Pages

Monday, November 18, 2013

ජාතික සංහිඳියාව පිට රටට ඕනෑ විදියට සිදුවන්නේ නැහැ - මහින්ද සමරසිංහ

ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය ජාතික න්‍යාය පත්‍රයට අනුව මිස විදේශීය අවශ්‍යතා මත සිදු නොකෙරෙන බව වැවිලි කර්මාන්ත ඇමැති සහ මානව හිමිකම් පිළිබඳ රජයේ විශේෂ නියෝජිත මහින්ද සමරසිංහ මහතා ඊයේ (17 දා) පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව සකස්‌ කළ පරිද්දෙන් විනිවිදභාවයෙන් යුතුව ඉටු කිරීමට රජය කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අපට පමණක්‌ නොව ලෝකයේ ඕනෑම රටක සිටින පුද්ගලයකුට දැනගත හැකි වන පරිදි අපි එය ඉටු කරනවා. එම ක්‍රියාවලියේ ප්‍රගතිය වෙබ් අඩවි මගින් තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් අපි සිදු කරනවා. මේ ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා අපට අපේම වැඩපිළිවෙළක්‌ තිබෙනවා. ඒ සඳහා කිසිවකුගේ කාල රාමු අවශ්‍ය නැහැ. එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය වග බලා ගන්නා බවද ඇමැති මහින්ද සමරසිංහ මහතා කීවේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

http://www.divaina.com/2013/11/18/news33.html

0 comments: