Pages

Monday, November 25, 2013

'ආවේ චොගම්' ගියේ නෑගම් - කැමරන්ගේ යාපන ගමන

චොගම් හෙවත් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව මේ වන විට අවසන් වී තිබේ. සමුළුව අවසන් වූ පසුව "චොගම්" සමුළුව වෙනුවෙන් තැනූ "ලොකු චොගම් බඹරත්" පොඩි චෝගම් බඹරත් කරකැවීම නතර වුවත් මේ සමුළුවට සහභාගි වූ ලෝක රාජ්‍ය නායකයන්ගේ බඹර කරකැවීම තවමත් නතර වී නොමැත.

තවමත් ඉතාම වේගයෙන් කරකැවෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ චෝගම් බඹරයයි. ලංකාව තුළ ඉතා වේගයෙන් කැරකුණු ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ චෝගම් බඹරය දැන් ලන්ඩන් පාර්ලිමේන්තුව තුළද වාමාවර්ථව හා දක්‍ෂිණාවර්තව කැරකැවෙන්නට පටන්ගෙන තිබේ.

ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු චෝගම් සමුළුවට සහභාගි වී ආපසු ලන්ඩනයට ගිය පසුව ලන්ඩන් පාර්ලිමේන්තුවේදී නානාවිධ මන්ත්‍රීවරු නඟන ප්‍රශ්නවලට මෙන්ම චෝදනාවලටද පිළිතුරු දීමට සිදුව තිබේ.

ලන්ඩන් පාර්ලිමේන්තුවේ කම්කරු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනන් ගෝබේ ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ ශ්‍රී ලංකාවට ගිය ඔබ ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ සිටිමින් යුද අපරාධ පිළිබඳව චෝදනා එල්ල කරන දෙමළ පාර්ශ්වය හමුවීමෙන් ඔවුන්ව බරපතළ අනතුරකට ලක්‌ කළා නේදැයි යන ප්‍රශ්නයයි. ඩේවිඩ් කැමරන් ඊට පිළිතුරු දෙන්නේ මෙලෙසයි.

මම ශ්‍රී ලංකාවේදී කළ සංචාරයත් සමගම උතුරු පළාතේ විවිධ පිරිස්‌ හමුවුණා. ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න ගැන විවෘතව කතා කළා. ඒ සෑම දෙයක්‌ම මම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමගත් කතා කළා. එහිදී මම ඔහුට කී එක කාරණයක්‌ තමයි ඒ මිනිසුන්ගේ ආරක්‍ෂාව තවදුරටත් සහතික කළ යුතු බව. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එහෙම කරන්න බැඳිලා ඉන්නවා. මමත් ඉන්නෙ ඒ ගැන දැඩි අවධානයකින්. මමත් ඒ අයගේ ආරක්‍ෂාව ගැන සොයා බලනවා.

ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ මේ ප්‍රකාශය දෙස බලන විට ඔහුට උතුරේදී හමු වූ පිරිස්‌ රජයට එරෙහිව මහා දෙයක්‌ කියා තිබේ. එය එසේ නොවන්නේ නම් ඒ පිරිසට ආරක්‍ෂාව සලසා දීමට ඩේවිඩ් කැමරන් අගමැතිවරයා මේ තරම්ම දඟලන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.

ඩේවිඩ් කැමරන් අගමැතිවරයා උතුරට ගොස්‌ බොහෝ දෙනකු හමුවුවත් ඉන් වැදගත් වූ චරිත ඇත්තේ කීපයක්‌ පමණකි. උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් හමුවීම, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සරවනබවන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හමුවීමත්, යාපනයේ ස්‌වෙච්ඡා සංවිධාන නියෝජිතයන් හමුවීමත් ඩේවිඩ් කැමරන් උතුරේ කළ සංචාරයේ ඉතා වැදගත් අවස්‌ථාවන්ය.

උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් හමුවූ අවස්‌ථාවේදී ඔහු ඩේවිඩ් කැමරන්ට කාරණා 13 ක්‌ ගැන කරුණු ඉදිරිපත් කොට තිබේ. දහතුන අසුබ ඉලක්‌කමක්‌ වුවත් ඔහු මුලින්ම කතා කොට ඇත්තේද උතුරු පළාත් සභාවට ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ලැබිය යුතු බලතල ලබා ගැනීම සම්බන්ධවයි.

දහතුන් වැනි සංශෝධනයේ සඳහන් පරිදි උතුරට ඉඩම් බලතල හා පොලිස්‌ බලතල ලබා ගැනීමට කතා කරන අතරතුර විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා උතුරු පළාත් සභාවේ අග අත්තකින් ගසට නැගී ගසේ මුලෙන් නැවත අත්තට නැගී තැනින් බැස තිබේ. එනම් ඔහු ආණ්‌ඩුකාරවරයා හමුදා නායකයෙකු බව සිය කතාවෙන් ආරම්භ කොට හමුදා ප්‍රධානින් එදා යුද සමයේදී ජනාධිපතිවරයාගේ වුවමනාවට උතුරු ප්‍රදේශය තුළ යුද අපරාධ සිදුකළ අයුරු විස්‌තර කොට තිබේ. ඩේවිඩ් කැමරන් අගමැතිවරයාට අවශ්‍යව තිබූ රසවත්ම අතුරුපස අවසානයේදී මහ ඇමැතිවරයා ඔහුට ලබා දෙන්නට ඇත්තේ මුලින් දුන් කෑමවල රසය අතුරුපසවල රසය නිසා අමතක නොවන්නටය.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවශ්‍ය බවත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමත් අවශ්‍ය බව විග්නේශ්වරන් මහ ඇමැතිවරයා ඩේවිඩ් කැමරන් අගමැතිවරයාට දැනුම් දීමෙන් පසුව කැමරන් මහතා දුන් පිළිතුර යාපනයේ "උදයන්" පුවත්පත වාර්තා කරන්නේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ ගැන ශ්‍රී ලංකා රජයට නිහඬව සිටින්නට බැහැ. ප්‍රධානම හේතුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නවනිදන් පිල්ලේ මේ සම්බන්ධයෙන් වාර්තාවක්‌ නිකුත් කොට තිබෙනවා. ඒ වාර්තාවට අනුව යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාල රාමුවක්‌ සකස්‌ කොට තිබෙනවා. ශ්‍රී ලංකාව කාලරාමුවට අනුව කටයුතු කළ යුතු වෙනවා. අපිත් රජයෙන් ඉල්ලා තිබෙනවා යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සිදුකළ යුතුයි කියලා. මේක රජය මගහරිනවා නම් අපි ඊළඟට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය ඔස්‌සේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඩේවිඩ් කැමරන් අගමැතිවරයාට සී. වී. විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ඊළඟට ඉදිරිපත් කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සෑම දිනකම හඬ නඟන උතුරේ ඉඩම් ප්‍රශ්නයයි. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය හා යුද්ධයේදී මියගිය පිරිsස්‌වලට වන්දි නොලැබීම ආදි තොරතුරුය. නමුත් යුද හමුදාව විසින් උතුරේ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව ඩේවිඩ් කැමරන් අගමැතිවරයාට පෙන්වීමට දෙමළ ජාතික සන්ධානයත් විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාත් ඉතා සියුම් උපක්‍රමයක්‌ යොදා තිබේ. එනම් පලාලි ප්‍රදේශයට නුදුරෙන් පිහිටි සභාපති පිල්ලේ අනාථ කඳවුරට ඔහුව රැගෙන යාමයි. මේ අනාථ කඳවුරේ සිටින්නේ පලාලි ප්‍රදේශයෙන් ඉඩම් අහිමි වූ පුද්ගලයෝය. මේ අනාථයින් පිsරිස දෘෂ්‍යාධාරකයන් ලෙස ඩේවිඩ් කැමරන්ට පෙන්වා දෙමින් දෙමළ ජාතික සන්ධානය උතුරේ ඉඩම් යුද හමුදාව විසින් කොල්ලකන කතාව පාඩම් සටහන්ද සමග ඉදිරිපත් කොට තිබේ. අනාථ වැසියන් සමග ඩේවිඩ් කැමරන් අගමැතිවරයා කතා බහ කරද්දී පසෙකින් යුද හමුදාව විසින් වැටවල් ගසා කොටුකොට ගෙන තිබූ ඉඩම් ඔහුට පෙන්වීමටද දෙමළ ජාතික සන්ධානයේ පිරිස දක්‍ෂයෝ වූහ.

උදයන් පුවත්පත් කාර්යාලයේ සංචාරය කොට එහි මාධ්‍යවේදීන්ද යාපනයේ සෙසු මාධ්‍යවේදීන්ද හමුවීම ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ ඊළඟ සංචාරය විණි. උදයන් පුවත්පතේ හිමිකරු දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සරවනබවන්ය. දාහතර වතාවක්‌ම උදයන් පුවත්පත් කාර්යාලයට එරෙහිව එල්ල වූ විවිධ ප්‍රහාරයන් ගැන මෙහිදී ඩේවිඩ් කැමරන්ව දැනුවත් කෙරිණි. උතුරේ මාධ්‍යයට කිසිදු ප්‍රජාතාන්ත්‍රික නිදහසක්‌ නොමැති බව මෙහිදී කැමරන් මහතාට පෙන්වා දීමට මේ නඩය සමත් වූහ.

මේ සියලු තොරතුරු රැගෙන කොළඹට ගිය බ්‍රිතාන්‍ය අගමැතිවරයා ජනාධිපතිවරයා සමග කරුණු සාකච්ඡා කොට කොළඹින් නික්‌ම හදිසියේම විශේෂ ගුවන් යානයකින් ඔහු ලන්ඩනයට ගියේ චෝගම් සමුළුව ගැන කිසිදු තැකීමක්‌ නොකොටය. කොළඹදී මාධ්‍යවේදීන්ට පවා ප්‍රකාශයක්‌ නොකළ ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා දැන් "චොගම්" සමුළුව පවත්වන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේය.

මීළඟට අප විමසා බැලිය යුතු වන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සැබෑ වශයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණියේ චෝගම් සමුළුවට සහභාගිවීම සඳහාද එසේ නොමැතිනම් උතුරට යැම සඳහාද යන කාරණයයි. ඩේවිඩ් කැමරන් "චොගම්" සමුළුවට දැඩි සහභාගිත්වයක්‌ නොදැක්‌වූයේ චාල්ස්‌ කුමරාද ඊට සහභාගි වූ නිසා ඔටුන්න හිමි කුමාරයාට ඇති බිය නිසා නොවන බව ඉතා පැහැදිලිය. ඩේවිඩ් කැමරන් කළේ දඹුලු ගොස්‌ තලගොයිද මරාගෙන පැමිණීමේ ක්‍රියාවක්‌ද නොවේ. එය එසේ නම් ඔහු "චෝගම්" සමුළුව අතරතුර උතුරට ගියද "චෝගම්" සමුළුව අවසන් වනතුරු රැඳී සිටිය යුතුය. එය එසේ වුයේද නැත.

මේ අනුව බලන විට ඉතාම පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ ඩේවිඩ් කැමරන් අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ උතුරට ගොස්‌ එහි මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිස හමුවීමටය. ඔහුට ශ්‍රී ලංකා රජයට වඩා උතුරේ රාජ්‍ය ඉතා වටිනා තැනක්‌ බවට පත්ව තිබේ. ඊට හේතුව යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා නඟන ගොඩකට එකතු වීමට ඇති අවශ්‍යතාවයයි. 

දැන් අපට සිදුවී ඇත්තේ සතුරා අතට අපිම පොලු දී අපට ගුටි කන්නටය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී සිදුව ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් ගැන කතාව දැන් "චොගම්" සමුළුවටත් වඩා වේගයෙන් බඹර කැරකෙන තත්ත්වයකි. මඟුලක්‌ කෑවොත් පඩික්‌කමක්‌ පෙරළෙන බව අපේ මුතුන්මිත්නන් කියා තිබේ. "චෝගම්" මඟුලේ අපට පෙරළී ගිය පඩික්‌කම යුද අපරාධ හා මානව හිමිකම්ය. ඒ "චොගම්" පැමිණ නෑගම් ගිය පිරිසක්‌ නිසාය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/11/24/feature09.html

0 comments: