Pages

Saturday, November 30, 2013

රටවල් තුනකින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌

ලබන වසරේ මාර්තු 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුවට මහා බ්‍රිතාන්‍යය කැනඩාව සහ ඇමරිකාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඒකාබද්ධ යෝජනාවක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

මේ වන විට ඇමරිකාව යෝජනා 2 ක්‌ ගෙනවිත් තිබේ. ශ්‍රී ලංකා රජය යුද අපරාධ සිදුකළ බවට දන්වමින් මෙම යෝජනාව මාර්තු 21 සහ 23 යන කාලසීමාවේ ඉදිරිපත් කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියාසිටී.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් විලියම් හේග් මෙකී යෝජනාව ගොනු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ සමග එක්‌ව ක්‍රියාකරන බවද හෙළි වී ඇත.

බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව විසින් එකී ශ්‍රී ලංකා විරෝධී යෝජනාව ගැන රටවල් අටක සිටින කොටි හිතවාදීන්ට යෑවූ රහස්‌ විද්යුත් ලිපියක්‌ වැරදීමකින් කොටි විරෝධියකු වෙත ලැබීමෙන් එම යෝජනාව ගැන අනාවරණය වී තිබේ.

මෙකී යෝජනාවට පසුබිම සකස්‌ කිරීමක්‌ ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේද මාර්තු 20 දා ශ්‍රී ලංකාව සම්බන්ධව සිය ලිත වාර්තාව සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර එකී යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී සංවිධාන 7 ක්‌ අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට කටයුතු යොදා තිබේ.

ලබන වසරේ මානව හිමිකම් සමුළුවට අලුතින් සාමාජිකයන් 14 ක්‌ පත්වී ඇති අතර ඊට බ්‍රිතාන්‍යයද ඇතුළත් වේ.

එහෙත් ශ්‍රී ලංකාවට පක්‌ෂපාතී චීනය, කියුබාව, රුසියාව, සවුදි අරාබියාව සහ වියට්‌නාමය වැනි රටවල් මානව හිමිකම් කවුන්සිලයට ඇතුළත්වීම නිසා එම ඒකාබද්ධ යෝජනාවට දැඩි විරෝධතාවයක්‌ එම රටවල තානාපති නිලධාරීන් ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/01/news05.html

0 comments: