Pages

Monday, November 25, 2013

දෙවියන්ටත් පිටුපා මිනිස්‌සු අතරමං කර, කතරගම කරන මහා ඉඩම් කොල්ලය

ජාවරම්කරු හොර ග්‍රාමයා | ප්‍රාදේශීය ලේකමුත් තකට තක

කතරගම බලපත්‍ර හොරු ප්‍රසිද්ධියේ නිරුවත් වූහ. කතරගම ඉඩම් බලපත්‍ර හොරකම ගැන පසුගිය සතියේ 'දිවයින ඉරිදා සංග්‍රහය' කළ හෙළිදරව්ව නිසා එම පුවත්පත තිස්‌ස කතරගම පත්තර තට්‌ටුවලින් තොග පිටින් මිලට ගෙන තිබිණි. එහෙයින් කතරගම ඇතැම් දිවයින පාඨකයන් මොණරාගල ප්‍රදේශයට ගොස්‌ දිවයින පුවත්පත මිලට ගෙන ඇති බවද දැනගන්නට ලැබිණි. එහෙත් කතරගම බොහෝමයක්‌ දිවයින පාඨකයන්ට මේ හෙළිදරව්ව කියවීමට නොහැකි විය. එනම් මේ තුච්ඡ හොරු තිරිසන් අන්දමට තිස්‌ස කතරගම දිවයින පාඨකයන්ගේ කියවීමේ අයිතිය ද හොරකම් කළහ. එහෙත් නිදා සිටින රටේ රාජ්‍ය පරිපාලනය තවමත් ඇහැරී නැත. එහෙයින් අපි ඒ කතාවේ දෙවැනි කොටසත් මෙසේ පෙළගස්‌වන්නට අදහස්‌ කළෙමු.

මේ ඉඩම් කොල්ලයේ මහ මොළකරු නොහොත් හොර ග්‍රාමයා කතරගම සිටින ධනවත් කළු සල්ලිකාරයෙකි. එමෙන්ම කතරගමට පැමිණි සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුවම මේ හොර ග්‍රාමයා කෙසේ හෝ ඔහුගේ පදයට නටවන බව ද කතරගම තවත් ග්‍රාමසේවා නිලධාරියකු අප සමග පැවසීය. 

දැනට සේවයේ නිරතව සිටින කතරගම ප්‍රාදේශීය ලේකම්තුමා ද මේ හොර ග්‍රාමයාගේ සමීපතම හිතවතෙකි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රදේශයේ සිටින ප්‍රබල දේශපාලනඥයන්ගේ හිතවතෙකි. ප්‍රාදේශීය ලේකම්තුමාට කීප වතාවක්‌ම මාරුවීම් ලැබුණ ද දේශපාලන ආශිර්වාදය නිසා එම මාරුවීම් යට ගියේය. හොර ග්‍රාමයා සහ ප්‍රාදේශීය ලේකම්තුමා 'තකට තක' නියමෙට සෙට්‌ වී ඇත. කතරගම ඉඩම් බලපත්‍ර වංචාවට ද සෘජුවම මේ ප්‍රාදේශීය ලේකම්තුමා සම්බන්ධව සිටින බව ද ප්‍රදේශවාසීහු උදාහරණ සහිතවම මෙසේ පෙන්වා දුන්හ.

පසුගිය සතියේ තිස්‌ස කතරගම පත්තර තට්‌ටුවලින් දිවයින පුවත්පත එකතු කිරීමට ගෝලයන් යවා තිබුණේ ද කතරගම ප්‍රාදේශීය ලේකම්තුමාය. එමෙන්ම හොර ග්‍රාමයාව කතරගමින් මාරු කිරීමට ගිය සෑම අවස්‌ථාවකදීම එම මාරුව යට යෑවීමට කටයුතු කර ඇත්තේ ද මේ ප්‍රාදේශීය ලේකම්තුමාය. දැනට මේ හොර ග්‍රාමයාව වැඩ බැලීමට ඉඩම් බලපත්‍ර හොරු ඇස ගසමින් සිටින දෙටගමුව වසම ඇතුළු තවත් වසම් දෙකකට යොදවා ඇත්තේ ද මේ ප්‍රාදේශීය ලේකම්තුමාමය.

ප්‍රාදේශීය ලේකම්තුමා හොර ග්‍රාමයා වෙනුවෙන් එසේ පෙනී සිටිද්දී, කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුළු නිලධාරියකු අප සමග පැවසුවේ මේ හොර ග්‍රාමයා සමස්‌ත ග්‍රාම සේවා වෘත්තියටම පිලිළයක්‌ බවය. එහෙත් රජයේ ඉහළ නිලධාරීන් ග්‍රාමයාගේ සේවය ඉහළින් අගයන්නේය.

පසුගිය කාලයේ රාජ්‍ය පරිපාලන නිලධාරීහු පැමිණ මේ හොර ග්‍රාමයා කරගෙන යන නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ. හොරකම් ඔප්පු විය. එහෙත් පරිපාලන නිලධාරීන් මේ ග්‍රාමයාට ලබා දී ඇත්තේ කැකිල්ලේ නඩු තීන්දුවටත් එහා ගිය තීන්දුවකි. එනම් කතරගම සීමාවට අයත් සිනුක්‌කුව ග්‍රාම සේවා වසමේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්‌තව වැඩ බැලීමට සලස්‌වා ඇත්තේ ග්‍රාමයාට තම නිවසේ සිටම රාජකාරිය කරගෙන යැමට වරමක්‌ ද ලබා දෙමිනි. පුදුම නොවන්න මේ ප්‍රකට වන්නේ හොරුන්ට හොරු එකතු වූ විට ඇති වන විළිලැඡ්ජා නැතිකමය.

මේ හොර කල්ලිය ක්‍රියාත්මකව ඇත්තේ තැරැව්කරුවන් පිරිසකගේ ද සහාය ඇතිවය. ගනුදෙනු සම්බන්ධ කටයුතු කරන්නේ කටගමුව ප්‍රදේශයේ පදිංචි කතරගම ප්‍රබල පාතල සාමාජිකයෙකි. ඉඩම්ලාභීන්ගෙන් මුදල් ලබාගනු ලබන්නේ ද මේ චණ්‌ඩියාය. මෙයට අමතරව හොර ග්‍රාමයා රත්නපුර, බිබිල ප්‍රදේශයේ බැංකු ගිණුම්වලට විවිධ නම්වලින් මුදල් දමා ගන්නා බව ද හෙළිදරව් වේ. එමෙන්ම කතරගම සිටින එකම ග්‍රාම නිලධාරිනිය ද මේ කූට ඉඩම් බලපත්‍ර කල්ලියේ සාමාජිකාවකි. මේ ග්‍රාම නිලධාරිනිය පසුගිය දිනක පදිංචි සහතික ඇතුළු ලියකියවිලි රැසක්‌ පිටස්‌තර කාන්තාවකට ලබාදී රුපියල් විසිපන්දාහක මුදලක්‌ ලබාගෙන ඇති බව දැනගන්නට ලැබිණි.

සෑම ග්‍රාම සේවා නිලධාරියකුම ආ ඒ 60 වගන්තියට අනුව තම වසමේ ඉඩම් පිළිබඳ තොරතුරු වාර්තාවක්‌ දිසාපතිට ලබාදිය යුතුය. එහෙත් කතරගම හොර ග්‍රාම නිලධාරීහු මෙම නීතිය ක්‍රියාත්මක නොකරති. ඉඩම්වලට හොර බලපත්‍ර සාදවා ව්‍යාපාරිකයන්ට ලබාදී, ඉඩමේ ගොඩනැඟිලි සැදීමට අයිතියක්‌ ද ලබා දෙන්නාහ. ගොඩනැඟිලිවලට ජල, විදුලිය ලබාගන්න ද උදව් කරන්නාහ. මේ මොහොත වන විටත් කතරගම ඉඩම් හොරු කොච්චිපතාන, කටගමුව, ගෝතමීගම ඇතුළු නගරයේ ඉඩම් රැසක්‌ම 2004 වර්ෂයේ දින යොදා බලපත්‍ර සාදා විකුණමින් සිටිති. මේ කැලෑ එළිපෙහෙළි කිරීම නිසා ගව පට්‌ටිහිමියෝ ගවයන් ගාල් කිරීමට තණ බිමක්‌ නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. තණ බිම් අහිමි ගවයන් මේ වන විට කතරගම නගරයටත්, පූජා භූමියටත් කඩා වැදීමට පටන් ගෙන ඇත. මේ කැලෑ ඉඩම් සොච්චම් මුදලට මිලට ගනිමින් සිටින්නේ ද කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ හිතවතුන්ය.

කාලයක්‌ පුරාවට හොර බලපත්‍රවලට නිකුත් කෙරුණු ඉඩම්වලින් සියයට අනූවක්‌ කතරගම සිතුල්පව්ව මාර්ගයේ ඉඩම්ය. යාල අංක 01 කලාපයට ආසන්නයේ පිහිටි මෙම සුන්දර බිම් තීරුවේ එකල නිරන්තරයෙන්ම දකින්නට ලැබුණේ නිදහසේ ගැවසෙන වන සතුන්ය. එහෙත් අද දකින්නට ලැබෙන්නේ එළිපෙහෙළි කර කට්‌ටි කර ඇති බිමක්‌ය. ඇතැම් බිම් කැබලිවල මේ වන විටත් කාමර විස්‌ස තිහේ හෝටල් ඉදිකර ඇති බව ද පෙනෙන්නට තිබේ.

රජයේ ඉඩම් ප්‍රතිපත්තියට අනුව ඉඩම් සංවර්ධන ආඥපනත මගින් කතරගම ඉඩම් අහිමි පවුල්වලට ගොවි පන්තියේ ඉඩම් නොමිලේ ලබා දෙයි. ඒ සඳහා සුදුසුකම් ලබන්නකුගේ මාසික ආදායම රුපියල් තුන්දහස නොඉක්‌ම විය යුතුය. ධනපති පන්තියට ඉඩම් ලබා දෙනුයේ දීර්ඝ කාලීන අනූනව අවුරුදු බදු ඔප්පු යටතේය. එම බදු ඔප්පු ලබාගත් විට හිමිකරුවා රජයට වාර්ෂිකව තක්‌සේරු බද්දක්‌ ගෙවිය යුතුය. එමෙන්ම එය වසර පහකට වරක්‌ සංශෝධනය වන්නේය. මෙම හොර බලපත්‍ර වංචාව නිසා එසේ රජයට අය විය යුතු අති විශාල බදු මුදල ද අහිමි වී ගොස්‌ය.

කතරගම දෙවිහාමුදුරුවන්ගේ දෙනෙත් ඉදිරියේ කරගෙන යන මේ තුච්ඡ ඉඩම් කොල්ලය ගැන සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට කතරගම ජනතාව සූදානම්ව සිටිති. අවශ්‍යව ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති විමර්ශන අංශයෙන් පරීක්‍ෂණයක්‌ පමණි.

"වැඩේ නම් මරු. කවුරුවත් මීට පෙර මේ වගේ දෙයක්‌ කළේ නැහැ. අපිට වෙන අසාධාරණ ගැන කියලා කියලා තිත්ත වෙලා හිටියේ. වසර 10 ක්‌ තිස්‌සේ අපේ තාත්තා හේන් කරපු ඉඩමටත් හොරට බලපත්‍ර හදලා කොළඹ සුබසිංහ කියලා ජ්‍යෙතිෂවේදියකුට දීලා. ගමේ අහිංසක මිනිහෙක්‌ බලපත්‍රයක්‌ හදා ගන්න අවුරුදු ගණනාවක්‌ ගියත් හදා දෙන්නේ නැහැ. පිටස්‌තරයෙක්‌ ඇවිත් සල්ලි ටිකක්‌ ගුලි කරලා බලපත්‍රයක්‌ හදා දෙන්න කිව්වොත් පටස්‌ ගාලා හදා දෙනවා. නිලධාරීන්ට කිව්වට වැඩක්‌ නැහැ. ඒ අය කතරගමට ආවහම කන්නෙ බොන්නේ ඔය ඉඩම් හොරුන්ගේ ගෙවල්වලින්. අපි ප්‍රසිද්ධියේ ඔය හොරු ගැන කතා කරනවා. කතරගම ඉඩම් පිළිබඳ සමීක්‍ෂණයක්‌ කරන්න. මිනිස්‌සු ඉඩම් බලපත්‍ර හදාගන්න සල්ලි දීපු රිසිට්‌ පවා ඉදිරිපත් කරන්නම්. සෑම අයකුගේම ඔප්පු බලපත්‍ර පරීක්‍ෂා කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් ලිපි ලේඛන ඇතුළත් ලෙජරය ගැන විනිවිද පරීක්‍ෂණයක්‌ කරන්න. සියලු හොරකම් හොයාගන්න පුළුවන්" කඩපිලකදී අප සමග කතා කළ තරුණයෙක්‌ එසේ කීවේය.

මේ ඉඩම් කොල්ලය කතරගමට පමණක්‌ සීමා වූවක්‌ නොවේ. මේ මොහොත වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද ඉතාමත් සංවිධානාත්මකව අහිංසක මිනිසුන්ගේ ඉඩම් කොල්ලකෑම සිදු වේ. මේ දහදුරා හොරාකෑමට වාර්ගික භේද නැත. මේ සාපරාධී ඉඩම් කොල්ලය මෙහෙයවන්නේ රටේ නම ගිය දේශපාලනඥයන් සහ ආණ්‌ඩුවේ ඉහළ නිලධාරීන්ය. කතරගම ඉඩම් කොල්ලය යට සිටින්නේද ඌව පළාතේ ප්‍රබල දේශපාලන චරිතයකි. එහෙයින් මේ හොර කල්ලිය කරගෙන යන දහදුරා මංකොල්ලය ගැන කෙළ පිඬක්‌ හෙළන්නට මත්තෙන් කතරගම අහිංසකයෝ දෙපාරක්‌ තුන් පාරක්‌ සිතා බලති. මන්ද හොරකම් ගැන කතා කර ඇට කැඩෙන්නට ගුටි කා ඉස්‌පිරිතාලවල ලගින්නට නොහැකි නිසාය. ඉඩම් හොරකම් ගැන කතා කර ගුටි කෑ මිනිස්‌සු කිහිප දෙනෙක්‌ම කතරගම ගම්වලදී අපට හමු විය. එහෙත් අදටත් ඔවුන් ඉඩම් හොරකම් ගැන නම් කතා කරන්නේ නැත.

තමන් කාලයක්‌ භූක්‌ති විඳි ඉඩම හෝ පදිංචිව සිටි නිවස කවුරුන් හෝ බලෙන් උදුරා ගන්න හදන්නේ නම් කිසිවෙක්‌ ඉවසන්නේ නැත. එහෙත් කතරගම අහිංසක මිනිස්‌සු ඔවුන්ගේ ඉඩම් ප්‍රසිද්ධියේ කොල්ලකා යද්දී මුවින් නොබැණ ඉවසති. එයින් ප්‍රකට වන්නේ මැර බලය සහ දේශපාලන බලය ඉදිරියේ කතරගම අහිංසකයන්ගේ ජීවත්වීමේ අයිතියත් අහිමි වී යන අන්දමය. එහෙත් රටේ ඉඩම් සම්බන්ධව සිටින නිලධාරීහු මන්දබුද්ධික කමෙනුත් එහාට ගිය නොතේරුම්කමකින් තවමත් ලතවෙති.

තවත් නම් මේ ගැන කියන්නට දෙයක්‌ නැත. දැන් ඉතිරිව ඇත්තේ කතරගම දෙවිහාමුදුරුවෝ ඉදිරියේ කන්නලව් කිරීම පමණි.

තරංග රත්නවීර
http://www.divaina.com/2013/11/24/feature17.html

සබැඳි ලිපි -
[
මහපාරේ රැක සිට මහ දවල් කොල්ලකන කතරගම දෙවියන්ගේ දේපළ
http://denethharinna.blogspot.com/2013/11/blog-post_2608.html
]

0 comments: