Pages

Saturday, November 23, 2013

කැමරන්ගේ මානව හිමිකම් පාරාවළල්ලක්‌ කළ බ්‍රිතාන්‍ය රහස්‌ භීෂණ බළකාය


අපි දරුණු මිනීමරුවන්, ත්‍රස්‌තවාදීන් ඝාතනය කළා - බ්‍රිතාන්‍ය එම්. ආර්. එෆ් බලකාය.

කොටි ත්‍රස්‌තවාදී ප්‍රහාරක ඒකකයක්‌ කටුනායක ගුවන් තොටුපලට එල්ල කල ප්‍රහාරයෙන් එකම පවුලේ බ්‍රිතාන්‍ය පුරවැසියන් තිදෙනකු මරුමුවට පත් විය. එහෙත් ඊට වගකිවයුතු කොටි නායකයා හෝ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බව බ්‍රිතාන්‍ය රජය පැවසුවේ නැත. මේ පසුබිම මැද විශ්වලිංගම් ගෝපිතාස්‌ නැමැති කොටියා බ්‍රිතාන්‍යයේ සිට කොටින්ට ජී.පී. එස්‌. උපාංග, චන්ද්‍රිකා දුරකථන සහ රාත්‍රිය විනිවිද පෙනෙන නයිට්‌ විෂන් උපාංග මෙරටට ගෙන ඒමට උත්සාහ ගත් අවස්‌ථාවේ අසුවිය. රේගු ගුදමේ එකී භාණ්‌ඩ තිබූ අතර ඒවා විමර්ශනයට ලක්‌ කිරීමේදී එහි හිමිකරු ගෝපිතාස්‌ යෑයි හෙලි විය. මේ කොටි ආධාරකරු බේරා ගැනීමට උත්සාහ කළේ අමාත්‍ය ඇල්ස්‌ටෙයාර් බර්ට්‌ය.

ගෝපිතාස්‌ - කොටි ත්‍රස්‌තවාදීන්ට සහය වූ බව දැන දැනම බ්‍රිතාන්‍ය රජය සැලසුම් කළේ ඔහුව කෙසේ හෝ ගලවා ගැනීමටයි. එහෙත් තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ රතුකුරුස සහන සේවකයා ඝාතනය වීම ගැන කඩිනම් ලෙස පරීක්‍ෂණ පවත්වන්නැයි අගමැති කැමරන් රජයට බලකර සිටියි.

එසේ වුවත් කොටින්ට අවශ්‍ය විද්යුත් උපාංග රැසක්‌ සැපයුණේ බ්‍රිතාන්‍ය සමාගම්වලිනි. ඉරනමඩු කොටි ගුවන් ධාවන පථයට අවශ්‍ය විද්යුත් උපාංග සහ ජල ස්‌කූටර්ද සොයා ගැනුණු අතර ඒවා බ්‍රිතාන්‍ය නිෂ්පාදන වේ.

මේ තත්ත්වය මැද අගමැති කැමරන් ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන බව තර්ජනය කර ඇත. කැමරන්ගේ මේ තර්ජනය ගැන මෙරට බහුතරයේ හෝ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හඬක්‌ නැගුවේද? මෙයට වසර කීපයකට පෙර බ්‍රිතාන්‍ය රජය විසින් ඊශ්‍රායල් ආරක්‍ෂක ඇමැති එහුද් බරක්‌ සහ හමුදා නායකයන් 12 කට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කෙරුණි. එහිදී ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය මෙන්ම මුළු ඊශ්‍රායල මාධ්‍ය ක්‍ෂේත්‍රයම ඊට එරෙහිව එකා මෙන් නැගී සිට ත්‍රස්‌තවාදීන් සමග සටන් වැදුණු අපේ හමුදාවට අත තියන්න ඉඩ නොදෙන බවද කියා සිටියේය. ඊශ්‍රායල් මාධ්‍ය එතනින් නැවතුනේ නැත. යුද අපරාධ චෝදනා එල්ල කළ බ්‍රිතාන්‍ය පාර්ශවයන්ගේ අතීතය හා ඔවුන්ගේ පුද්ගලික ජීවිතය ගැනද තොරතුරු හෙළි කරනු ලැබීය. එහෙත් බ්‍රිතාන්‍ය අගමැති කැමරන් තමන්ට සත්කාරක සැපයූ ශ්‍රී ලංකාවට පැමිණ නුඹලාව ජාත්‍යන්තර විමර්ශනයකට යොමු කරන බවට තර්ජනය කරද්දී මෙරට මාධ්‍ය නිදහස නැතැයි හඬනගන මාධ්‍ය පාර්ශව කළේ කුමක්‌ද?

කර්තෘ සංසදය නැමැති නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කම්පැනිය බ්‍රිතාන්‍ය රජයට සන්දේශයක්‌ යවමින් එරට නව මාධ්‍ය නීතිරීතිවලට එරෙහි විය. එහෙත් බ්‍රිතාන්‍ය අගමැතිගේ තර්ජනය ගැන වචනයක්‌වත් මේ දක්‌වා ප්‍රකාශ කර නැත.

ඊටත් වඩා හාස්‍යජනක තත්ත්වය නම් නෝර්වේ අරමුදල් ලබන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම චැනල් 4 කොටි කොන්ත්‍රාත් සමාගමට අනුරාධපුරයේදී හා කටුනායකදී මතු වූ ජනතා විරෝධතාවලට එරෙහි වීමයි.

මේ නිසා කැමරන්ලාට සහ චැනල් 4 කණ්‌ඩායමට කත්අදින පිරිස්‌ ලැජ්ජා විය යුතු නොවේද? ඇමරිකානු සීල් බලකාය අල්කයිදා නායක බින් ලාඩන්ව මරාදමද්දී රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් "වාව්" යෑයි කීවාය. ඔබාමා ඇමරිකානු හමුදා නිලධාරීන්ගේ සාදයකට එක්‌ වී අපේ හමුදාව සතුරාව පරාජය කළ බව කීවේය. එහෙත් මෙරට සිදු වන්නේ කුමක්‌ද? කොටින්ගේ එකම නියෝජිතයා ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ යාන්ත්‍රණයක්‌ ඉල්ලා ඇත. එසේ නම් ද්‍රවිඩ සංධානයට එරෙහිවද අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ අවශ්‍ය නොවේද? මේ පසුබිම මැද තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ද ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් කඩකළ බව කියමින් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත.

එසේ නම් ඉන්දීය සාම හමුදාව ද්‍රවිඩයන්ව මරා දැමීම ගැනද විමර්ශනයක්‌ ඉල්ලන්නේ නැත්තේ මන්ද?

ඉන්දු කාශ්මීරයේද ඉන්දීය හමුදා නිලධාරීන් 500 කට එරෙහිව මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා එල්ල වී ඇත. පුද්ගලයන් අතුරුදහන් කිරීම, වධහිංසා පැමිණවීම සහ මිනීමැරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව යොමු වී තිබේ. ඊට අදාළ වාර්තාව පිටු 350 කින් යුක්‌තය. 1990 සහ 2011 සමයේ ඝාතන 100 කට අධික සංඛ්‍යාවක්‌ සිදු වී තිබේ. හමුදා නිලධාරීහු 235 ක්‌, ආරක්‍ෂක භටයන් 123 ක්‌, පොලිස්‌ නිලධාරීන් 111 ක්‌ සහ රජයට සම්බන්ධ සටන් කාමීහු 35 කගේද නම් ඊට ඇතුළත් වී ඇත. එහෙත් ඉන්දීය රජය හා හමුදාව ඊට ප්‍රතිචාර දක්‌වා නැත. මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ හා බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ද ඒ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා නොමැත.

මෙරට චෝගම් සමුළුවට පැමිණි කැමරන් තංගල්ලේ හෝටලයකදී ඝාතනය වු බ්‍රිතාන්‍ය පුරවැසියා ගැන හඬනගා ඇති නමුත් 1986 මැයි 3 දා කටුනායකදී පිපිරුණ ගුවන් යානාවේ සිටි බ්‍රිතාන්‍ය පුරවැසියන් තිදෙනා ගැන වචනයක්‌වත් පැවසූවේ නැත.

එහිදී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනා මෙසේය. මැක්‌ පියර්සන්, මැක්‌ පියර්සන් මහත්මිය, මැක්‌ පියර්සන් මෙනවිය 

ඔවුන් සමග තවත් විදේශිකයන් 13 ක්‌ මරුමුවට පත්වුවත් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ ඉල්ලීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියාකර නැත. මේ අතර රහසිගත බ්‍රිතාන්‍ය හමුදා ඒකකයත් උතුරු අයර්ලන්තයේ නිරායුධ සිවිල් වැසියන්ව ඝාතනය කර ඇතැයි හිටපු බ්‍රිතාන්‍ය සෙබලෙක්‌ හෙලි කර ඇත. හමුදා ක්‍රියාකාරී බළකාය නැමැති මෙම රහස්‌ බළකාය අයි.ආර්.ඒ. ත්‍රස්‌තවාදීන් හඹා ගොස්‌ ඔවුන්ව මරාදමා තිබේ.

මේ ඝාතන හෙළිවෙත්ම උතුරු අයර්ලන්ත නීතිපතිවරයා සැකකාර හමුදාභටයන්ට සමාවක්‌ දිය යුතු යෑයි ඉල්ලා ඇත.

එම්.ආර්.එෆ්. බළකාය නිරායුධ සිවිල් වැසියන් 10 ක්‌ ද ඝාතනය කර තිබේ.

මෙකී රහස්‌ බළකාය හමුදා භටයන් 40 කගෙන් සමන්විත වී තිබූ බවද හෙළි විය.

මෙකී අභිරහස්‌ බළකායේ සෙබළුන් පළතුරු වෙළෙන්දන් පවා මරාදමා ඇත.

මේ පසුබිම මැද වීදුරු ගෙවල්වල සිට ශ්‍රී ලංකාවට ගල්ගසා ඇත්තේ අගමැති කැමරන්, විදේශ ලේකම් විලියම් හේග් ඇතුළු ඇතැම් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු බව සනාථ නොවන්නේද?

මේ රහසිගත භීෂණ බළකාය ගැන අගමැති කැමරන් මානව හිමිකම් සමුළුවට යෝජනාවක්‌ ගෙන එනු ඇතැයි කිව හැකිද?

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/23/feature01.html

1 comments:

Anonymous said...

ආ..... මේ අපේ දිවයින පත්තරේ ගියපු ලිපියක්නේ. මේකේ පිටපතක් පවුලේ රුපවාහිනියට යැව්වනම් විමසුම සුන්දර මාම මේකට තව ලුණු ඇඹුල් දාලා හදයි. අර අයුද පෙන්නන්න ගිහින්,වතුර ඉල්ලලා රතුපස්වල වෙඩිකාපු, අඩුමකරමේ රතුපස්වල ගුටිකාපු තම සහෝදර මා‍‍‍ධ්‍යෙවේදින් වෙනුවෙන් යමක් කරපු මාධ්‍යක් තමයි දිවයින කියන්නේ.