩ මුදල් අය කිරීම සිදු විය. 1970 දශකයේ 40% දක්‌වා පැවැති වන ගහණය නූතනයේ 21% ක්‌ දක්‌වා අවම විය. නමුත් ජනතාව තවදුරටත් සිය පාරිසරික සංහාරය අඛණ්‌ඩව සිදු කරයි. මෙහි පවතින මූලික අර්ථය නම්, පාරිසරික සුරක්‍ෂිතතාවය තවදුරටත් ජනතාව වෙත සන්නිවේදනය නොවීමයි. ලංකාව වැනි විශේෂ පාරිසරික පද්ධතියකින් අනූන වූ රටකට පාරිසරික සන්නිවේදනය අවශ්‍ය වනුයේ එබැවිනි.

පරිසරය මගින් අපට ලැබෙන සේවාවන් ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකි. මෙහි පළමුවැන්න ජීව සහායක සේවා (ඛසෙe Sමචචදරඑ Seරඩසජැ) හෙවත් ජලය, වාතය, හිරු එළිය ආදී සදාතනික සේවා හඳුනාගත හැක. ආර්ථික සහායක සේවා (Eජදබදපසජ Sමචචදරඑ Seරඩසජැ) මෙහි දෙවැනි කාණ්‌ඩයයි. මේ යටතේ අමු ද්‍රව්‍ය සහ ශක්‌තීන් හඳුනාගත හැක. තෙවන කොටස වනුයේ අප ද්‍රව්‍ය අවශෝෂණ සේවාවයි. මින් හඳුන්වනු ලබන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම් තුළින් පරිසරයට එක්‌වන අමුද්‍රව්‍ය පරිසරය විසින් සේවාවක්‌ ලෙස අවශෝෂණය කර ගැනීමයි. මෙම සේවාවන් ත්‍රිත්වයම නොදැනුවත්ව අප විසින් ලබා ගන්නා අතර මෙම සේවාවන්ට ප්‍රති උපකාර පාරිසරික විෂයෙහි ලා හිමි නොවීම මිනිසාගේ නොදැනුවත් භාවය තුළ ඇතිව වූ මහත් ගැටලුවකි. පාරිසරික සන්නිවේදන විෂය සැකසිය යුත්තේ මෙම ප්‍රතිචාරය, සංදේශය සමාජ ගත කිරීමට අවැසි පසුබිම නිර්මාණය කිරීමටයි. ආයතනගතව පවතින නීති රීති රෙගුලාසි මෙරට ජනතාව විෂයෙහි ලා අනුබද්ධ වීමට අවශ්‍ය වැඩ පිළිවෙලක්‌ කඩිනම් කළ යුතුව පවතී. මෙරට පවතින අධි සංවේදී පරිසර කලාප පාරිසරික සංසිද්ධි සම්බන්ධව මෙරට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක්‌ මේ වන විටත් ක්‍රියාත්මක නොකිරීම ගැටලුවට කාරණයකි. පාසල් අධ්‍යාපනික සේවා හරහා මෙවැනි නීති රීති රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීම සාමූහික සන්නිවේදනයේම තවත් එක්‌ පැතිකඩකි. පාරිසරිකව අප විසින් උකහා ගනු ලබන ඵල සම්පත් විපුල ලෙස භාවිතයට ගැනීමේ අවශ්‍යතාව රාජ්‍ය කේන්ද්‍රීය වූ ග්‍රාමීය සමාජ වටපිටාව දක්‌වා ව්‍යාප්ත කළ යුතුය. කුඩා කණ්‌ඩායම් සන්නිවේදන විෂය ක්‍ෂේත්‍රය තුළ ඉතා ප්‍රබල සන්නිවේදන විධි ක්‍රමයකි. ග්‍රාමීය සමාජය තුළ මෙවැනි කුඩා කණ්‌ඩායම් තුළින් සිදු කරනු ලබන සන්නිවේදන ක්‍රම විධි සඳහා ජනමත නායකත්වය යොදා ගැනීම තවදුරටත් මල් ඵල දරනු ඇත. පාරිසරික ආරක්‍ෂණ වැඩ පිළිවෙත් මෙන්ම පාරිසරිකව මිනිසා උකහා ගනු ලබන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව ද දැනුවත් කිරීමට මින් අවකාශය සෑදේ. එය පරිසරයට හානි නොවන ලෙස ලබාගත හැකි බව ප්‍රායෝගිකව පෙන්වා දීමට අවශ්‍ය වපසරිය රාජ්‍ය කේන්ද්‍රීය, සීමා සහිත මැදිහත් බව තුළ ගොඩනැංවිය හැක.

එක්‌සත් ජාතීන්ගේ පාරිසරික ප්‍රඥප්ති පිළිබඳව දැනුවත් භාවය මෙරට නොමැති තරම්ය. මෙම දැනුම සන්නිවේදනය විය යුතුය. එමගින් ගොඩනැගෙන දැනුවත් භාවය රටේ හෙට දවසේ පාරිසරික සුරක්‍ෂිත තාවයට මහත් රුකුලක්‌ බවට පත් වෙයි. පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍යාංශය, වනජීවි සම්පත් අමාත්‍යාංශය, වනජීවි කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතන මෙරට පාරිසරික වැඩපිළිවෙලෙහි රාජ්‍ය මැදිහත්කරුවන් වන අතර නෛතික බලය ඔවුන් සතු වෙයි. මෙම ආයතන ගතව පවතින චක්‍රලේඛ, සාමාන්‍ය ජනයාට වඩාත් සමීප විය යුතු අතර, මෙම දැනුවත් කිරීම, දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හෝ ග්‍රාමීය මට්‌ටමින් සිදු විය යුතුය. අපද්‍රව්‍ය කළමනාකරණය, වනාන්තර එළිපෙහෙලි කිරීම, වෙරළ ඛාදනය, වැලි ගොඩ දැමීම, වන සතුන් ඝාතනය, පාංශු ඛාදනය, අනවසර ඉදිකිරීම්, අනවසර ගොඩකිරීම්, අනවසර, ගල් කොරි, පරිසරයට හානිදායක ශාක රෝපණය, ජාන මංකොල්ලය, වගුරු බිම් ගොඩකිරීම්, හානිදායක රසායනික භාවිතය, දිරාපත් නොවන අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම, ඒකදේශීය ශාක සත්ත්ව කොටස්‌ හා පරිසර පද්ධති පිළිබඳ දැනුවත්භාවය අවම වීම ආදී බොහෝ කාරණා මෙම පාරිසරික නොදැනුවත්භාවය තුළ දෛනිකව ජනමාධ්‍ය මගින් වාර්තා වේ. නමුත් මෙම වාර්තා කිරීම තුළින් නෛතික දැනුවත් කිරීම සිදු නොවන තරම්ය. පාරිසරික අගය මාධ්‍ය මගින් වඩාත් සෘජුව සන්නිවේදනය කළ හැක. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය යන මාධ්‍ය මගින් සිදු කරනු ලබන මෙම පාරිසරික සන්නිවේදන ක්‍රම විධි සම්බන්ධව මාධ්‍ය ආයතන මෙහෙයවීම රාජ්‍ය අංශය විසින් සක්‍රීයව ක්‍රියාත්මක කළ යුතුය. ජාතික රූපවාහිනිය මගින් එකල විකාශය වූ පරිසරයට විනාඩියක්‌ වැනි වැඩසටහන් විකාශයෙහි ලා ග්‍රාහක ප්‍රජාවගෙන් හිමි වූ ප්‍රතිචාර අතිමහත්ය. සොබා සෞන්දර්යය වර්ණනා කරමින් වැඩසටහන් ඉදිරිපත් කරනවාට අමතරව එම වැඩසටහන් ඇසුරෙන් සමාජගත කළ යුතු පණිවුඩය වඩාත් විධිමත් වියයුතු බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාඥවරියක වූ බාබරා වෝඩි වැඩිවන පරිසරාත්මක ගැටලු සඳහා පිළියම් සෙවීම අසීරු කාර්යයක්‌ නොවන බව පවසයි. එහෙත් එය වත්මන් ලෝක ක්‍රමය තුළ සිදුනොවන බව ඇයගේ පිළිගැනීමයි.

වර්තමානයේ ලෝක ජනගහනය කෝටි 700 කට ආසන්නය. මෙය ඉතා ඉහළ ජනගහණ අගයක්‌ වන අතර ඉතා අනතුරු සහිත තත්ත්වයකි. මෙම සියල්ලටම පාහේ පොදුවේ පරිසරය සීමාවකින් තොරව භුක්‌තිවිඳීමට ඇති ඉඩකඩ වඩාත් වැඩිය. සංවර්ධන ක්‍රියාවලින් ජන ව්‍යාප්තිය පුළුල්වත්ව නිර්මාණය වෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති වැඩි පිරිසකගේ පහසුකම් සඳහා මුල්වන අතර එවැනි ක්‍රියාමාර්ග නූතනයේ රටක පාරිසරික පද්ධති සඳහා දැඩි බලපෑමක්‌ සිදුකරනු ලබයි. එවැනි ව්‍යාපෘති ක්‍රමවේද, ව්‍යාපෘති සැකැස්‌ම ගොඩනැගීමෙහි ලා සැකසිය යුතු ආකෘතීන් පවා වෙනස්‌විය යුතුය. මේ සඳහා අවශ්‍ය නෛතික රෙගුලාසි පද්ධතීන් සැකසිය යුතු කාල වකවානුව මෙරට තුළ මේ මොහොතේ නිර්මාණය වී තිබේ. අවම පරිසර හානියකින් යුතුව සංවර්ධන ව්‍යාපෘති සැකැස්‌ම නිර්මාණය වීම සහ එම පාරිසරික විනාශය වෙනුවෙන් නැවතත් සිදුකළ යුතු නව පාරිසරික පද්ධති පිළිබඳව අවධානය යොමුවිය යුතු කාලසීමාව අත්‍යවශ්‍ය වී පවතී. වන විනාශය හා වගුරු බිම් ආදිය ගොඩවීම නිසා නූතනයේ ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී ඇති දේශගුණික විපර්යාස සහ ක්‍ෂණික ගං වතුර තත්ත්වයන් දෛනිකව මිනිස්‌ ජීවිතවලට බලපෑම් කොට තිබේ. මේ සම්බන්ධව සාමාන්‍ය ජනතාව විෂයෙහි ලා පවතින අවබෝධය හීනවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ජනමාධ්‍ය සිය පාරිසරික මෙහෙයුම ක්‍රියාත්මක කළ යුත්තේ එබැවිනි. තිරසාර සංවර්ධනයට පෙරදැක්‌ම එයයි.

රූප මාධ්‍ය, සංකේත හා සංඥ මාධ්‍ය ක්‍රමවේද විෂයෙහි ලා මිනිසුන් දක්‌වනුයේ ඇල්මකි. මෙවැනි මාධ්‍ය ක්‍රමවේද භාවිතය තුළින් පාරිසරික සන්නිවේදනය මිනිසුන් අතරට සන්නිවේදනය කළ හැක. වාර්තා චිත්‍රපට, පුවත්පත් කතුවැකි, ජන නාට්‍ය, ටෙලි නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය ආදී මිනිසුන්ට වඩාත් සමීපවූ ක්‍රමවේද මගින් මෙම සන්නිවේදනය වඩ වඩාත් ගොඩනැංවිය හැක. මේ මොහොත වන විට අපට අවශ්‍යව පවතිනුයේ නව නීතිරීති රෙගුලාසි සැකසීම නොව, එම රෙගුලාසි පද්ධතීන් සහ පාරිසරික වැදගත්කම පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ අවබෝධයක්‌ ඇති කිරීමයි. පාසල, ප්‍රජාශාලාව, කාන්තා සමිති, වෘත්තීය සමිති, ආයතන සමිති, මරණාධාර සමිති විෂයෙහි ලා සාමාන්‍ය ප්‍රජාව වෙත සන්නිවේදනය කළ හැකි ක්‍රමවේදය ඉතා ඉහළ අගයක පවතී. අද වන විට අප විසින් අප වටා පවතින පාරිසරික පද්ධති සුරක්‍ෂිත කර ගත යුතුය යන ස්‌ථාවර මට්‌ටම අවම තත්ත්වයක පවතී. ජාතික වශයෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන විෂයෙහි ලා ගොඩනැඟිය යුතු ඒකාබද්ධතාවය තව දුරටත් එකිනෙකා හුදෙකලා සිටීම නොවේ. ගොඩනගාගත යුතු අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය මෙම පාරිසරික සුරක්‍ෂිතතාවයේ පැවැත්මට යහමගක්‌ බවට පත්විය යුතුය.

පාරිසරික සන්නිවේදන වැඩපිළිවෙල යටතේ වඩාත් කැපීපෙනෙන ආයතන ඒකකය කි, පාරිසරික සමාජ ජාලා. සමාජය ඇසුරෙන්ම මෙම සමාජ ජාලා බිහිවන අතර එම විෂය කෙරෙහි වැඩි ඇල්මක්‌ දක්‌වන පිරිස මේ සඳහා යොමු වේ. බොහෝවිට වනජීවි පාරිසරික ප්‍රජාව ආශ්‍රයකොට ගෙන මෙම පිරිස්‌ සිය සමාජ ඒකක ප්‍රජා ඒකක ගොඩනගා ගැනීම මෙරට තුළ වැඩි ප්‍රවණතාවයක්‌ පවතී. ඔවුන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන වාර ප්‍රකාශන, වැඩසටහන්මාලා, පුහුණු කඳවුරු වැනි දැ තරුණ තරුණියන් අතර ජනප්‍රිය වී තිබීම පාරිසරික සන්නිවේදන ක්‍රමයේ යහපත් ප්‍රතිඵලයකි.

අතීතයේ ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟී තිබූ පාරිසරික සමතුලිතතාවය නොදැනුවත්භාවය හෝ දැනුවත්භාවය නිසා ඉතා ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. සංවර්ධනයේ නිත්‍ය අරුණලු ලබා ගැනීමට නම් අද දවසේ පාරිසරික පද්ධතිය රැක ගැනීමේ අවශ්‍යතාව ඉතා ඉහළය. පාරිසරික සන්නිවේදනය වැනි විෂය ගත ක්‍ෂේත්‍රයන් පුළුල් විය යුත්තේ එබැවිනි. පාසල් අධ්‍යාපනයේ සිට උසස්‌ අධ්‍යාපනික සේවාවන් දක්‌වා මෙම පාරිසරික සන්නිවේදනයේ නූතන අවශ්‍යතාව විෂයගත රෙගුලාසි යටතේ පැවැතිය යුතුය. මේ සඳහා රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යය. ක්‍රමිකව ගොඩනැඟිය යුතු මේ සන්නිවේදන ආකෘති විෂයෙහි පවතින දැනුම සාමාන්‍ය ජනතාව කෙරෙහි රැගෙන යා හැකිනම් හෙට දවසේ පාරිසරික පද්ධතිය සුරක්‍ෂිත වීමට එය මනා පිටුබලයක්‌ වනු නොඅනුමානය.

"මිහිතලය අපේ මුතුන්මිත්තන්ගේ ප්‍රාණයෙන් සරුසාර වූ බවට ඔබේ දරුවන්ට කියා දෙන්න. අපි හොඳින්ම දන්නා දේ මෙයයි. එනම් මිහිතලය මිනිසාට අයිති නැති බවයි. ජීවය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක්‌ නොවේ. මිනිසා ඒ දැලේ එක්‌ හුයක්‌ පමණි. ඒ නිසා එම දැලට යමක්‌ කළහොත් එය තමාටම කර ගැනීමකි".

- සියෑටල් - (රතු ඉන්දියානු නායක)
සකස්‌ කළේ -  සහන් හේවා ගමගේ
http://www.divaina.com/2013/11/26/feature04.html

0 comments: