Pages

Tuesday, November 26, 2013

ජිනීවා අපලය

අපේක්‍ෂා භංගත්වයට පත්වීම යනු මානසික රෝගයක්‌ නොවේ. එහෙත්, යම් දුර්වල මිනිසකු ඒ නිසා මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරුවනු හැකිය. මිනිසුන් සාමූහික වශයෙන් අපේක්‍ෂා භංගත්වයට පත්වූ අවස්‌ථා සේම, මිනිසුන් සාමූහික වශයෙන් මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරු වූ අවස්‌ථාද ඉතිහාසයේ තිබේ.

ප්‍රංශ විප්ලවය මගින් පෙරළා දමනු ලැබූ ප්‍රංශයේ එවකට සිටි පාලක පංතීන්ට අයත් සමහර මිනිසුන්ද, රුසියානු සහ චීන විප්ලව මඟින් පෙරළා දමනු ලැබූ එවකට එම රටවල සිටි පාලක පංතීන්ට අයත් සමහර මිනිසුන්ද මීට උදාහරණය. එහෙත් කෲර ආඥදායක හිට්‌ලර් ගේ ඇදවැටීමත් සමඟ මස්‌තබාල්දු වී ගිය ජර්මානු නාසිවාදය ඇදහූ මිනිසුන්ගේ මානසික කඩා වැටීම ඒ සියල්ලටමත් වඩා දරුණු බවය ඉතිහාසය වාර්තා කරන්නේ.

කොහොමටත් ඇදහිල්ලක්‌ බවට පත්වූ උග්‍ර වර්ගවාදයක්‌ (නාසිවාදය කියන්නේද එයට ම ය.) එක්‌වරම විනාශයට පත්වීම එහි කාඩර්වරුන්ගේ, බැතිමතුන්ගේ පමණක්‌ නොව හිතවතුන්ගේද මහත් අපේක්‍ෂා භංගත්වයට හේතුවක්‌ වෙයි. මෙය ඇස්‌පනාපිට දැකීමට කැමති යමකුට පෙර සඳහන් කළ ඉතිහාස පුවත් හඹා යා යුතුම නැත. 2009 වසරේ පටන් මේ දක්‌වාත් තව ටිකක්‌ කල් යනතුරුත් ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව සිදුවෙමින් පවතින සමහර ක්‍රියාවන් තරමක්‌ අවධානයෙන් විමසීමෙන් පමණක්‌ ඒ වටහාගනු හැකිවනු ඇත.

සහතික වශයෙන්ම එල්. ටී. ටී. ඊ. විනාශයත් සමඟම එබඳු මානසික අනාථ භාවයකට පත්වූවෝ පණ බේරාගෙන ඉතිsරි වූ එල්. ටී. ටී. ඊ. කාඩර්වරයෝම නොවෙති. කොයි මොහොතක හෝ ප්‍රභාකරන් නමැත්තා විසින් උතුරු - නැගෙනහිර පදනම් කරගෙන බිහිකරනු ලබන නව ඊළාම් රාජ්‍යයේ ගෞරවණීය ඇරයුම යටතේ දකුණේ සිට බජව් දමමින් උතුරට යැමට බලාපොරොත්තු වූ බෝඩ්ලෑලි විපක්‍ෂ පක්‍ෂ කීපයද, ඒවාට කොහෙන් හෝ අනුබද්ධ ස්‌වෙච්ඡා සංවිධානද ඒවාට කොහෙන් හෝ අනුබද්ධ සාම දේශකයෝ ද ඊනියා කවියෝද ඇතැම් ජඩ මාධ්‍යවේදියෝද, කලාකරුවෝද ඔවුනට දාසයන් වූ ඇතැම් විචාරකයෝද වෙති. (රටට කෙළවනු පිණිස රටෙන් පලාගිය මේ ඇතැමෙක්‌ දැන් බටහිර රටවල ඊළාම් සමුළුවල විවේක කාලවලදී ඒවාට විනෝදය සපයනු ලැබේ.)

පුදුමයකට මෙන් මෙම අපේක්‍ෂා භංගත්ව නාම ලේඛනය එතැනින් නතර නොවෙයි. එය ඇතැම් බටහිර රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ සට්‌ටඹියන් දක්‌වා ද දිවයයි. පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ගිගුම් දුන්නේ එසේ ජාත්‍යන්තරකරණය වූ පෙරකී අපේක්‍ෂා භංගත්වයේ වේදනාවම ය. ඩේවිඩ් කැමරන්, මිලි බෑන්ඩ් වාදය වශයෙන් මතු වුවද, ඩේවිඩ් කැමරන් සහ නික්‌ ස්‌මිත්, මයික්‌ ගේප්ස්‌, ඇන්ඩෲ ලව් වාදය වශයෙන් මතු වුවද එය ත්‍රස්‌තවාදයක පරාජය උවමනාවටත් වඩා තම වේදනාව බවට පත්කරගත් මිනිසුන් පිරිසකගේ විසංවාදයක්‌ බව නිසැකය.

ප්‍රශ්නය එය නොවේ, පොදු රාජ්‍ය මණ්‌ඩලීය නායක සමුළුව තුළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඩේවිඩ් කැමරන් විදහා දැක්‌වූ අවනීත භාවය වෙනුවට, ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික නොදියුණු ස්‌වභාවය වෙනුවට ඔහු මෙහි නැටූ නාඩගම වීරකාව්‍යයක්‌ සේ සලකා කතා කරන්නන් මවන භීතිකාව ය.

ජාත්‍යන්තර වශයෙන්ම සැලකුවද එළඹි ඕනෑම ප්‍රශ්නයක්‌, සංවාදයක්‌, විසංවාදයක්‌ හමුවේ සෘජු ලෙසත් අව්‍යාජ ලෙසත් කටයුතු කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමුළුව තුළ ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලංකාවේ අභිමානය පමණක්‌ නොව ආසියාවේද අභිමානය බව අපගේ අදහස ය.

ජාත්‍යන්තර වශයෙන් අපට සිටින මිතුරන් පවා දැන් අපට අනතුරු ඇඟවීම් සිදු කරන්නේය වශයෙන් අවධාරණය කරමින් රටත්, ජනතාවත් තැති ගන්වන ඇතැම් බක පණ්‌ඩිතයන් මාර්තු ජිනීවා සමුළුව තුළ අප දැනටමත් පරාජය කර අවසන් ය.

මාර්තු ජිනීවා මානව හිමිකම් සමුළුව අපට එරෙහිව අටවන කෙමනක්‌ බවට කවර හෝ සැකයක්‌ නැත. අප දැන් එළඹිය යුත්තේ ඒ උගුලෙන් ගැලවීම පිළිබඳ හරවත් සාකච්ඡාවකට මිස ජාත්‍යන්තර ඕපාදූප විශ්ලේෂණයකට නොවේ.

මානව හිමිකම් දියුණු කිරීම අරභයාද ජාතික සංහිඳියාවක්‌ ගොඩනැගීම අරභයාද මහත් ප්‍රගතියක්‌ ප්‍රකට කරන ශ්‍රී ලංකාව විෂයයෙහි විවිධ චෝදනා එල්ල කරමින් රට අභ්‍යන්තරයේ අවුල් සහගත තත්ත්වයක්‌ නිර්මාණය කිරීමට හේතුවන ක්‍රියාමාර්ග ආරම්භ නොකරන්නැයි චීන රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ විහිළුවට නොවේ.

ඉතා දුරාතීතයේ පටන් හැම කාලයකම අපට එළඹෙන ව්‍යසන හමුවේ අප වෙනුවෙන් පෙනී සිටි මේ විශිෂ්ට සහ ශක්‌තිවන්ත මිතුරාද තවත් බොහෝ මිතුරෝද අපට සිටිති. ලබන මාර්තුවේදී අප වෙත එළඹෙන්නේ යෑයි බොහෝ "දේශපාලන දෛවඥයන්" අනාවැකි වශයෙන් ඉදිරිපත් කරනු ලබන මාරක අපලය පිළිබඳව අපගේ මිත්‍ර ග්‍රහයන් පෙරටුකරගත් "ජාත්‍යන්තර දේශපාලන ශාන්තිකර්මයක්‌"වත් රජයෙන් නොකෙරෙන්නේ මන්ද යන ප්‍රශ්නය නම් අපටත් තිබේ.

එසේ වුවද ග්‍රහ මාරුව ලෝක විනාශය බවට පත් කරගැනීම නම් කල්තබා කරන කල්ගිය විහිළුවකට එහා දෙයක්‌ නොවේ.

http://www.divaina.com/2013/11/26/editor.html

0 comments: