Pages

Monday, November 18, 2013

අපට පමණක් පෙන්වන කැමරන්ගේ චණ්ඩි පාට්

මේ අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් සිදුවන්නේ යක්‍ෂයාට තවදුරටත් සහයෝගය ලබාදීම බව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙයට හත් අට මාසයකට පෙර කියා තිබිණි. එය ඇත්තක්‌ බව අපට වැටහුනේ සෙනසුරාදා (16දා) උදේ සමුළුවේ කමිටු රැස්‌වීම ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, කොටි ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කර ගැනීම සඳහා පැවැති අවසන් සටනේදී සිදුවී යෑයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ලබන මාර්තු මාසය දක්‌වා අවසාන වශයෙන් කල් ලබාදෙන බව කීවේය. එසේ නොකළොත්, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මහා මණ්‌ඩලය තුළ බ්‍රිතාන්‍යයට හිමි තැන පාවිච්චි කරමින් ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට බල කරන බවටද ඔහු තර්ජනය කළේය. මෙය යක්‍ෂ කතාවකිá මුළුමහත් ලෝකය ඉදිරිපිටදී ඩේවිඩ් කැමරන්ගේ කලිසම කඩා වැටීමකි. යට ඇඳුම් ඇඳීමට අමතක වී මෙහි පැමිණ සිටි ඔහුගේ දිරාගිය අධිරාජ්‍යවාදි හෙළුව ඉතා අසික්‌කිතවත් අවලස්‌සනවත් පෙනිණි. ඩේවිඩ් කැමරන් යනු 1837 දක්‌වා තිස්‌පස්‌ අවුරුද්දක්‌ එක්‌සත් රාජධානියේ රජකළ දෙවන විලියම් රජුගේ ඥතියෙකි. ඔහුට වැඩවසම් සම්භවයක්‌ තිබේ. ලෝකය දන්නා කැමරන්ලා දෙදෙනෙක්‌ වෙති. පළමුවැන්නා අගමැති ඩේවිඩ් කැමරන්ය. දෙවැන්නා 'ටයිටැනික්‌ චිත්‍රපටය හැදූ ඡේම්ස්‌ කැමරන්ය. පළමුවැන්නා කළ කිසිදු මඟුලක්‌ නැති නමුත් දෙවැන්නා ටයිටැනික්‌ට පසු "අවතාර්" නමැති චිත්‍රපටය සාදා මේ ළඟදීත් ලෝක පූජිත විය. පළමුවැන්නා වෙතින් සෙනසුරාදා අපට අසන්නට ලැබුණේ අධිරාජ්‍යවාදයේ ආචීර්නකල්පිත කුණු ගඳ ගහන වචනය. සුප්‍රකට මුහුදු කොල්ල කාරයකු, ස්‌ත්‍රී දූෂකයකු, වහල් වෙළෙන්දකු රටවල් කොල්ලකන්නකු සහ දේශ ගවේෂකයකු වෙමින් ස්‌පාඤaඤ අධිරාජ්‍යවාදයට ගැතිකම් කිරීම සඳහා මෙයට අවුරුදු 500 කට පෙර ඉතාලියේ උපන් ක්‍රිස්‌ටෆර් කොළොම්බස්‌ පක්‌කලියා (මෙය කුණුහරුපයක්‌ නොවන බව සුධීහු මතක තබා ගනිත්වා) මෙවැනි වචන කියා තිබේ. අධිරාජ්‍යවාදය යනු අතින් අත ගිය බැටන් පොල්ලකි. මුලින් ස්‌පාඤaඤයටත්, පසුව පෘතුගාලයටත් ඊළඟට ඕලන්දයටත් අනතුරුව එක්‌සත් රාජධානියටත් ගිය මේ බැටන් පොල්ලෙන් වැඩිම වැඩ ගත්තෝ ස්‌පාඤaඤ යටත් විජිතවාදීහු සහ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීහුය. මේ දෙගොල්ලගෙනුත් වැඩිම වාසිය ලැබුණේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ටය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනවර්ග ප්‍රශ්නයට සහ වතු කම්කරු ප්‍රශ්නයට මුල බ්‍රිතාන්‍යය විය. ඉන්දු - පාකිස්‌තාන් ප්‍රශ්නයට මුලත් බ්‍රිතාන්‍යය ය. 1947 දී ඉන්දියාවට නිදහස දෙන විට මුස්‌ලිම් කෘශ්මීරයෙන් තුන්කාලක්‌ ඉන්දියාවටත් ඉතිරි කාල පාකිස්‌තානයටත් බෙදෙන ලෙස ඉර අඳින්නෝ බ්‍රිතාන්‍යය පාලකයෝය. ඒ නිසා අදටත් කාශ්මීරය ලේ විලක්‌ය.

බ්‍රිතාන්‍යය යනු කෙමෙන් කඩා වැටෙමින් තිබෙන රටකි. අයර්ලන්ත බෙදුම්වාදීන් පන්න පන්නා ගොස්‌ ඝාතනය කළ බ්‍රිතාන්‍යය පසුගිය වසර 200 තිස්‌සේම අයිරිෂ් ගරිල්ලා යුද්ධය මර්දනය කළ අතර ගරිල්ලන්ගේ ඉල්ලීම වූ අයර්ලන්තය වෙනම රාජ්‍යයයක්‌ ලෙස වෙන් කරදීමට සූදානම් නැත. ඉතින් අප දෙමළ ත්‍රස්‌තවාදීන්ට ඊළම දිය යුතුද? කැනඩාවේ අගමැති ස්‌ටීවන් හාෆර් එරට 'ක්‌විබෙක්‌' ප්‍රාන්තය වෙනම රාජ්‍යයක්‌ බවට පත් කර ගැනීමට ඇති සටනට හිස නමා බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකරන්නේ නැත. ඉතින් අප ඊළම දිය යුතුද? බෞද්ධ තායිලන්තයේ බුරුම දේශසීමාවේ සිටින කෙරන් ගරිල්ලන් වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන අතර තායිලන්තය එය දෙන්නේ නැත. පන්ජාබ්, කාශ්මීර්, නාගලන්ඩ් ඇතුළු ඉන්දියානු ප්‍රාන්ත සමූහයක බෙදුම්වාදී ව්‍යාපාර තිබෙන නමුත් ඉන්දියාව ඒ සියල්ල විසඳන්නේ තුවක්‌කුවෙන්ය. ඉතින් අප ඊළම දිය යුතුද? නැත. ඩේවිඩ් කැමරන් මෙහි යුද අපරාධ ගැන කලබල විය යුතු නැත. ඔහු කල්පනා කළ යුතු වන්නේ තව ටික කලකින් බ්‍රිතාන්‍යයයෙන් වෙන්වී ස්‌වාධීන රාජ්‍යයක්‌ වීමට යන ස්‌කොට්‌ලන්තය ගැනය.

වසර 2016 වන විට ජනමත විචාරණයක්‌ පවත්වා බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට ස්‌කොට්‌ලන්තය තීන්දු කර තිබේ. ඒ කාලයේදී ඇඳ ගැනීම සඳහා කලිසම පරෙස්‌සම් කර ගන්නා ලෙස අපි ඩේවිඩ් කැමරන්ගෙන් ඉල්ලමු. කැමරන්ට ඇත්තේ මීළඟට රජ වීමට සිටින චාල්ස්‌ කුමාරයාටත් නැති ජාතියේ අමාරුවකි. නැත්නම් සමුළුවට පැමිණි චාල්ස්‌ කුමාරයා නුවර දළදා මාලිගයට යද්දී කැමරන් යාපනයට යන්නේ නැත. මෙය ජාතියේ වරදක්‌ද? නැත්නම් උත්පත්තියේ වරදක්‌ද යන වග අපට නොවැටහේ. ඊළඟ ඡන්දයේදී මේ වරද ගැන තේරුම්යන ඡන්ද ප්‍රතිඵලයක්‌ කැමරන්ට ලබාදෙන ලෙස ප්‍රගතිශීලී බ්‍රිතාන්‍ය ජනතාවගෙන් අපි ඉල්ලමු.

http://www.divaina.com/2013/11/18/editor.html

0 comments: