Pages

Monday, November 25, 2013

කාම්බෝජයේ සිට පැමිණ සිංහලෙන් ත්‍රිපිටකය හදාරන පුංචි හාමුදුරුවරු

කෝට්‌ටේ රාජධානියේ ආරම්භක සමයේ ඌවෙන් පැමිණි මුල්ලේගම නමැති සෙනවියා නතර වූයේ වර්තමානයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වන ගමකය. එම සෙනවියා වාසය කර නිසාම එම ගමට මුල්ලේගම යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන්ය. එම නිසා හෝමාගම මුල්ලේගම ග්‍රාමයටම ඓතිහාසික වටිනාකමක්‌ තිබේ.

1880 දී මුල්ලේගම පිහිටුවාගත් සුචරිතෝදය සමිතිය මගින් 1895 දී මුල්ලේගම පාසල ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයද අරඹා තිබේ.

මේ වන විට සුගතානන්දනාරාමයේ විහාරාධිපතිත්වය දරන්නේ අතුරුගිරියේ විමලවංස නාහිමියෝය. උන්වහන්සේ මුල්ලේගම විහාරයට වැඩම කර ඇත්තේ 1957 වර්ෂයේය. මේ වන විට උන්වහන්සේ සමග එම විහාරස්‌ථානයේ අමුත්තෝ 7 දෙනෙක්‌ සිටිති. ඒ කාම්බෝජයෙන් වැඩම කළ සාමනේර ස්‌වාමීන් වහන්සේලාය.

ඉංග්‍රීසියෙන් කැම්බෝඩියා ලෙස මේ වන විට හැඳින්වෙන කාම්බෝජයේ ඇත්තේ රාජාණ්‌ඩුක්‍රමයකි. එහි රජු නරෝදම් සිහ මෝනි ය. අගමැතිවරයා හුං සෙන් ය. රාජ්‍ය භාෂාව "කෙම" වන අතර නිල ආගම ථෙරවාදී බුදු දහමය. එරට 96% ක්‌ බෞද්ධයෝය. අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා එකම අමාත්‍යංශයක්‌ යටතට අයත්ය. එරට කාන්තාවන්ගේ සාක්‍ෂරතාව 70% ක්‌ වන අතර පිරිමින්ගේ සාක්‍ෂරතාව 85% කි.

එවන් තත්ත්වයක්‌ ඇති කාම්බෝජයෙන් මෙම සාමනේර හිමිවරුන් 2013 පෙබරවාරි මාසයේ මුල්ලේගම විහාරයට වැඩම කර ඇත්තේ සිංහල, පාලි, සංස්‌කෘත ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීමටය. මෙම හිමිවරුන් එරට ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල පිරිස්‌ය. මේ වන විට පහළ බෝමිරිය විද්‍යාලෝක පිරිවෙනේ අධ්‍යාපනය ලබන උන්වහන්සේලා මා, නායක හිමියන් සමග කතා කරමින් සිටින විට විහාරයට වැඩම කළහ.

"මේ. පත්තරෙන් ඇවිත් ඉන්නේ කියන්නකෝ ඕ ගොල්ලන්ගේ ඒ රටේ නම්. නායක හිමියෝ සාමනේර හිමිවරුන්ට පැවසූහ. මම වාඩි වී සිටි බංකුවෙන් නැගිට්‌ටෙමි.

තාමත් ළමා වියේ පසුවෙන උන්වහන්සේලා නම් කියූහ. ඒත් මට තේරුණේ නැත. මම යළිත් ඇසුවෙමි. තවමත් ළමා වියේ පසුවන උන්වහන්සේලා සුරතල් ලෙස සිනා සුනහ.

මම මට ඇසුණු අයුරින් ශබ්ද කර කීවෙමි. නෑ. නෑ. යෑයි උන්වහන්සේ යළිත් සිනා සෙමින් කීහ. පසුව ඉංග්‍රීසියෙන් නම් ලියා පෙන්වූහ.

ඒ අතරතුර නායක හිමියෝ සාමනේර හිමිවරුන්ගේ පොත් මට පෙන්නූහ. සිංහල ලියා ඇති අපූරුව ශ්‍රී ලංකාවට වැඩම කර වසරක්‌ ගතවන්නටත් පෙර මෙවන් හැකියාවක්‌ යෑයි මට සිතිණි. ඉතාමත් රවුම්ව සහ නිරවුල්ව උන්වහන්සේලා සිංහල ලියා තිබුණි. අවුරුදු 8-11 වයසේ පසුවන උන්වහන්සේලාගේ දක්‍ෂතා ගැන නායක හිමියන්ට ඇත්තේ සතුටකි.

මේ හාමුදුරුවන්ගේ නම් කියන්න අපේ දායකයන්ට අමාරුයි. ඒ නිසා මම සිංහල නම් දුන්නා. යෑයි නායක හිමියෝ කීහ.

ඒ අනුව හර් හිමියෝ කාම්බෝජයේ සිරිරතන හිමිය, තොන් හිමි සිරිනන්ද හිමිය. දාලින් හිමි සුගතදම්ම හිමිය, සෝන් ඔඩම් හිමි සුගතනන්ද හිමිය. ලී පා හිමි සුසිල හිමිය. චන් ටෙත් හිමි සුදම්ම හිමිය. ගීම් ලුං හිමි සුජාත හිමිය.

මේ හාමුදුරුවරුන් ඇතුළුව විසිපස්‌නමක්‌ එහෙන් වැඩම කළා. ආවාසගෙයි ඉඩකඩ මදි නිසා අනිත් හිමිවරුන් මට සම්බන්ධ විහාරස්‌ථානවල නතර කෙරෙව්වා. අපි අලුතෙන් ආවාසගෙයක්‌ හැදුවත් තවම එහි වැඩ ඉවර නෑ. ඒ නිසා ගරාවැටී තිබෙන පුස්‌තකාලය හා සීමාමාලක ගොඩනැගිල්ලේත් හිමිවරුන්ට නතර වෙන්න සිදු වෙලා තියෙනවා.

එනිසා ඒ ගරාවැටුණු ගොඩනැගිල්ල ඉවත් කර එතන බුද්ධ මන්දිරයක්‌ ඉදිකිරීමටත් ආවාස ගෙයි ඉදිරි කටයුතු අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අලුත් බුද්ධ මන්දිරයේ කාම්බෝජයෙන් වැඩම කරවන විශාල සමාධි ප්‍රතිමාවක්‌ තැන්පත් කරන්නයි බලාපොරොත්තුව යෑයි නායක හිමියෝ කීහ.

මුල්ලේගම ශ්‍රී සුගතනන්දනාරාම කාර්ය සාධක සමිතිය නමින් මහජන බැංකුවේ කඩුවෙල ශාඛාවේ ඇති 196200130010417 ගිණුමට මුදල් බැරකළ හැකි බවත් කැමතිනම් මෙම බුදුමැඳුර ඉදිකර දීමට ආයතනයකට හෝ පිංවතකුට සෘජුව මැදිහත් විය හැකි බවත් විහාරාධිපති අතුරුගිරියේ විමලවංස නාහිමියෝ කීහ. 0112771335 දුරකථනයෙන් හෝ 0723274294 දුරකථනයෙන් විස්‌තර දැනගත හැකි බවද උන්වහන්සේ කීහ.

"පූජාව ගෙනාවද" විහාරස්‌ථානයට පැමිණි දායක පිරිසකගෙන් කාම්බෝජයෙන් වැඩම කළ හිමිනමක්‌ විමසනු ඇසිණි. උන්වහන්සේ ආගමික වතාවත් ඉටුකර දීමට පිටත් වූහ.

කඨින කාලේ දවසින් දවස පුංචි හාමුදුරුවන් තමයි පංසිල් දීලා ආගමික වතාවත් කළේ. මයික්‌ එක අරගෙන බණ කියන්න පුංචි හාමුදුරුවරු හරි ආසයි නායක හිමියෝ සිනහ සලමින් අපට කීහ.

අනුරාධ හිරිපිටියගේ
http://www.divaina.com/2013/11/24/feature08.html

0 comments: