Pages

Monday, November 18, 2013

අහුන්ගල්ලෙන් විහාරයක්‌ මතුවෙයි

වසර සිය ගණනක්‌ වනගතව තිබූ අහුන්ගල්ලේ ගල් වෙහෙර මළුවවත්ත භූමියෙන් පැරැණි විහාරයක නටබුන් පසුගිය සතියේ කළ කැණීම් කටයුතුවලදී මතුවී තිබේ.

වසර 300 කට වඩා පැරැණි ඓතිහාසික පූජනීය ස්‌ථානයක්‌ මෙම ස්‌ථානයේ ඇතැයි විශ්වාස කෙරේ. ඒ නිසා ප්‍රදේශයේ තරුණයන් එහි පන්සලක්‌ ඉදිකිරීමට ගන්නා උත්සාහය මල්ඵල ගන්වමින් ප්‍රදේශයේ දානපතියකු රුපියල් කෝටියක පමණ මුදලක්‌ වැයකරමින් සියලු විහාරාරාම සහිත පන්සලක්‌ ඉදිකිරීම අරඹා තිබේ. 

ඒ අනුව බුදු මැඳුර හා අලුත්ම සංඝාවාසය මේ මස 15 වැනි දින විවෘත කොට සඟසතු කෙරුණි. රුපියල් ලක්‍ෂ 35 ක්‌ වැයකරමින් නව චෛත්‍යයක්‌ ඉදිකෙරේ.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකු වන දානපති කරුණාදාස කුමාරසිංහ මහතා තමාගේ මියගිය මව්පියන්ට පිං පිණිස මෙම කටයුතු සිදුකරන බව ගල්වෙහෙර මළුවවත්ත විහාර භූමියේ විහාරාධිපති, කොස්‌ගොඩ කෑගල්ල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කොස්‌ගොඩ මහින්ද හිමියෝ ඊයේ (17 දා) පැවසූහ.

වසර 200 කට වඩා කාලයක්‌ මෙම භූමිය වනගතව තිබූ බව ප්‍රදේශවාසීහු කියති. මීට වසර පහ හයකට පෙර ප්‍රදේශයේ තරුණයකු වූ ලලිත් හේමන්ත මහතා ඇතුළු පිරිසක්‌ එහි සංඝාවාසයක්‌ තනවා පන්සලක්‌ තැනවීමට උත්සාහ ගනිමින් සිටියහ. ඒ සඳහා ආධාර බලාපොරොත්තු සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් නොලැබුණ බව තරුණ පිරිස කියති. මේ බව ප්‍රදේශයේ දානපතියකු වන කරුණාදාස කුමාරසිංහ මහතාට දැන්වීමෙන් ඒ මහතා මියගිය මව්පියන්ට පිං පිණිස මෙම ස්‌ථානයේ අංග සම්පූර්ණ පන්සලක්‌ ඉදිකිරීමට ක්‍රියාකළේය.

අහුන්ගල්ල - කමල් ශ්‍රී ලියනගේ
http://www.divaina.com/2013/11/18/news22.html

0 comments: